ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ
ලංකාව පුංචි රටක් වෙලා තියෙන්නෙ එහි දේශපාලනඥයන් පුංචි නිසා මිස රට
පුංචි නිසා නො වෙයි. දැන් කවුරු හරි පඬියකු ලංකාවේ වර්ගඵලය හෙක්ටෙයාර්වලින් හා
වර්ග සැතපුම්වලින් කියාවි. ඒක ඉන්දියාව, චීනය එක්ක විතරක් නොවෙයි බංග්ලාදේශය එක්කත් සංසන්දනය කරලා පෙන්නාවි
මා වැරදි කියලා. එහෙම තමයි මෙරට පඬියන්ගෙ වැඩ. එංගලන්තයේ හරි ඊශ්‍රායලයෙ හරි
වර්ගඵලය කොච්චර ද? මා හරියට දන්නේ නැහැ. මට ඔය සංඛ්‍යා
මතක තියාගන්න බැහැ. ඒත් මා හිතන්නෙ නැහැ ඒ රටවල වර්ගඵලය ලංකාවේ වර්ගඵලය වගේ සිය
ගුණයක් කියලා.
ලංකාවත් ඉස්සර ලෝකයෙ ගණන් අරන් තියෙන්නෙ තරමක ලොකු රටක් හැටියට.
ටොලමිගෙ සිතියමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ කාලෙ දැන් වගේ සිතියම් අඳින ක්‍රම
තිබුණෙ නැහැ. ඒත් ටොලමි හරි ඒ සිතියම ඇන්ද කවුරු හරි ලංකාව පොඩියට ලකුණූ කරල නැහැ.
ඒ ඔවුන්ට ලංකාව ගැන යම් ලොකුකමක් හිතුණ හින්ද. ඒ ලොකුකම ලංකාවට ගෙනාවෙ අපේ රටේ
හිටපු රජවරු. ඒ රජවරු නිසා ශිල්පීන්ට ද තැනක් ලැබුණා.
විසිවැනි සියවසේ ලංකාවෙ හිටපු නායකයන්ගෙන් ලෝකයා දැන හිටියෙ සිරිමා
බණ්ඩාරනායක මහත්මිය. ලංකාව බණ්ඩාරනායක මැතිණියගෙ රට හැටියටත් සමහර පිටරැටියන්
හැඳින්නුව. එතුමිය ඉන්දියාවට යට වුණෙත් නැහැ. ඒ ඉන්දිරා ගාන්ධි පවුලේ මිතුරියක් ව
සිටිය දී. අද මෝදි නමස්කාර් තමයි අපේ දේශපාලන නායකයන් දන්නා දේ. ඊට අමතර ව
තිරුපතිත් නමස්කාර්. ඉන්දියාව මේ නායකයන් ගණන් ගනීවි ද? බණ්ඩාරනායක මැතිණියට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කරන්න පුළුවන්
වුණා විතරක් නොවෙයි 1962 දී ඉන්දියාව හා චීනය ගැටුණු විට
මැදිහත් වී සමාදානය ඇති කරන්නත් පුළුවන් වුණා. නේරු ඉන්දීය පාර්ලිමේන්තුවේ දී
බණ්ඩාරනායක මැතිණියගේ විසඳුම ක්‍රියාත්මක කිරීමට යෝජනා සම්මත කර ගත්තා.
අද අප ඉන්දියාව කියන විධියට නටනවා. බටහිරට ගැති වෙලා. මේ පුංචි
දේශපාලනඥයන් ලංකාව හොඳට ම පුංචි කරලා. ඊට පස්සෙ අහනවා පුංචි රටකට පුළුවන් ද
ස්වාධීනව කටයුතු කරන්න කියලා. අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව
අයිතිවාසිකම් කොමිසම මහා ඉහළින් සලකනවා. එය දේශපාලනඥයන්ගේ මෙන් ම ජනමාධ්‍යවේදීන්ගේ
ද වරදින් සිද්ධ වෙන්නක්. ඇතැම් ජනමාධ්‍යවේදීන් බලන් ඉන්නවා අවුරුද්දකට දෙසැරයක්
ජෙනීවා යන්න. ඔවුන්
කෙන්ද කන්ද කර පෙන්නනවා. කෙන්ද කන්ද කරන තරමට
ඔවුන්ට හොඳයි.
මෙවර ජනාධිපතිගේ කණ්ඩායමක් හා විදේශ අමාත්‍යාංශයේ කණ්ඩායමක් යනුවෙන්
කණ්ඩායම් දෙකක් ජෙනීවා යනවා. එහෙත් කොමිසමේ නියෝජනය වන්නේ විදේශ අමාත්‍යාංශයයි.
ජනාධිපතිගේ කණ්ඩායමට එහි කතා කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙත් එයින් වැඩක්
සිදු නොවන්නේ යැයි මා කියන්නේ නැහැ. එහෙත් අප සිතන තරම් දෙයක් සිදුවන්නේ නැහැ.
ඔවුන්ගෙන් පමණක් නොව මෙරටින් යන විවිධ කණ්ඩායම්වලිනුත් ජනමාධ්‍යයේ කියන තරම් දෙයක්
සිදු වන්නේ නැහැ. ඔවුන්ගෙන්වත් දෙමළ විසුරුැණු ජනතා නියෝජිතයන්ගෙන්වත් විශාල
බලපෑමක් කොමිසමට සිදු වන්නේ නැහැ.
