Main Logo

Thursday 21 March 2019

ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



ශ්‍රී ල නි ප පොහොට්ටු සාකච්ඡා හා මහාවංශ ව්‍යාපෘතිය



අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර දෙවැනි සාකච්ඡා වටය පැවැත්වෙනවා. මේ සාකච්ඡා පැවැත්තෙන්නේ ඒ පක්‍ෂ අතර පළල් සංධානයක් ගොඩ නගා ගැනීමේ අරමුණෙන්. ඒ පක්‍ෂ දෙකට අමතර ව තවත් කුඩා යැයි කියන පක්‍ෂ තියෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට අනුව මේ කුඩා පක්‍ෂ වැඩක් නැහැ. ඔවුන්ට  අනුව ඒ මහජන මුදල් කන පක්‍ෂ පමණයි. එසේ මහජන මුදල් කන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැහැ.




කුඩා යැයි කියන පක්‍ෂවලට තනියම තරග කළොත් දිනන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් ඒ පක්‍ෂ නැතිව තරග කර පොදුජන පෙරමුණට වාසියක් වන්නේත් නැහැ. පොදුජන පෙරමුණට ඡන්ද කීයක් හරි අඩුවෙන එක පමණයි සිද්ධ වෙන්නෙ. පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට නම් ඒ කුඩා පක්‍ෂ නැතිව තරග කිරීම එක් අතකින් පෞද්ගලික ව වාසි සහගතයි. එහෙත් ඡන්ද අඩු වීම නිසා ඒ සංවිධායකයන්ට මන්ත්‍රීවරුන් වීමට හැකි වේවි ද යන්න ප්‍රශ්නයක්.



පොදුජන පෙරමුණට දිනන්න ඕන නම් ශ්‍රී ල නි පක්‍ෂය සමග පමණක් නොව ඒ ඊනියා කුඩා පක්‍ෂ සමගත් පළල් සංධානයකට එන්න වෙනවා. පොදුජන පෙරමුණට තනියම තරග කර කිසිම මැතිවරණයක් ජය ගන්න බැහැ. ජය ගන්නවා කියන්නෙ යම් මැතිවරණයක දි වැඩිම ඡන්ද ලබා ගැනීම ම නො වෙයි. වැඩිම ඡන්ද ලබා ගත්තත් පළාත් පාලන ආයතන කීයක තනිව ම බලය අල්ලා ගත්තා ද? ජනාධිපතිවරණයක දී නම් අවම වශයෙන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් ලබා ගත යුතුයි. සියයට හතළිහ කියන්නෙ සියයට පනහ නො වෙයි. මහා වෛරයකින් පෙළෙන මහා දාර්ශනිකයාට මේ බව තේරෙන්නේ නැහැ. ඔහුට අනුව මේ වීජ ගණිතයයි.



ජනාධිපතිවරණයට රාජපක්‍ෂලා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය තෝරා ගෙන. මා කියා ඇති පරිදි ඉන් කියැවෙන්නේ පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස වැදගත් නොවන බවයි. රාජපක්‍ෂලා එකතු වී ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීමෙන් පෙන්වන්නේ ඒ මිස වෙනත් දෙයක් නො වෙයි. රැස්වීමට අඩු ගණනේ සභාපති ජී එල් පීරිස්වත් හිටියේ නැහැ. එවැනි සභාපතිවරුන් පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් පක්‍ෂය රාජපක්‍ෂවරුන්ගේ මතය අනුමත කරනවා කියා. එයත් එහෙම වෙන්න පුළුවන්. ඒත් වඩා සුදුසු ක්‍රමය රාජපක්‍ෂලාගේ නිර්දේශය පක්‍ෂයට යොමු කර පක්‍ෂය නිර්දේශය අනුමත කිරීමයි.



පොහොට්ටුවට සමහරවිට ඒ ක්‍රමය වැදගත් නොවනවා වෙන්න පුළුවන්. එහෙත් පළල් පෙරමුණට එය වැදගත් වේවි. අප මතක තබා ගත යුත්ත නම් මාධ්‍ය වාර්තා නිවැරදි නම් තවමත් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක වශයෙන් තෝරා ගෙන ඇත්තේ පොහොට්ටුව පමණක් බවයි. පළල් පෙරමුණ තවමත් එය අනුමත කර නැහැ. අනුමත කරන්න තවම පළල් පෙරමුණක් ගොඩ නගා නැහැ. අඩු තරමෙන් ශ්‍රී ල නි පක්‍ෂය හා පොදුජන  පෙරමුණ අතරවත් සංධානයක් ගොඩ නැගී නැහැ.



දැන් තිබෙන ප්‍රධාන කාර්යය පළමුව ශ්‍රී ල නි පක්‍ෂය හා පොදුජන  පෙරමුණ අතර සංධානයක් ඇති කර දෙවනුව ඊනියා කුඩා පක්‍ෂ ද සහිත ව පළල් පෙරමුණ ගොඩ නගා ගැනීමයි. ඉන්පසු පොදුජන  පෙරමුණෙන් නම් කෙරී ඇති ගෝඨාභය පළල් පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පළල් පෙරමුණේ කැමැත්ත පරිදි ඉදිරිපත් කිරීමයි. එසේ නොකර පොදුජන පෙරමුණ අනෙක් පක්‍ෂවලට මදි පුංචිකම් කර ඒ පක්‍ෂවලින් සමන්විත පළල් පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂයා ලෙස ගෝඨාභය  පමණක් විය යුතු යැයි  බල කිරීම ගෝඨභයට ද කරන අසාධාරණයක්. පොදුජන  පෙරමුණ  අනෙක් පක්‍ෂ වෙනුවෙන් තීරණ නොගත යුතුයි. එමෙන් ම පළල් පෙරමුණක් ගොඩ නොනගා ජනාධිපතිවරණයට ඒ පක්‍ෂවලින් දෙදෙනකු ඉදිරිපත් වුවහොත් දෙදෙනා ම පරදින බව පැහැදිලියි. පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප ගොඩ නගන පළල් පෙරමුණ ජාතිකත්වයේ පක්‍ෂයක් විය යුතුයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරා දැමීමෙන් පසු අද ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂයක් නැහැ. අද අවශ්‍ය එවැනි ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂයක් ගොඩ නැගීමයි.



