Main Logo

Sunday 30 September 2018

දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම


දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම



කොටි පැරදවිය හැකි ය හා පැරදවිය යුතු ය යන්න මා කීවේ අවුරුදු විසිපහකටත් එහා. ඒ ගැන බොහෝ දෙනා කතා නොකිරීම වෙන ම ප්‍රශ්නයක්. අද නම් බොහෝ දෙනා කියන්නේ තමන් එදත් කොටි පැරදවිය හැකි බව කී බවයි.  මා ඒ නිගමනයට පැමිණියේ සිංහලයන්ගේ ඉතිහාසයත් කොටින්ගේ ක්‍රියාකලාපයත් පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම් ද සැලකිල්ලට ගෙන. 1987 පරිප්පු අත්දැකීම මෙන් ම ඉන්දු ලංකා ගිවිසුම හා ඊනියා සාම සාධක හමුදාවේ නොහැකියාව ද අපට හේතු වුණා. ඊනියා සාම සාධක හමුදාවට මෙරට සාමයක් ඇති කිරීමට පවත්වාගෙන යැමට හැකි කමක් තිබුණේ නැහැ. අනෙක් අතට ප්‍රේමදාස යන්න කී විට ඊනියා සාම සාධක හමුදාවට යන්න වුණා. ඊනියා සාම සාධක හමුදාව ආවේ ඉන්දු ලංකා ගිිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම වැන්නක් නැතිව ඉන්දියාවට තම හමුදා ලංකාවට එවන්න බැහැ.




ඉන්දියාව කළමනාකරණය කිරීම ගැන කතා කරන අය හිතන්නේ  ඊනියා සාම සාධක හමුදාව ඔවුන්ගේ ඕනෑකමට පමණක් ලංකාවට ආවා කියා. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම  නැතිව ඔවුන්ට ලංකාවට එන්න බැහැ. එහෙම වුණොත් එය රටක් ආක්‍රමණය කිරීමක් වෙනවා. ගාමිණී දිසානායක වැන්නන්ගේ මැදිහත් වීමෙන් නිවට ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඉන්දියාවට ගිවිසුමේ ප්‍රකාර ව මෙරට සාමයක් ඇති කරන්න බැරි වුණා. කෙටියෙන් කීවොත් ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමෙන් පොරොන්දු වූ දේ ඉටු කෙළේ නැහැ. නිශ්චිත ව ම කියනවා නම් ඉන්දියාවට තමන්ට අවශ්‍ය දේ කරන්න බැරි වුණා.  අප හිතන්න ඕන නැහැ ඉන්දියාව විශාල රටක් නිසා ඉන්දියාවට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියා.  අද වන විට ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව තම පොරොන්දු ඉටු නොකළ නිසාත් අවලංගුයි. ඒ නිසා අප බලය විමධ්‍යගත කිරීමට බැඳී නැහැ. දහතුන හා පළාත් සභා ක්‍රියාත්මක කිරීමට ලංකාව බැඳී නැහැ. ගිවිසුමක් එක් පාර්ශ්වයකට පමණක් වලංගු වන්නේ නැහැ.



අපට ඉන්දියාවෙන් අහන්නෙ නැතිව දහතුන හා පළාත් සභා අහෝසි කළ හැකියි. එය මෙරට පාර්ලිමේන්තුවේ වැඩක් මිස ඉන්දියාවේ අණසක යටතේ කෙරෙන්නක් නො වෙයි. අමතක කරන්න එපා පොලිස් බලතල  හා ඉඩම් බලතල ගැන පළාත් සභා පනතේ සඳහන් කර තිබියදීත් ජේ ආර්වත් වෙනත් කිසිම ජනාධිපතිවරයකුවත් ඒ බලතල ලබා දුන්නේ නැති බව. ඉන්දියාවට එහි දී කළ හැකි කිසිවක්  තිබුණේ නැහැ. ඉන්දියාව අපට පොලිස් බලතල හා ඉඩම් බලතල දීමට කියා බල කෙළේ නැහැ. ඔවුන්ට එසේ බල කරන්න බැහැ.



සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුව පත් කෙරුණේ මහින්ද රාජපක්‍ෂ විසින්. එහි අරමුණ වූයේ ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට කුමක් කළ යුතු දැයි යෝජනා කිරීම. මා ද එහි සාමාජිකයකු වුණා. මට වෙනත් අරමුණක් තිබුණා. මා එයට සහභාගි වූයේ හමුදා මෙහෙයුම්වලින් කොටි පැරදවීමට පාර කැපෙන තුරු කල්මැරීමක් වශයෙන් පමණයි. එහි සාමාජිකයකු ව සිටිය දී පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට දිය යුතු යැයි නිර්දේශ කිරීම වළක්වා ගැනීමට අප සමත් වුණා. සමුළුවේ අතුරු වාර්තාවක් 2008 ජනවාරියේ නිකුත් වුණා. ඉන් ගම්‍ය වුණෙත්                පොලිස් බලතල හා ඉඩම් බලතල නොදිය යුතු ය යන්නයි.



