Main Logo

Tuesday 5 March 2019

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට හුළං



ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ම පක්‍ෂය බවට පත්වෙලා. මොන තරම් දෙයක් ද? විධායක ජනාධිපති ක්‍රමය තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් මෙරට ඇති වී නැත වගේ හැඟීමක් ජ වි පෙ නායක සහෝදරවරු කතා කරන කොට හිතෙනව. ජ වි පෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දිවි හිමියෙන් කැප වී වැඩ කරනවා. ඔවුන් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කියල එකක් ගෙනාවෙ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමටයි.




එහෙත් අධිකරණය තීරණය කළා විස්සේ වගන්ති දෙකක් ද කොහෙද හැරෙන්න අනෙක් සියල්ල සම්මත කර ගන්න නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕන කියලා. ඒ වුණත් ඒක එච්චර දෙයක් නො වෙයි. ජේ ආර් රනිල්ට උගන්නලා තියෙනවා ඒ වගේ අවස්ථාවල ජනමත විචාරණ පවත්වන්නෙ නැතිව ක්‍රියා කරන්නෙ කොහොමද කියලා. ජේ ආර් දහතුන සම්මත කරගත් ආකාරයෙන් තමයි රනිල් දහනවය සම්මත කර ගත්තෙ.



ටිකක් රෑ වෙනකන් ඉඳලා කාරක සභා අවස්ථාවෙ සංශෝධන නොවන සංශෝධන මගින් අධිකරණයට පිටින් යන හැටි ජේ ආර්ගෙ පොතේ ලියල තියෙනවා. රනිල් පොත කියවල තියෙනවා. ජ වි පෙ පොත පෙරළනවා. ජ වි පෙ තම ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නැහැ. ජ වි පෙ එදා ඉඳලා අද දක්වා ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මොන තරම් දෙයක් ද? අවුරුදු හතළිහකට වැඩි කාලයක් තිස්සේ එක ම ප්‍රතිපත්තියක පිහිටල ඉන්න එක අගය කරන්න ඕන වැඩක්. ඒත් අපේ අය ඒක අගය කරන්නෙ නැහැ. ඔය අස්සෙ දහතුන ආපු බව ජ වි පෙරමුණට මතක නැහැ.



මා දැක්ක පඬියකුත් ලියල තිබුණ ජ වි පෙ මේ ඉටු කරන්නෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවක් කියලා. ඒක නම් අර බටහිර විද්‍යාඥයො කියනව වගේ අපූරු සොයා ගැනීමක්. මේ වගේ පඬියන් ඉන්න රටක ඉපදෙන්න ලැබිච්ච එකත් වාසනාවක් කියල හිතෙනවා. ඒ පඬියා ඒ බව සොයා ගන්න කලින් බටහිරයන්ගෙ අවශ්‍යතා ගැන කිසිවකු දැන ඉඳලා නැහැ. පඬියගෙ ඊනියා කියවීම නම් අතිවිශිෂ්ටයි. කියවීම කියන වචනය යොදා ගන්නෙ කාගෙ අවශ්‍යතාවකට ද කියල කවුරු හරි පඬියකු කියනවා ද? සමාජය වෙනස් වෙනවා. අපට වෙනස් නොවී ඉන්න බැහැ. ඒත් අප වෙනස් වන්නේ, විශේෂයෙන් ම පඬියන් වෙනස් වෙන්නෙ බටහිරයන්ට ඕන විධියට. ඔවුන් පාවිච්චි කරන වචන සංකල්ප බටහිරයන් අපට එවන ඒවා. ඔය කවුරු මොනවා කිව්වත් බටහිරයන්ට ඕන විධියට වෙනස් වෙන එක සනීපයි.  



ජ වි පෙරමුණට දැන් අවුරුදු හැටකට කිට්ටුයි. ඒ කාලයෙහි ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මොන තරම් සටනක් කරල තියෙනවා ද? අර හුණුවටයෙ කතාවෙ කියනව නීති බින්දෝ එය රැකීමට කියලා. ඒ වගේ තමයි ජ වි පෙරමුණත්. ප්‍රජාතන්ත්‍රවාදය බිඳිනවා, කඩනවා වෙන මොහොකටවත් නො වෙයි ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට. 1971 හා 1987-90 කාලයෙ මොන තරම් මිනී මැරුව ද?



ඔවුන්ගෙ තර්ජන ගර්ජන මැද්දෙ ජීවත් වෙන්න මටත් සිද්ධ වුණා. කොළඹ විශ්වවිද්‍යාලෙ බිත්ති පුරා මට විරුද්ධව ලිව්ව. ඩී එම් ආනන්දලා මට විරුද්ධ ව කැලෑ පත්තර බෙදුවා. මට මරණීය තර්ජන එල්ල කළා. මා ඉන්දීය ඒජන්තයකු කියලයි කිව්වෙ. ඒත් මට තාම මගේ ගාස්තුව ලබා ගන්න බැරි වුණා. ඉන්දීය පයිසයක්වත් මට තාම ලැබිල නැහැ. රනිල්ට බැරිද තිරුපති කෝවිලෙන් දැන ගන්න මට ගාස්තුව ලැබෙන්නෙ නැත්තෙ ඇයි ද කියලා.



