Main Logo

Wednesday 12 September 2018

ජෙනීවා හා නිව්යෝක්


ජෙනීවා හා නිව්යෝක්



ඊයේ ලිපියෙහි වරදක් වෙලා. එහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. "අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා."  





සරත් වීරසේකර හා චන්න ජයසුමන ජෙනීවා හි කතා කරන්න නියමිතයි. ඇතැමකු ඉහත සඳහන් වාක්‍ය කිහිපයෙන් හිතා ගෙන තියෙනවා ඔවුන්ට ජෙනීවාහි කළ යුත්තේ කුමක් ද යන්න ගැන මා උපදෙස් දී ඇති බව. මට එතරම් ශක්තියක් නැහැ. මා උපදෙස් දුන්නත් ඔවුන්ට එය වැදගත් වන්නේ නැහැ. ඔවුන් මට වඩා දෙමළ ජාතිවාදය ගැන දන්නවා. මගේ උපදෙස්වලින් ඔවුන්ට වැඩක් නැහැ. ජාතික සංවිධාන, ජාතික වෙබ් අඩවි, ජනමාධ්‍ය පළ කරන්නේ ඔවුන්ගේ අදහස් මිස මගේ නොවැදගත් අදහස් නො වෙයි. 



හැරත් ඔවුන් පක්‍ෂ දේශපාලනයෙහි යෙදී ඉන්නවා. මා දන්නේ නැහැ ඔවුන් පොහොට්ටුවේ සාමාජිකයන් ද කියා. එහෙත් ඔවුන් යම් විධියකින් නමුත් එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධයි. මා ඔවුන්ට උපදෙස් දීම සංධානයේ විනයට ප්‍රශ්නයක්. සංධානයේ නොමැති අයකුට සංධානයේ අය මෙහෙයවීමට හැකි ද යන ප්‍රශ්නය මතුවෙනවා.



මා පැහැදිලි ව කිව යුත්තේ මා ඔවුන්ට උපදෙස් දී නැති බවයි. මා ඔවුන් ද සිටි රැස්වීම්වල මගේ අදහස් කියා තිබෙනවා. ඇතැම් විට රැස්වීමෙන් පසු සාකච්ඡාවල ඔවුන්ට මා මගේ අදහස් ප්‍රකාශ කර තිබෙනවා. මා චන්න ජයසුමනටත් සරත් වීරසේකරටත් යම් යම් දේ කියා ඇත්තේ ඒ අර්ථයෙන් පමණයි. ඔවුන් මගෙන් කිසි දෙයක් ඉගෙන නැහැ. ඔවුන් කිසි දෙයක් ඉගෙන ගත් බවට ජනමාධ්‍යයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලත් නැහැ. ඒ නිසා මා අතින් ලියැවුණු වාක්‍ය කිහිපයකට වෙනත් අර්ථකථනයක් දීම තේරුමක් නැහැ.



දෙමළ ජාතිවාදය වැනි රටට බලපාන ප්‍රශ්න පැත්තකට තබමු. මා අර ඉංගිරිසියෙන් ලියන විට කියැවෙන තර්ජනී යනු තර්ජනී නොවන බවත් ඇය දර්ශනී බවත් ලිපියක සඳහන් කළා. එයට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ ඕස්ත්‍රේලියාවේ ඉන්න අයකු පමණයි. ජනමාධ්‍යකරුවන් බොහෝ විට එය කියවන්නේවත් නැතිව ඇති. ඔවුන්ට තවමත් ඇය තර්ජනී. ජයවර්ධන කේන්ද්‍රයට සම්බන්ධ මගේ මිතුරකු ද ඇය තවදුරටත් තර්ජනී ලෙස හැඳින්වීමෙන් පසු මා ඔහුට දැනුම් දුන්නා ඇය දරශනී බව. ඔහූ ඒ පණිවුඩය ලැබුණේ ද කියාවත් දැන්නුවේ නැහැ. ඔහු මට  සර් කියනවා. ඒත් මා ඔහුට උගන්වලත් නැහැ ඔහු මගෙන් කිසිවක් ඉගෙන ගත් බවක් පේන්නෙත් නැහැ.