මා සිංහල බෞද්ධයෙක්. මට ව්‍යාපෘතියක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යයෙන් මුදා ගැනීමයි. එහි දී අපට නූතනත්ව දැනුම ද අවශෝෂණය කරන්න වෙනවා. ඒ රාජසිංහ රජු පෘතුගීසීන්ට පහර දෙන්න තුවක්කු හැදුවා වගේ. මගේ ව්‍යාපෘතිය පස්වැනි සියවසේ වැඩ විසූ මහානාම හාමුදුරුවන්ගේ ව්‍යාපෘතිය ම නො වෙයි. පස්වැනි සියවසේ ක්‍රිස්තියානි නූතනත්වයක් තිබුණේ නැහැ. උන්වහන්සේටත් වඩා දේශීය ආස්ථානයක මා පිහිටනවා. මහාවංශයේ මොන අඩුපාඩු තිබුණත් මා මහානාම හාමුදුරුවන්ගේ ව්‍යාපෘතිය වෙනුවෙන් එක්තරා දුරකට පෙනී සිටිනවා. අද එහෙන් මෙහෙන් ඉංගිරිසි වචන හා සංකල්ප ටිකක් ඇහිඳගත් ඇතැම් ඊනියා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන්  මහාවංශයට පහර දෙන්නේ මහාවංශය වඩා දේශීය කිරීමට නොව එය ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියට යට කර පාගා දැමීමටයි. ඒ අවසාන වශයෙන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටීමක්. මේ ඊනියා ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ ඉතිහාසය ද (පවුල් පසුබිම, අධ්‍යාපනය, විදේශීය විශ්වවිද්‍යාල සම්බන්ධය ආදිය) වැදගත් වෙනවා. අපි පසුව නම් ගම් සහිත ව ඔවුන් ගැන හා ඔවුන්ගේ දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපෘති ගැන කතා කරමු. ඒ අතර රුවන්වැලි සෑයේ උස වාස්තවික ද යන්නත් කතා කරමු. වෙස්වළා සිටින සිංහල බෞද්ධ විරෝධී උගතුන් හඳුනා ගැනීම වැදගත් වෙනවා.



මේ සියල්ල ජී එල්ටවත් ජගත් වැල්ලවත්තටවත් වැදගත් නො වේවි. එහෙත් දයාසිරි ජයසේකරට හා රෝහණ ලක්‍ෂමන්ට වැදගත් වේවි. ඔවුන් ජාතිකත්වය වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් ඒ ඔවුන්ගේ ද අවසානය වේවි. අද යළි උපන් (බෝන් අගේන්) ක්‍රිස්තියානියක් මෙරට රජ කරනවා.



ජාතිකත්වයකින් යුත් පළල් සංධානයක් පළමුව ගොඩ නගා ඉන්පසු ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කළ යුතුයි. එහි දී මහා සංඝයා වහන්සේගේ අවවාද අනුශාසනා වැදගත් වෙනවා. ඒ තමයි මහානාම හිමියන්ගේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අවශ්‍ය මහා සංඝයා වහන්සේට ඇති මේ බලය කඩා බිඳ දැමීමට. එය එකල ඉංගිරිසි ආණ්ඩුකාරයන්ටත් තිබූ අවශ්‍යතාවක්. මේ මහාවංශ ව්‍යාපෘතිය ගැන ක්‍රිස්තියානි නූතනත්ව සංකල්ප ඇසුරෙන් කරන කසිකබල් විග්‍රහ කරන පඬියන් තේරුම් නොගන්නා කරුණ ඔවුන් ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියේ නිවට දාසයන් බවයි.



පඬියන්ට තබා ඔවුන්ගේ ප්‍රංශ ජර්මන් ස්වීඩිෂ් ස්කැන්ඩිනේවියානු ගුරුවරුන්ටවත් මනසෙන් තොර ඊනියා යථාර්ථයක් ඇති බව මනසෙන් තොර ව පෙන්වන්න බැහැ. අර මෙයිසු ද කවුද ප්‍රංශ කාරයාගේ පුහු තර්කවලට අප පිළිතුරු දී ඇති. පැරණි ග්‍රීකයන් හිතුවට ගණිතයවත් මනසෙන් තොර නැහැ. ඔවුන් හිතුවේ එහි දිව්‍යමය ගතියක් ඇත කියා. මා නොදන්න දිව්‍යමය ගණිතය. තියරම් තියරි ආදී වචනවලට අද බටහිර නූතනත්ව උගතුන් වෙනස් නිරුක්ති දෙන්න උත්සාහ කළත් ඒ ගලා එන්නේ දේව දැක්ම වැනි අදහසකින්.  දයාසිරි ජයසේකර වැන්නන් මේ කරුණු මෙනෙහි කරනවා නම් හොඳයි.