2008 ජනවාරි වන විට හමුදා මෙහෙුම් සාර්ථක ව කෙරී ගෙන ගියා. ටික කලෙකින් හමුදාව කිලිනොච්චියට ඇතුල් වුණා. මා ඉන් පසු සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුවේ කටයුතුවලට සහභාගි වුණේ නැහැ. සමුළුවෙන් අවසාන වාර්තාවක් නිකුත් වුණෙත් නැහැ. මා සමුළුවේ කටයුතුවලට කිලිනොච්චියෙන් පසුු සහභාගි නො වූයේ හමුදා මෙහයුම් සාර්ථක වන බවට මට විශ්වාසයක් තිබූ හෙයින් තවදුරටත් කල් මැරීමක් අවශ්‍ය නොවූ නිසා. විශේෂයෙන් ම ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභයට හා හමුදාපති සරත් ෆොන්සේකාට කොටි පරාජය කළ හැකි බවටත් ඔවුන් නොවැනෙන පුද්ගලයන් බවටත් ඔවුන්ට ඉන්දියාවත් සමග විශේෂ සම්බන්ධකම් නොතිබූ බවත් ඒ නිසා කාගේවත් බලපෑමකට යටත් නොවී ඔවුන් එය කරන බවටත් මට විශ්වාසයක් තිබුණා. අද සරත් ෆොන්සේකා කුමක් කළත් එදා ඔහු තම කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටු කළා. ගෝඨාභය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු කොටි පැරදවීම ගැන දැඩි විශ්වාසයක් ඇතිව කටයුතු කළා. මෙහි දී මෛත්‍රිපාල තමන් අවසාන සති දෙකේ දී වැඩ බලන ආරක්‍ෂක ඇමති ලෙස කොටි පැරදවූ බවටත් ගෝඨාභය රටෙන් පිට ව සිටි බවටත් කියන කතා ප්‍රාථමික පාසල් සිසුවකුගේ ප්‍රකාශ පමණයි.  



මේ කාලයේ තමයි ලලිත් වීරතුංග කියන විධියට මෙරට ඉන්දීය මහා කොමසාර්ස් ආලෝක් ප්‍රසාද්ට ට්‍රොයිකාව පිළිබඳ  අදහස ඇවිත් තියෙන්නෙ. එය මහා කොමසාරිස් ගෙ අදහසක් ද ඉන්දීය ආණ්ඩුවේ අදහසක් ද යන්න කියැවෙන්නේ නැහැ. එහෙත් ඉන්දීය ආණ්ඩුවේ අනුමැතියක් නොමැතිව මහා කොමසාරිස් එවැනි අදහසක් ලංකාණ්ඩුවට යෝජනා කරාවි යැයි හිතන්න බැහැ. ඉන්දියාවට ට්‍රොයිකාව පත් කිරීමට අවශ්‍ය වුණේ ඇයි?



සියලු කාරණා සැලකු විට පැහැදිලි වන කරුණ තමයි ඉන්දියාවට අප කළමනාකරණය කිරීමට අවශ්‍ය වූ බව. අප ඉන්දියාව කළමනාකරණය කළා නොව ඉන්දියාව අප කළමනාකරණය කළා. ඉන්දියාවට නොපෙනී යන්න විධියක් නැහැ අපේ හමුදා වැඩි කල් යෑමට පෙර කොටි පරාජය කරන බව. එසේ වුවහොත් ඔවුන්ට පැහැදිලි වන්න ඇති දෙමළ ජාතිවාදය ද පරාජය වන බව. එය තමයි හමුදා මෙහෙයුම්වල ස්වභාවය. හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම්. හමුදාව කටයුතු කරන්නේ දේශපාලන නායකත්වයකින්. හමුදාවෙන් කෙරෙන්නේ දේශපාලන වුවමනාවන්. හමුදාව කොටි පරාජය කිරීම දේශපාලන විසඳුමක් බව ඉන්දියාවේ කෞටිල්‍යයන් තේරුම් ගන්න ඇති. මෙරට පඬියන් පඬි පෝතකයන් පෝතිකාවන් මුහුුණු පොතේ විකාර ලිව්වාට අපේ හමුදාව කොටි පරාජය කිරීමත් සමග දෙමළ ජාතිවාදය අවසන් වන බව කෞටිල්‍යයන් දැන ගන්න ඕන. ඉන්දියාව ට්‍රොයිකාව පත් කර ගත්තේ මේ තත්වය වැළකීමටයි. ඉන්දියාවට එදත් අදත් අවශ්‍ය දෙමළ ජාතිවාදය පවත්වාගෙන යෑමයි. ඔවුන්ට අප රටට ඇඟිලි ගෑසීමට දෙමළ ජාතිවාදය අවශ්‍යයි. ට්‍රොයිකාව ඇති කෙළේ හමුදාව කොටි පරාජය කිරීම පාවා දී එය නිෂේධ කිරීමටයි. අවසානයේ 2009 මැයි 21 වැනි දා සිදු වූයේ එයයි. මැයි 19 වැනි දා දෙමළ ජාතිවාදය  පරාජය කිරීම  එක් ලියවිල්ලකින් නිෂේධ වුණා.