Main Logo

Thursday 7 March 2019

ජ වි පෙරමුණට හුළං


ජ වි පෙරමුණට හුළං



රනිල්ලාගේ අනුර දාසනායක කියලා ජනතා විරෝධී පෙරමුණ විපක්‍ෂ නායක සමග කළ සාකච්ඡා සාර්ථකයි කියලා. එතෙක් මෙතෙක් ලංකාවේ පහළ වූ අසාර්ථක ම දේශපාලනඥයා වූ දාසනායක වෙන මොනවා කියන්න ද? ඔහු අද ජනතා විරෝධි පෙරමුණේ නායකයා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙළොත් ජනතා විරෝධී පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා කියලත් ඔවුන් පොඩි තර්ජනයක් දමලයි තිබුණෙ. මට පේන විධියට ඒ තර්ජන කිසිවක් වැඩක් වෙලා නැහැ. ඒ අතර ටිල්වින් හෙවත් දිනන තුරු සහෝදරයා සමාජවාදයෙන් රට දියුණු කරන යල් පැනපු නොව කිසි දා වලංගු නොවූ කතා කියනවා.




තුන්වැනි ජාත්‍යන්තරයට මාර්තු දෙවැනි දා අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවති රැස්වීමක දී තමයි ඔහු ඒ බව සඳහන් කරල තියෙන්නෙ. ඔය ජාත්‍යන්තරය පිහිටෙව්වෙ දෙවැනි ජාත්‍යන්තරය පිරිහුණු නිසා කියල තමයි අපි අහල තියෙන්නෙ. දැන් තුන්වැනි ජාත්‍යන්තරය තියෙනවා ද? ඒක කොහෙද තියෙන්නෙ. අද ලෝකයේ සමාජවාදී රටවල් තියෙනවා ද? දිනන තුරුට මැරෙන තුරු දිනන්න බැහැ. තුන්වැනි ජාත්‍යන්තරයෙන් පස්සෙ හතරවැනි ජාත්‍යන්තර ගණනාවක් ම ට්‍රොට්ස්කිවාදී සහෝදරවරු පිහිටෙව්වා. පැබ්ලෝ, හීලි, ග්‍රාන්ට් ආදී සහෝදරවරුන්ට මොකද වුණෙ. දැනට අවුරුදු තිස්පහකට පමණ පෙර ග්‍රාන්ට් සහෝදරයා නව සමසමාජ පක්‍ෂ සම්මේලනයකට ඇවිල්ල වීසා ප්‍රශ්නයක් උඩ අපේ ගෙදර සතියක් පමණ හැංගිලත් හිටියා.  එංගලන්තෙ ලේබර් පක්‍ෂෙ මිලිටන්ට් ප්‍රවණතාවෙ ජාත්‍යන්තර සහෝදරයො පසු කාලයක, 1992 දි ග්‍රාන්ට් සහෝදරයා හා ඇලන් වුඩ්ස් සහෝදරයා පන්නල දැම්මා. ඒ දෙන්නා තවත් ජාත්‍යන්තරයක් පිහිටුවා ගත්තා.  ඇලන් වුඩ්ස් මා සසෙක්ස් විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ එහි ලේබර් ලීගයෙ නායකයා. මාත් එහි සාමාජිකයකු ව සිටියා. ඇලන් පස්සෙ කාලෙක වෙනිසියුලාවෙ ජනාධිපති චාවේස්ගෙ දේශපාලන උපදේශක වෙලා හිටියා.  මා හිතන්නෙ දැන් පස්වැනි ජාත්‍යන්තරය පිහිටුවන්න කාලෙ ඇවිල්ල. ඒ වැඩේ කෙකරගාමින්ට භාර කරමු ද?   



