Main Logo

Tuesday 25 September 2018

ඉන්දීය ප්‍රශ්න


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ඉන්දීය ප්‍රශ්න



අපට එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් එකිනෙකට සම්බන්ධයි. එක එක ප්‍රශ්නෙට එක් එක්  පිළිතුරු (බොහෝ විට පරස්පර සහිත) දෙන එක ඇතැමුන්ගේ සිරිත වෙන්න පුළුවන්. ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ඒ ඒ තැන්වල ඉන්න ඕන නැහැ. බෞද්ධ ක්‍රමයට අනුව සාපේක්‍ෂ දැනුම (ඊනියා වාස්තවික නිරපේක්‍ෂ දැනුමක් නැහැ) ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන්. ඒ දැනුම නිවනට සම්බන්ධ දැනුම. එහෙත් වෙනත් දැනුම් අනුමානයෙන් ද ලබාගන්න වෙනවා. සෑම දෙයක් ම ප්‍රත්‍යක්‍ෂයෙන් පමණක් ලබාගන්න බැහැ. සිදුහත් කුමාරොත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ආදිය ද අප ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් දැනුම් නො වෙයි. මෙහි අනුමානයෙන් යන්න යෙදෙන්නේ ඉංගිරිසියෙන් inference කියන එකට. ඉංගිරිසි වචනයෙහි තේරුම නිගමනය යන්නට වඩා කිට්ටුයි.




අපට ඉන්දියාව සම්බන්ධයෙන් ඇති අදාළ ප්‍රශ්න මොනවා ද?



ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදීන්ට අසූවේ දශකයේ උපකාර කෙළේ ඇයි? උමා මහේස්වරන් ප්‍රභාකරන් ආදීන් තමිල්නාඩුවේ අවි ගෙන එකිනෙකාට විරුද්ධවත් වීදි සටන් කළා. (ඉන්දියාව මාලදිවයිනට එරෙහිව මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානය යොදා ගත් බව අමතක කරන්න එපා. නුදුරු අනාගතයේ ඉන්දියාව නැවතත් මාලදිවයිනේ මැදිහත් වීමට ඉඩ තියෙනවා).  කෙනකුට මේ ප්‍රශ්නය අසූවේ දශකයෙන් ඔබ්බටත් ගෙන යන්න පුළුවන්. ඉන්දියාව ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය ලෙස හිතනවා. පනික්කාර් ප්‍රකාශයෙන් එය පැහැදිලිව කියැවෙනවා. අද දකුණු ආසියාවේ ඉන්දියාවට අවනත කර ගැනීමට බැරිව ඇත්තේ මුස්ලිම් රටවල්. ලංකාව බොහෝ දුරට අවනත වෙලා.



අසූහතටත් පෙර කඳුකරයේ දෙමළ කතා කරන ජනයා සම්බන්ධයෙන් ඉන්දියාවේ ආකල්පය කුමක් ද? ඒ ජනතාව ඉන්දියාවේ ජනයා ලෙස ඉන්දියාව සැලකුවේ ද? ඉන්දියාව ඔවුන් උපයෝගී කරමින් එකලත් මෙරට කටයුතුවලට මැදිහත් වී ද?



අසූහතේ ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නවතාලීමට කටයුතු කෙළේ ඇයි? එහි දී ගාමිණී දිසානායක කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසක්. වඩමාරච්චි පරිප්පු හෙළීම එක දවසකින් සිදු වූවක් නො වෙයි. එය එක්තරා සැලැස්මක (ඊනියා කුමන්ත්‍රණයක නො වේ) ප්‍රතිඵලයක්.



ඉන්දියාව දෙමළ ජාතිවාදී ප්‍රශ්නයට ඊනියා දේශපාලන වසඳුමක් ඉල්ලන්නේ ඇයි? මේ දෙමළ ජාතිවදී ප්‍රශ්නය කුමක් ද? දෙමළ ජාතිවාදී ප්‍රශ්නය  ඇති වුණේ 1956න්, 1983න් පසුව ද?  මෙරට දෙමළ කතා කරන ජනතාවට දෙමළ වීම නිසා ම ඇති අසාධාරණය (ප්‍රශ්නය) කුමක් ද?