ඒත් එකල තවත් දෙයක් සිද්ධ වුණා. රන්ජන් විජේරත්න හිතුවෙ මා ජ වි පෙරමුණට සම්බන්ධ කියලයි. ඔවුන්ටත් මා නැති කරන්න අවශ්‍යතාවක් තිබුණා. එයට හවුල් වෙච්ච අයෙක් අද මහින්දට කිට්ටු වෙලා. පහුගිය කාලෙ නම් ඔහු වඩාත් කිට්ටු වෙලා හිටියෙ ගෝඨාභයට. ඔහු වියත් මගෙත් හිටියා. දැනුත් ඉන්නවා ද දන්නෙ නැහැ.



ජ වි පෙ කිව්වෙ තමන් තමයි ඉන්දීය විරෝධීන් කියල. ඔවුන් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වුණා. ඒක හොඳයි. පළාත් සභාවලටත් විරුද්ධ වුණා. ඒකත් හොඳයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ඡන්දය දීමටත් විරුද්ධ වුණා. ඡන්දය දෙන්න ගිය උදවිය මැරුවා. සමහරුන් මරන්න එලෙව්ව. ධර්මවිජය හාමුදුරුවන්ගෙන් (එකල ධර්මසේකර) දැන ගන්න පුළුවන්. නීති බින්දෝ එය රැකීමට.



ඒව පැත්තකින් තියමු. ඊයේ පෙරේදා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ජ වි පෙ කෙතරම් මහන්සි වුණා ද? මහින්ද අගමැති ලෙස පත්කළ විගස ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටනට බැස්සා. ආණ්ඩුවට බහුතරයක් නැහැ කියල අර විජිත හේරත් කියන හාදයා කඩිමුඩියේ කොළ කෑල්ලක ලියල විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු මොන තරම් දෙයක් කළා ද? නැහැ මා කිව්වෙ අර රිය පැදවීම ගැන නො වෙයි.



අද රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා ද? රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගේන්නෙ නැත්තෙ ඇයි කියල මා අහන්නෙ නැහැ. ජ වි පෙරමුණට ඒකට උත්තරයක් තියෙනවා. ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවුරුදු හතරක් ආණ්ඩුව රැක්කා. අදත් රකිනවා. ඒත් අද ප්‍රසිද්ධියේ රකින්න බැහැ. ඔක්තෝම්බර් විසිහයෙන් පස්සෙ, මහින්දට විරුද්ධව  විශ්වාසභංග යෝජනාවක් ගෙනාවත්, රටේ බලතුලනය වෙනස් වුණා. දැන් තවදුරටත් ජ වි පෙරමුණට ප්‍රසිද්ධියේ රනිල් වෙනුවෙන් පෙනී සිටින්න බැහැ. මා කලින් කී පඬියට ඒක තේරෙන්නෙ නැහැ. ඔහු පණ්ඩිතමානී ව කියන්නෙ ජ වි පෙ රනිල් වෙනුවෙන් වැඩ කරනවා කියන එක තමන් පිළිගන්නෙ නැහැ කියලා. ජ වි පෙරමුණට  විස්ස වගේ දේවල් ඉස්සරහට ගෙනියනවා හැරෙන්න වෙනත් දෙයක් ප්‍රජාතන්ත්‍රවාදය රැකීම වෙනුවෙන් කරන්න බැහැ. දැන් ජ වි පෙරමුණට මිනී මරන්නත් බැහැ.



ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හෙට මහින්ද හම්බවීමට නියමිතයි. මහින්ද සරුංගලයක් යවල තියෙන්නෙ. ඒක යන අත බලල හුළඟ හමන්නෙ කොයි පැත්තට ද කියල මහින්ද තීරණය කරාවි. තාම හුළඟ හමන්නෙ දහතුන හා පළාත් සභා තියෙනකන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් නොකළ යුතුය කියන දිශාවට. ඒත් මහින්දටත් ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඔහු දහනවයට ඡන්දෙ දෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂෙට කිව්වත් දහනවයෙන් වැඩියෙන් ම පහර වැදුණෙ ඔහුට. ඔහුට දැන් දහනවය ඉවත් කරන්න බැහැ. අඩු තරමෙන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තුවට ඒ කියන්නෙ අගමැතිට විධායක බලතල ගන්න පුළුවන් ද කියල තමයි ඔහුත් බලන්නෙ. ඒත් ඔහු හුළඟ දිහා බලනවා.



මා අර විමුක්ති කියන සිංහල බෞද්ධ විරෝධියාගේ හුළඟ එනු පිණිස කියන චිත්‍රපටය හෙළා දකිනවා. ඒ චිත්‍රපටයෙ නමත් අර හිරකරුවෝ ද මනුෂ්‍යයෝ යන විධියේ ඉංගිරිසි කියමනක සිංගිරිසි පරිවර්තනයක් පමණයි. මහින්ද හුළඟ හමනකන් බලන් ඉන්නවා.  හුළඟ හමයි ද? ජ වි පෙ හදන්නෙ හුළං ටිකක් පිඹින්න ද? ඒත් ජ වි පෙරමුණට හුළං තමයි.