මාත් බලන් ඉන්නෙ ජනාධිපතිවරණයට ජනතා විරෝධී පෙරමුණෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන තෙක්. ඔහු ඡන්ද කීයක් ගන්නවා ද කියල බලන්න. ඒ විනෝදෙට මිසක් වෙන එහෙකට නො වෙයි. කවුද පඬි පෝතකයකු අසා තිබුණා මෛත්‍රිපාලගෙ ඡන්ද එකතු කර ගන්න උත්සාහ කරන වෙලේ දාසනායකලාගේ ඡන්ද එකතු කර ගන්න උත්සාහ ගන්නෙ නැත්තෙ ඇයි කියලා. ඡන්දයක් කියන්නෙ ඡන්ද එකතු කරන ව්‍යාපාරයක් බව ඇත්ත. ඒත් කවුරුවත් අහනවා ද රනිල්ගෙ ඡන්ද එකතු කරන්න උත්සාහ ගන්නෙ නැත්තෙ ඇයි කියලා. රනිල්ගෙ ඡන්ද අඩුකරන්න පුළුවන් නම් වැරුද්දක් නැහැ.



ඒත් මෙතන දි වැදගත් වන්නේ බොහෝ දුරට සමීප පක්‍ෂ එකතු වෙලා හදන සංධානයකට ඡන්ද එකතු කිරීම. පොදුජන පෙරමුණට වඩාත් ම සමීප එක්සත් ජනතා නිදහස් සංධානය මිස ජනතා විරෝධී පක්‍ෂයවත් එක්සත් ජාතික පක්‍ෂයවත් නො වෙයි. ඡන්ද එකතු කරන්න වෙන්නෙ සංධානවලට. අර පඬි පෝතකයට නොතේරුණාට පොදුජන පෙරමුණට ජනතා විරෝධී පෙරමුණ සමග සංධාන හදන්න බැහැ. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේ දී හරි පාර්ලිමේන්තු මැතිවරණයක දි හරි වෙනත් ඕනෑ ම මැතිවරණයක දි හරි සමගිව බලය ගන්න නම් එක්සත් ජනතා නිදහස් සංධානය සමග පළල් සංධානයක් හදන්න වෙනවා. අමතක කරන්න එපා අදත් විපක්‍ෂයෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරුන් ලෙසින් බව. මහින්ද විපක්‍ෂ නායක ලෙස කටයුතු කරන්නෙත් එක්සත් ජනතා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරයකු ලෙස. පොදුජන පෙරමුණ කියන්නෙ ජනතාවගෙ පක්‍ෂයක් මිස අහවලාගෙ පක්‍ෂය නො වෙයි. එය නිර්මාණය කරනු ලැබුවෙ ජනතාව විසින් බව කිසිවකු අමතක නොකළ යුතුයි.



විපක්‍ෂ නායක සමග දිනේෂ් ගුණවර්ධනත් ඩලස් අලහප්පෙරුමත් ජනතා විරෝධී පක්‍ෂය සමග සාකච්ඡාවලට සහභාගි වෙලා. ඒ තිදෙනා ම එක්සත් ජනතා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරු. මේ සාකච්ඡා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවම කෙරී නැහැ. එහෙත් මහින්ද සාකච්ඡා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් ගැන අපට බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. මහින්දට තේරෙනව හුළඟ හමන දිශාව. ඔහු කියා තිබුණෙ විධායක ජනාධිපති ක්‍රමය දහතුන්වැනි සංශෝධනයත් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් සමග ගැට ගැසී ඇති බැවින් ඒ වෙනස් නොකර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට කතා  කරන්න බැහැ කියලා. එය හොඳ ස්ථාවරයක්. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය කොහොම වුණත් විධායක ජනාධිපති ක්‍රමය 1987න් පසු දහතුන්වැනි සංශෝධනය සමග ගැට ගැසිලා.