මේ දෙමළ විසුරුණු ජනයාගේ කණ්ඩායම් එන්නේ එංගලන්තයේ අනුග්‍රහයෙන්. මා හැමදාමත් කියා ඇත්තේ වත්මන් ප්‍රශ්නය මුලින්
ම ලන්දේසීන් ඇති කළත් දැන් තියෙන ස්වරූපයෙන් ඇත්තේ එංගලන්තය නිසා බවයි. ඔවුන් ප්‍රශ්නය
ඇති කෙළේ 1833 දී. එංගලන්තය දෙමළ විසුරුණු ජනයා යොදා
ගන්නේ තමන් ප්‍රශ්නයට මැදිහත් නැති බව පෙන්වීමට. එංගලන්තය ලෝකයට පෙන්වන්නේ තමන්
මානව දයාව නිසා දෙමළ විසුරුණු ජනයා හා උතුරු පළාතේ දෙමළ කතාකරන ජනයා වෙනුවෙන්
මැදිහත් වන බවයි. එහෙත් ඇත්තට ම සිදුවන්නේ අනෙක් පැත්ත. එංගලන්තය වෙනුවෙන් එංගලන්තය
විසින් දෙමළ විසුරුණු ජනයා මෙහෙයවනු ලැබීම හා දෙමළ වෙල්ලාල නායකයන් යොදා ගනු
ලැබීම.
ලංකාවෙන් යන කණ්ඩායම්වලට එංගලන්තයේ බොරුව පෙන්වමින් දෙමළ විසුරුණු
ජනයාගේ කණ්ඩායම් සමග ගැටීම මගින් යම් සේවයක් කරන්න පුළුවන්. ජනාධිපතිගේ කණ්ඩායමට එය ද කරන අතර විදේශ අමාත්‍යාංශයේ
මතය එක ම මතය නොවන බව වෙනත් රටවල නියෝජිතයන් හමුවී ප්‍රකාශ කරන්න පුළුවන්. යම්
රටවල් සංඛ්‍යාවක් තිබෙනවා එංගලන්තය ලංකාවට එරෙහිව ගෙන යන බොරු ප්‍රචාර අවබෝධ
කරගත්. ජනාධිපති කණ්ඩායම ඒ රටවල් සමග සම්බන්ධතා ගොඩනගා ගත යුතුයි. එය විශාල දෙයක්
නොවනමුත් විදේශ අමාත්‍යාංශය දරණ බටහිර ගැති මතය සමග එකඟ නොවන ජනාධිපති කෙනකු ඉන්න
බව පෙන්වන්න පුළුවන් නම් එය වැදගත්.
විදේශ අමාත්‍යාංශය 2015
සැප්තැම්බර් යෝජනාවට සම අනුග්‍රහය දැක්වූයේ අමාත්‍ය මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ
අනුමැතියක් නොමැතිව බව එංගලන්තය සමග එකට නැති රටවලට වෙන වෙන ම හෝ සාමුහික ව හෝ
කියා දෙන්න පුළුවන් නම් ඒ වැදගත් වෙනවා. එය කොමිසමේ රැස්වීම්වල කියන්න බැරි
වේවි. අප තානාපතිවරුන් පත් කර යවන්නේ
ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වීමට හා ඒ ඒ රටවල පදිංචි වීමට අවස්ථාවක් සලසා ගැනීමට බැවින්
ජනාධිපති කණ්ඩායමට කොමිසමෙන් පිට ඇතැම් රටවල නියෝජිතයන් මුණ ගැසී කරුණු පැහැදිලි
කිරීමට සිදු වෙනවා.
අප කොමිසමේ සැසි වාරවලට සහභාගි වන අනෙක් රටවල් යොදා ගත යුත්තේ
කොමිසමට ම විරුද්ධවයි. මේ කොමිසමට කළ හැකි දෙයක් නැහැ. ඔය මොන යෝජනා සම්මත කර
ගත්තත් මෙරට දේශපාලනඥයන් පුංචියට නොසිතනවා නම් කොමිසමට යෝජනා අකුළා ගන්න වෙනවා. මේ
කොමිසම අප බය කිරීම සඳහා ජාත්‍යන්තර සුපිරි ව්‍යුහ සංස්ථාපනය අටවා ගත් එකක් පමණයි.
අප එයට බය වන්නේ ඇයි. ඊශ්‍රායලයට විරුද්ධ ව කොමිසම සම්මත කර ගන්නා යෝජනාවලට මොක ද
වෙන්නෙ. පඬියකු කියන්න පුළුවන් ඊශ්‍රායලයට බලවත් රටවල් සහාය දෙනවා කියල. ඒ හින්ද
නොවෙයි ඊශ්‍රායල් දේශපාලනඥයන් අභිමානයකින් කටයුතු කරනවා. මෙරට දේශපාලනඥයන් බහුතරය
අපට මොන සෙල්ලම් පෙන්නුවත් අභිමානයක් නැති පිරිසක්.
ඔවුන්ට තවමත් බැහැ මෙරට යුද්ධයක් නොතිබුණු බව කීමට. අප එංගලන්තයට අපේ
අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තර කරගන්න ඉඩ දීලා. අප දැන්වත් කියන්න ඕන මෙරට
සිවිල් යුද්ධයක් හෝ වෙන යම් යුද්ධයක් හෝ නොතිබූ බවත් තිබුණේ රාජ්‍යයට විරුද්ධව අවි
ගත් ත්‍රස්තවාදී කණ්ඩායමක් හමුදා මෙහෙයුම් මගින් පරාජය කරනු ලැබීම පමණක් බවත්. අප
කිසිම ආකාරයකින් අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට බටහිරයන්ට ඉඩ දිය
නොයුතුයි. නිවට දේශපාලනඥයන් නොව එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ඉදිරියේ ඉන්දියාවේ
හෝ වෙනත් රටක හෝ ශක්තිය මත නොව මෙරට ඉතිහාසයේ හා සංස්කෘතියේ ශක්තිය මත අභිමානයෙන්
කටයුතු කරන දේශපාලනඥයන් රටේ භාරකරුවන් විය යුතුයි.