Main Logo

Wednesday, 27 March 2019

ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ


ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ



ජනතා සේවය සඳහා  පෙරුම්පුරා ඉපිද සිටින අප්පච්චි මලෝ පියසේන ගමගේ වැන්නන්ට ඇමතිකම් දීම අද දවසේ ප්‍රධාන කාර්යය බවට පත් වෙලා. ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ජනතාවට පින් මදි වීම මෙහි දී ඇති  එක ම ප්‍රශ්නය ද කිියා ඇසීමට සිත් වෙනවා. සම්ම ජාතියේ විදුලිය නොකපන බව කී රවි කරූණානායකට අමාත්‍යාංශයෙ එතරම් බලයක් අධිකාරයක් නොමැති බව පැහැදිලියි. විදුලිය නොකපන බව ඇමතිගේ ප්‍රතිපත්තිය වුවත් නිලධාරීන් ඇමති අණ ඉක්මවල විදුලිය කපලා.





සමහරවිට රවි කෘත්‍රිම වැස්ස වස්සවන්න හදනවා ද දන්නේ නැහැ ජල විදුලිය ලබා ගන්න. අවුරුදු තිහකට පමණ ඉස්සර සජිත්ගෙ තාත්තා ප්‍රේමදාසත් කෘත්‍රිම වැස්ස වස්සන්න හැදුවා. ඒත් හරි ගියේ නැහැ. නොරොච්චෝලෙ දැන් හරි ද කියල හරියට ම කවුරුත් කියන්නෙ නැහැ. ඒ මොනව වුණත් මා මේ ටික ලිව්වෙ අප්පච්චි මලෝ විදුලිය ඇමති හැටියට පත් කරන්න පුළුවන් ද කියලා අහන්න. නැත්නම් අර ජනතා සේවා පාරමී ධර්ම ටික අපතෙ යනවා.



ඒත් අප්පච්චි මළෝ පියසේන ගමගේ ආදීන් ශ්‍රී ල නි පක්‍ෂ සාමාජිකයන්. ඒක නිසා ද මේ දවස්වල ශ්‍රී ල නි පක්‍ෂය සමග ජාතික ආණ්ඩුවක් හදනව කියල කතාවක් පැතිර යන්නෙ. ඒකට ජඩමාධ්‍යවේදීන් පොහොර දානව. ඔවුන්ට ඕන ඔවුන්ගෙ මාධ්‍යවලට වෙළෙඳ දැන්වීම් ලබා ගෙන තම රැකියා තහවුරු කර ගන්න. ඒත් මේ ජනතාව මෝඩයට අන්දන්න හදන්නෙ මොකද? බටහිර සංස්කෘතියේ කතාවක් තියෙනව අප්‍රේල් පළමුවැනි දා මෝඩයගෙ දවස කියලා. ජඩමාධ්‍යවේදීන් ට ඕන හැම දවසක් ම ජනතාවට මෝඩයාගෙ දවසක් කරන්න.



දේශපාලනඥයනුත් කැමතියි තමන්ගෙ නම පින්තූරෙ ජනමාධ්‍යයෙ ප්‍රචාරය වෙනව දකින්න.  ජඩමාධ්‍යවේදීනුත් අර මාධ්‍ය සාකච්ඡාවල දී පින්කම්වල දී මළගෙවල්වල දි මගුල් ගෙවල්වල දී සහ තවත් තැන්වල දි දේශපාලනඥයන්ගෙන් අහනව ඊනියා ජාතික ආණ්ඩුව ගැන. හැමෝ ම වගේ ශ්‍රී ල නි පක්‍ෂය සමග හදන ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. දේශපාලනඥයන් ඒ ප්‍රශ්නෙට එක එක විධියෙ උත්තර දෙනවා.



අපි නැවතත් බලමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ජාතික ආණ්ඩුව නිර්වචනය කරල තියෙන්නෙ කොහොමද කියල. එහි සිංහල පිටපතේ සිංහල එතරම් හොඳ නැති වුණත් අපි ඒක මෙහි නැවත වරක් උපුටා දක්වනවා. ජඩමාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකුවත් මේ ලිපි කියවන්නෙ නැහැ. ඔවුන්ට යමක් දැන ගන්න වුවමනාවකුත් නැහැ. ඒත් ඒ අය හිතන් ඉන්නෙ තමන් හැම දේ ම දන්න බවයි.



“46(5): (4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය.”



මේ අනුව අද පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ අනෙක් පිළිගත් දේශපාලන පක්‍ෂ සමග ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. දැන් ප්‍රශ්නය වන්නෙ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂයක් ද කියන එකයි.



ශ්‍රී ල නි පක්‍ෂය මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්‍ෂයක්. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් එය පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂයක් ද? කොහොමටත් අප්පච්චි මලෝ පියසේන ගමගේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජික තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණක් එ ජා පෙරමුණ සමග ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? අප්පච්චි මලෝ පාර්ලිමේන්තුවේ ඉන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙ මන්ත්‍රීවරුන් හැටියට මිස ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ලෙස නො වෙයි.



ජාතික ආණ්ඩුවක් හදන එක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ කැමැත්තෙන් කරන්න පුළුවන් වැඩක් නො වෙයි. ඒක පක්‍ෂ තීරණයක් වන්න ඕන. ජාතික ආණ්ඩුවක් හදන්න නම් එක්සත් ජනතා නිදහස් සංධානය තීරණයක් අරගෙන මහින්ද අමරවීර ඒ බව දැනුම් දෙන්න ඕන. ශ්‍රී ල නි පක්‍ෂයටවත් දයාසිරි ජයසේකරටවත් ඒ ගැන තීරණ ගන්න බැහැ. ශ්‍රී ල නි පක්‍ෂයට ජාතික ආණ්ඩු හදන්න බැහැ. අප්පච්චි මලෝට කොහොමටවත් බැහැ.



ජාතික ආණ්ඩුවක් වෙන විධියකට හැදුවත් ශ්‍රී ල නි ප සාමාජිකයන්ට ඇමතිකම් දෙන්නෙ නැහැ කියල ජනාධිපති කියල තියෙනවා. වෙන විධියකට ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන් එක ම එක ක්‍රමය අර මුස්ලිම් කොංග්‍රසයෙ තනි මන්ත්‍රී එක්ක හදන එකයි. ඔහුගෙ පක්‍ෂය එක්සත් ජාතික පෙරමුණෙ වුණත් ඔහු තරග කෙළෙ මුස්ලිම් කොංග්‍රසය ලෙස. ඒත් ඊට පස්සෙ ඉහත සඳහන් අනුව්‍යවස්ථාවෙ පක්‍ෂ කියල තියෙන්නෙ පක්‍ෂ දෙකක් හරි වැඩි ගණනක් ද හරි කියන වගේ ප්‍රශ්න ඇති වෙනවා.



අප්පච්චි මලෝල පියසේන ගමගෙලා වගේ අයට ජනතා සේවයට කොතරම් කැමැත්තක් තිබුණත් ජනතාවට ඒ සේවය ලබා ගන්න පින නැත්නම් තව කාලයක් විදුලිය කැපීම්වලට මුහුණ දෙන්න වේවි.