දාසනායකලාගෙ විස්සෙ අරමුණු තුනක් තිබුණා. පළමුවෙන් විධායක ජනාධිපති බලතල විශාල වශයෙන් කප්පාදු කිරීමට. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන්. ඡන්ද දෙන්න ගිය මිිනිසුන් මරා දැමූ පක්‍ෂයක් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කිරීම තරම් ප්‍රෝඩාවක් තවත් තියෙනවා ද? ජනතා විරෝධී පෙරමුණේ දෙවැනි අරමුණ වුණෙ ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තෝරණ ක්‍රමයක් සකස් කිරීම. ඒ කියන්නෙ ජනාධිපති පාර්ලිමේන්තුවට යට කිරීම. එහෙමත් නැත්නම් විධායකය ව්‍යවස්ථාදායකයට යට කිරීම. විධායක ජනාධිපති තෝරා ගත යුත්තේ ව්‍යවස්ථාදායකය තෝරණ ක්‍රමයෙන් ස්වාධීන ව වෙනත් ක්‍රමයකට. ජනතා විරෝධී පෙරමුණේ තුන්වැනි අරමුණ වුණෙ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම.



මේ තුන්වැන්න මැතිවරණ කල්දැමීමට කරන ලද උපක්‍රමයක් පමණයි. විධායක ජනාධිපති ධුරය මැතිවරණ ක්‍රමය සමග බැඳෙන්නේ ජනාධිපති පාර්ලිමේන්තුවෙන් තෝරණවා නම් පමණයි. එසේ නැත්නම් විධායක ජනාධිපති  ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සමග බැඳෙන්නේ නැහැ. ජනතා විරෝධී පෙරමුණට අවශ්‍ය වූයේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඇති බව කියා මැතිවරණ කල් දැමීමටයි. සීමා නීර්ණ කොමිසම් මගින් පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා රනිල්ගේ අස්ථාවර ආණ්ඩුව අවුරුදු පහකට වඩා පවත්වාගෙන යෑම රනිල්ලාගේ අනුර දාසනායකගේ බලාපොරොත්තුව වුණා. දාසනායක බොරුවට රනිල් විවේචනය කරන අතර අවුරුදු පහකටත් වඩා රනිල් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වුණා.



සමානුපාතික ඡන්ද ක්‍රමය පිලිබඳ ප්‍රශ්න ඇති නමුත් ඒ වෙනස් කිරීමට මේ අවස්ථාව නො වෙයි. අද ඉක්මණින් පළාත් සභා මැතිවරණත් පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වීමේ අවශ්‍යතාව පැන නැගී තියෙනවා. ජනතා විරෝධී පෙරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරමින් අයක් නැති වැයක් පමණක් ඇති ණයක් වූ ආණ්ඩුවක් අවුරුදු පහත් ඉක්මවා පවත්වාගෙන යෑමට උපක්‍රම යොදනවා.



කලින් කියා ඇති පරිදි මහින්ද ජනතා විරෝධී පෙරමුණ සමග පැවති සාකච්ඡාවලින් පසුව කරන ලද ප්‍රකාශ්‍රය ගැන අප සතුටට පත් වෙනවා. අප හැමදාමත් කියා සිටියේ දහතුන්වැනි සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අබමල් රේණුවකින්වත් වෙනස් නොකරන ලෙසයි.  දහතුන එසේ ම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට පාර කැපීමක් පමණයි. පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සංධානය මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉක්මණින් කරනවා නම් හොඳයි.  අද අවශ්‍ය වන්නේ රට නැවත ඒකීය රාජ්‍යයක් බවට පත්කරන ආණ්ඩුවක් හා ඒ සඳහා දක්‍ෂ බලවත් විධායක ජනාධිපතිවරයකු පත්කර ගැනීමයි. එසේ පත්කර ගැනීමෙන් පසුව අධිකරණයේ ඇස්වලට ද වැලි ගසා සම්මත කර ගන්නා ලද දහතුන හා දහනවය අහෝසි කිරීම හරි අඩුම තරමින් වෙනස් කිරීම හරි ගැන සිතා බලන්න පුළුවන්. ඒ සඳහා ජනතා වරමක් මැතිවරණයක දී ලබා ගන්න සිදු වේවි.