Main Logo

Friday, 1 March 2019

දාසනායක හා මහින්ද


දාසනායක හා මහින්ද



මහින්ද කියනවා විධායක ජනාධිපති ධුරය ගැන සමාජයේ නැවත සාකච්ඡාවක් ඇති වෙලා කියලා. මේවට කතිකාවත් කියනවට මා කැමති නැහැ. ඒක සුනිල් ආරියරත්න හරි වෙන කවුරු හරි නන්දා මාලිනිගේ ගීත සජ්ඣායනාවක් ගැන කිව්ව වගේ. පරණ වචන පාවිච්චි කරන කොට ඒවට වෙන අරමුණු තියනවද කියලත් හොයල බලන්න ඕන. ඒ අතර අනුර දාසනායක මහින්දට ස්තුති කරලා මේ සාකච්ඡා කිරීමට කැමති වීම ගැන.




අප මේ ගැන කොතරම් කිව්වත් මහින්දගෙ කණට යන්න නැහැ. මහින්දට මේ ලිපි යැවුවත් ඔහු කියවනවා කියා මා හිතන්නෙ නැහැ. මේ රටේ බොහෝ දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් ද පොතපත කියවනවාට වඩා ඇසීමට ප්‍රිය කරනවා. ඒ අපේ සම්ප්‍රදාය. අපේ උගතුන් හැඳුන්නුවෙත් බහුශ්‍රැත කියලා. බොහෝ ඇසු අයකු කියලා. දැන් නම් වැඩිපුර අහන්නෙ ඕපදූප. ඒක වෙන ම කතාවක්. 



1978 විධායක ජනාධිපති ක්‍රමයට අපත් විරුද්ධ වුණු එක ඇත්ත. එකල නව සමසමාජ පක්‍ෂය ලෙස අප කළුකොඩි දැම්මා. වික්‍රමබාහු පොලීසියට අහුවුණා. නව සමසමාජ පක්‍ෂය අදත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ඇති. එහෙත් 1987න් පසු තත්වය වෙනස් වුණා. දහතුන්වැනි ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඒ අධිකරණ තීන්දුවක් නොසලකා හරිමින්. දහතුනෙන් අප සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් වුණා. පළාත් සභා පනත සම්මත වුණා. දැන් මහ ඇමතිලා ඉන්නවා ආණ්ඩුකාරයන්ගෙන් මිදෙන්න උත්සාහ කරමින්. මහඇමතිවරුන්ට අවශ්‍ය තව තවත් බලතල.



1987න් පසු විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වීම යනු මහා ඇමතිලාගේ හා පළාත් සභාවල බලතල වැඩි කිරීමට කටයුතු කිරීමක්. ඒ කියන්නෙ අප රට තව තවත් බලවත් සන්ධීය රාජ්‍යයක් බවට පත් වීම. දෙමළ ජාතිවාදයට තිබුණේ එක ම මූල ධර්මයයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දමා වෙන ම රාජ්‍යයක් ඇති කර ගැනීම. ඒ සඳහා ඔවුන් අනුගමනය කළ  ක්‍රියා මාර්ගය අද ටිකක් හෙට ගොඩක් යන්නයි. අදට වඩා හෙට බලතල ලබා ගැනීම හා අවසානයේ දී කැඩී යෑම. මේ ක්‍රියා මාර්ගය හොඳින් ම කියා දුන්නේ එස් ජේ වී චෙල්වනායගම්. ඒ බව ඔහුගේ බෑණා වූ ඒ ජේ විල්සන් ලියු තම මාමණ්ඩියගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා.



අද අනුර දාසනායකගෙ මිනීමරු පක්‍ෂය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. කොටි සංවිධානය හා ජ වි පෙ තරම් මිනීමැරූ සංවිධාන දෙකක් නැහැ. ජ වි පෙ ඡන්දය දැමීමටත් විරුද්ධ වුණා. ඡන්දය දැමීමට ගිය මැරුවා. දාසනායකට ඒ අතීතය අමතක වෙනවා. ජ වි පෙ එදා පළාත්  සභා අනුමත කළා ද? ඔවුන් තම ප්‍රතිපත්ති වෙනස් කර ගෙන ද? ඔවුන් ප්‍රතිපත්ති වෙනස් කර ගන්නා විට මිනිසුන්ට කියනවා ද? ඔවුන්ට ඕන වහල් අනුගාමිකයන් පිරිසක් පමණයි.



අද මහින්ද මෙරට ජාතික බලවේග මෙහෙයවනවා. අප රටේ ඇති විශාල ම ප්‍රශ්නය මෙයයි. ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කළ අය මෙයට වග කියන්න ඕනෙ. අද ඒ අයට ජාතික ව්‍යාපාරය මෙහෙය වන්න බැහැ. ඒ තබා දිනේෂ්ටවත් බැහැ. බැසිල්ට පක්‍ෂ අයත් අද බොරුවට හරි මහින්දට පක්‍ෂ බවක් පෙන්වනවා. නැත්නම් ඔවුන්ටත් පැවැත්මක් නැහැ.