මා මේ ලිපි ලියන්නේ කාටවත් උගන්වන්න නො වෙයි. පුරුද්දට පමණයි. එහි දී වැඩක් නූත් සමහර දේ කියනවා.  අද මෙරට පාලනය කරන්නේ කවුද යන ප්‍රශ්නය සෑමවිට ම මතුවෙනවා. අපේ දේශපාලනඥයන් බොහෝ විට පිටරට යනවා. සම්බන්ධන් ඉන්දියාවට ගිහිල්ල මෝදිට කියලා ලංකාව ගැන තදින් ඉන්න කියලා. මෝදි කියන විධියට ද අප කටයුතු කරන්නෙ. මහින්දත් ඉන්දියාවට යනවා. සුබ්‍රමනයිම්  ස්වාමි ගැන අප විමසිල්ලෙන් ඉන්න ඕන. පහුගිය දා ඔහු කියා තිබුණා ඉන්දියාවට අවශ්‍ය නම් මාල දිවයින ආක්‍රමණය කරන්න පුළුවන් බව ඉඟි කරන්නක්. අපට කොන්දේසි විරහිත ව උපකාර කරන මිතුරන් නැති බව තවමත් ඉගෙනීමට බැරි ව තියෙනවා. මෙය පෘතුගීසි කාලයෙ සිට එන්නක්.



එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ නියෝජිතයෙක් කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් වැරදි කියා. ඔය කාගෙත් උපදෙස් වැරදියි. ඔවුන් උපදෙස් දෙන්නෙ ඔවුන්ගෙ ඇහින් බලල ඔවුන්ගෙ න්‍යාය පත්‍ර උඩ. අපට අපේ ම වූ න්‍යාය පත්‍රයක් නැහැ. අපට තියෙන්නෙ වෙන අය අපට හදලා දෙන න්‍යාය පත්‍ර. මෛත්‍රිපාල එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ දී වැදගත් ප්‍රකාශයක් කරන්න යනවලු. ඒ විසිපස් වැනි දා. ඊට ඉස්සෙල්ල අර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනෙන පනත විසිකරනවා ද? කලින් පනත වෙනුවට අලුත් පනතක් ගෙනෙන්නෙ බටහිරයන්ගෙ වුවමනාවට දෙමළ ජාතිවාදීන් නිදහස් කර ගැනීමටත් අලුතෙන් බිහිකෙරෙන දෙමළ ජාතිවාදීන්ට නීතියෙන් ආරක්‍ෂාව ලබාදීමටත්. ඒ රට බෙදීමට.



අමාත්‍ය මණ්ඩලයේ දී මෛත්‍රිපාල ස්ථාවරයක් ගන්නෙ නැද්ද? මේ අලුත් පනත රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වෙන්න ඕන. බටහිරයන්ගෙ අවශ්‍යතාවට ගෙනෙන පනතක් රටේ ආරක්‍ෂාවට හිතකර වෙන්න බැහැ. මෛත්‍රිපාල කජු ගැන කතා කරනවා. ඒ රනිල්ගෙ ආණ්ඩුවේ ගුවන් සේවයට පහර ගහන්න. එහෙත් ප්‍රශ්නය එයට වඩා බරපතළයි. මෙරට කජු ගම්මිරිස් තේ ආදී අපනයන භෝග රාශියකට ම ඇතැම් ව්‍යාපාරිකයන් කටු ගහනවා. ඒ කට්ටෙන් ඔවුන්ට විශාල ලාභ ලබෙනවා වෙන්න පුළුවන්. එහෙත් රටට වන්නේ බලවත් හානියක්.



අද විස්ස ගෙනැල්ල. එයට විරුද්ධව කී දෙනකු අධිකරණයට ගියා ද දන්නෙ නැහැ. අපත් යන්න ඉඳලා නීතිඥයකු නැති කමින් අදහස අත් හැරියා. ජ වි පෙ විස්ස ගෙනාවෙ රනිල් වෙනුවෙන්. මෛත්‍රිපාල විස්ස ගැන මොකද කරන්නෙ. විස්සට ගෙනෙන සංශෝධන මගින් රනිල් ජයම්පති සුමන්තිරන් තම අවශ්‍යතා පරිදි නව ව්‍යවස්ථාවක් බවට එය පත් කර ගන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙනවා. මහා ඇමතිලා මහා බලසම්පන්න වෙනවා. දැනටමත් උතුරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යන්න බැහැ. විස්සෙන් පස්සෙ සිංහලයන්ට උතුරත් නැගෙනහිරත් අහිමි වේවි.



මා නැවතත් කියනවා. ඉදිරි මාස කිහිපයෙහි රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහු මැතිවරණ නොපවත්වා ම විසිහතර වන තුරුම විධායක බලතල සහිත ව අගමැති  වීමේ ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් රාජපක්‍ෂලාට දේශපාලනයෙන් සමුගන්න වේවි රනිල් සමග එකතු නූනොත්. නාමල්ට එය බැරි දෙයක් නො වෙයි.