කුසුමාසනදේවි නරඹද්දි මට ඇති වෙන ප්‍රශ්නය සීතාවක රාජසිංහ හා විමලධර්මසූරිය යන අතිශූර රණවිරුවන් දෙදෙනකු සිටියදීත් අපට පෘතුගීසීන් සම්පූර්ණයෙන් ම පරාජය කරන්න බැරි වුණෙ ඇයි ද කියන එක. සමහර විට එවැනි අතිශූරයන් දෙදෙනකු එකට පහළ වීම ම ප්‍රශ්නයක් වනානටත් ඇති. එහෙත් එයටත් වඩා තවත් දෙයක් තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය එකල දුර්වල වී තිබීමත් යුරෝපීය ජාතියකට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව නිසි වැටහීමක් නොතිබීමත්. මා එසේ කී විට සුපිරි සිංහල බෞද්ධයන් මා සමග උරණ වේවි.



අප සොළීි හා වෙනත් ද්‍රවිඩ වාංශික රජවරුන්ට මුහුණ දීමට දැන සිටි නමුත් යුරෝපීය ජාතීන්ට මුහුණ දෙන්නේ කෙසේ දැයි දැන සිටියේ නැහැ. මගේ විශ්වාසය සීතාවක රාජසිංහ ඒ සඳහා එතෙක් නොතිබූ ක්‍රමයක් අනුගමනය කළ නමුත් භික්‍ෂූන් වහන්සේගෙන් ඒ සඳහා නිසි ආධාරයක් උපදෙසක් නොලැබුණු බව. කුසුමාසනදේවී සම්බන්ධයෙන් ද අප අනුගමනය කර ඇත්තේ වැරදි ක්‍රියා මාර්ගයක්. අවුරුදු පහළොවක් පමණ පෘතුගීසීන් ළඟ සිටි ඇය ගැන අප අනවශ්‍ය සැකයක් ඇති කර ගෙන තිබෙනවා. ඇයත් කතෝලික  පූජකවරුන් සමග පැවැත් වූ සම්බන්ධකම් නිසා ඒ ගැන යම් ප්‍රමාණයකට වග කිව යුතුයි. ඇයට උපදෙස් දීමට කිසිවකු සිට නැහැ.  විමලධර්මසූරිය ඒ අතින් සිතාවක රාජසිංහටත් කුසුමාසනදේවියටත් වඩා උපායශීලී ආකාරයකට කටයුතු කර තිබෙනවා. අවුරුදු තුනක් පෘතුගීසීන් සමීපයෙහි සිටියත් ඔහුට පෘතුගීසී ආභාසයෙන් මුළුමනින් ම මිදීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු වැඩි කාලයක් ජීවත් වුණේ නැහැ.



එදා සිට අප අඩුවැඩි වශයෙන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වුණා. අප බොහෝ දෙනකුට ඒ ආධිපත්‍යයෙන් මුළුමනින් ම කැඩෙන්න බැහැ. රනිල්ට කොහොමටවත් බැහැ. මහින්දත් ඒ ආධිපත්‍යයට විශාල ප්‍රමාණයකට යටයි. අනුර දාසනායකලා කෙකරගාමින් ඒ ආධිපත්‍යයට හොඳට ම යටයි. ඔවුන්ට ඊනියා අපෝහකයවත් තේරෙන්නේ නැහැ. 1987ට පෙර තිබූ විධායක ජනාධිපති ක්‍රමය ඉන් පසුව ඇති විධායක ජනාධිපති ක්‍රමයට වඩා ගුණාත්මක ව වෙනස් වන බවවත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. අර එංගල්ස් කියන ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක වෙනස්කම්වලට තුඩුදෙන බව කියන ඊනියා අපෝහක කතාවවත් ඔවුන් දන්නෙ නැති පාටයි. එංගල්ස් කියන්නේ මහා බැරූරුම් දෙයක් නො වෙයි. එහි ඇති අපෝහකයක් නැහැ. එය තනි රූපික කතාවක්. ඒත් දාසනායකලාට කෙකරගාමින්ට ඒ කතා තේරෙන්නේ නැහැ.



මහින්දට මේ එකක්වත් වැඩක් නැහැ. දැන් මහින්දවාදීන් හා ව්‍යාජ මහින්දවාදීන් මට විරුද්ධ වේවි. මහින්ද මට පේන විධියට සෙනරත් වැන්නෙක්. ඔහු ජාතිකත්වය අතින් රාජසිංහ විමලධර්මසූරිය තබා කුසුමාසනදේවීවත් අහළකින් තියන්න බැහැ. අවාසනාවකට කූසුුමාසනදේවී නැතිකර ගත්තේ අපි. රාජසිංහ නැතිකර ගත්තෙත් අපි. අපි මහින්ද නැති කර ගත යුතු නැහැ. අප ඔහුට ඉඩ නොදිය යුතුයි. දහතුන සහ පළාත් සභා තියාගෙන විධායකය නැති කිරීමේ අවශ්‍යතාව ඇති ජී එල් වැන්නවුනට මහින්ද හැසිරවීමට ඉඩ නොදිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කිසිම සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. මහින්ද අනුර දාසනායකලා සමග ඇති සාකව්ඡාවලින් ඉවත් විය යුතුයි.