මෙරට දෙමළ කතාකරන ජනතාවගේ සම්භවය කුමක් ද? ඔවුන් අද තමිල්නාඩු නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් මෙරටට පැමිණියේ කවදා ද? ඉන්දියාව මෙරට දෙමළ කතා කරන ජනයාට සමීප වීමටත් වංගයෙන් හා කාලිංගයෙන් පැමිණ මෙරට සිංහල ජාතිය ගොඩ නැගූවනට සමීප නොවීමටත් හේතුව කුමක් ද? ඒ බුද්ධාගම ද?



ඉන්දියාව සිංහල බෞද්ධයනට නොව ඉන්දියාවේ බෞද්ධයනට හිතවත් ද? ඉන්දීය බෞද්ධයනට එරට ඇති සැලකීම කුමක් ද? ඔවුන් එරට කී වැනි පන්තියේ පුරවැසියන් ද?



ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදය නැති කිරීම පමණ ද? එසේ නම් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඉන්දියාවේ මැදිහත් වීම නතර නොවන්නේ ඇයි?



ඉන්දියාව කටයුතු කරන්නේ හුදෙක් තමිල්නාඩුව සැනසීම සඳහා පමණක් ද?



ඉන්දියාව  ලංකාවේ බලය විමධ්‍යගත කිරීම ගැන කතා කරන්නේ කවදා සිට ද? ඉන්දියාවට අවශ්‍ය දේශපාලන විසඳුම කුමක් ද? හමුදා විසඳුම් දේශපාලන විසඳුම් නො වේ ද? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දිය යුතු තවත් ඊනියා දේශපාලන විසඳුම් මොනවා ද?



ඉන්දියාව 2008-2009 දී 1987 දී මෙන් පරිප්පු දේශපාලනයකට නොගොස් පැත්තකට වී සිටියේ ඇයි? 1987 හා 2008-2009 අතර ඇති වෙනස කුමක් ද?



එහි දී 2008-2009 ට්‍රොයිකාවේ කාර්යභාරය කුමක් ද? ට්‍රොයිකාවේ දී දහතුන ගැන සාකච්ඡා කෙළේ ද? ට්‍රොයිකා සාකච්ඡා පැවැත්වුණේ මහින්දගේ අනුදැනුමෙන් පිටස්තරව ද? එහි දී බැසිල්ගේ කාර්යභාරය කුමක් වී ද?   



2009 මැයි දහනවයෙන් පසු ඉන්දීය ට්‍රොයිකාවේ දෙදෙනකු මැයි විසිවැනි දින ම ලංකාවට පැමිණියේ ද? ඔවුන් ලංකාණ්ඩුව සමග එක්ව කළ නිවේදනයෙහි අඩංගු වූයේ කුමක් ද? (එය පහත පළවෙයි)



බටහිරයන් දහතුනට එහා යන විසඳුමක් කලින් ම ඉල්ලා සිටියේ ද? ඉන්දියාව එහි දී ගත් ස්ථාවරය කුමක් ද? මහින්ද 13+ දීම ගැන ඉන්දියාව බටහිරට කිව්වේ කුමක් ද?



2009 සිට 2011 දක්වා ඉන්දියාව ජෙනීවාහි අපට විරුද්ධ නොවූයේ ඇයි? ඒ බටහිර රටවල් විරුද්ධ වෙද්දී. එහෙත් 2012 සිට විරුද්ධ වූයේ හෝ ඡන්දය දීමෙන් වැළකුණේ හෝ ඇයි? ඒ ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ ආණ්ඩු වෙනසකින් ද?



2015 දී මහින්ද පරාජය කිරීමට ඉන්දියාව මැදිහත් වූයේ ඇයි? යුග පෙරළිකාරයන් ඒ ගැන කිව්වේ කුමක් ද? මහින්ද පැරදෙන බව ඊනියා සංඛ්‍යාලේඛන සහිත ව ඇතැමුන් පෙන්වා දුන්නේ කෙසේ ද? 2014 අග මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය හැරදා ගියේ ඇතැම් රාජපක්‍ෂලා නිසා බව ඇත්ත වුවත් එහි දී ඉන්දියාවේ බලපෑමක් තිබුණි ද?



2015 ආණ්ඩු පෙරළියෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? මෛත්‍රිපාල නිතර කියන ජාත්‍යන්තරය ජයගැනීමේ තේරුම කුමක් ද? ඔහු වැන්නකුට ඊනියා ජාත්‍යන්තරය ජයගැනීමට ශක්තියක් තිබුණි ද?



අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අවශ්‍ය කාට ද? මෙහි දී හකීම් කරන ප්‍රකාශයෙහි වැදගත් කම කුමක් ද? ඔහු කියන්නේ නව ව්‍යස්ථාවක් සම්පාදනය කිරීම පළමු අවුරුද්දේ ම කළ යුතුව තිබුණා කියා.



ඉන්දියාව මහින්දට දැන් නැවතත් සලකන්නේ ඇයි? ඔහු ඉන්දියාවේ දී කිව්වේ කුමක් ද? ස්වාමිගේ කාර්යභාරය කුමක් ද?



ඉන්දියාව දැන් දහතුන හරි බලය විමධ්‍යගත කිරීම හරි අත්හැර තිබේ ද? මහින්ද මත්තල ගැන ඉන්දියාවේ දී කිව්වේ කුමක් ද? 



මේ ප්‍රශ්නවලට එකක් අනෙකට සම්බන්ධ පිළිතුරු තිබෙනවා. ඒ පිළිතුරු සඳහා මුල් ලිපිය ලෙස මා ලලිත් වීරතුංගගේ ලිපියක් උපුටා දැක්වූවා. දයාන්ගේ ලිපියේ කොටස් මට උපුටා දැක්වීමට සිදුවූයේ එය එක්තරා අතකින් ලලිත්ගේ ලිපියට දැක් වූ ප්‍රතිචාරයක්, ඔහු කියන විධියට නිර්මාණ්ත්මක  විචාරයක්, නිසා. ඔහු එහි පැහැදිලිව කියනවා ට්‍රොයිකාව ගැන ලලිත්ට අමතක වූ කරුණු දෙකක්. ඉන්පසු ඔහගේ අර්ථකථනත් තියෙනවා. මා ඔහුගේ අර්ථකථන පිළිගන්නේ නැහැ. එහෙත් ඔහු කියා ඇති කරුණු දෙක වැරදිය කියා ලිපිය ලිවීමෙන් මාස තුනකට පමණ පසුව අද වුවත් ලලිත්වත්, බැසිල්වත් ගෝඨභයවත් කියා නැහැ. මේසා වැදගත් කරුණු දෙකක් බොරු නම් ඔවුන් ඒ බව ප්‍රකාශ කරන්න තිබුණා. මා කෙළේ ඒ වැරදි යැයි නොකී කරුණු ඉදිරිපත් කිරීම පමණයි. දයාන් කියන කරුණු දෙක වැරදි නම් ඒ කරුණු පිළිගැනීමෙන් බැසිල් හා පිරිස ද වරදක් කර තිබෙනවා.



මේ ලිපි පෙළ මා සිතුවාට වඩා දිග්ගැස්සෙනවා. මට ලංකා සභාවෙන් (ඇංග්ලිකන් ක්‍රිස්තියානි) පාලනය වන  ත්‍රිත්ව විදුහලේ වැඩ කිඩ ගැන ලිවීමට අවශ්‍ය වුවත් ඒ කර ගැනීමට තවම අවස්ථාවක් ලැබුණේ නැහැ. අර රහතන් වහන්සේ වැඩ සිටි පිදුරංගල ගොස් පස්ස පැත්ත ප්‍රදර්ශනය කළ තරුණ තරුණියන් කතෝලික/ක්‍රිස්තියානි/ හින්දු/ මුස්ලිම් ආගමික වැදගත් කමක් ඇති නූතන තැනකට (පැරණි තැන් නැති නිසා) ගොස් තම පස්ස පැත්ත ප්‍රදර්ශනය කරනවා ද? සිංහල බෞද්ධයනට නායකයන් නැති වීමේ ප්‍රතිඵලය මෑතක සිට ඇස් පනාපිට ප්‍රදර්ශනය වෙනවා. රනිල්වත්, මෛත්‍රිපාලවත් මහින්දවත් සිංහල බෞද්ධයන්ගේ නායකයන් නො වෙයි. සිංහල බෞද්ධයනට පස්ස පැත්ත තමයි.



ඉන්දීය ප්‍රශ්නවලට එකට එකක් සම්බන්ධ පිළිතුරු ඉදිරිපත් කිරීමට පෙර හුදීජන  පහන් සංවේගය සඳහා 2009 මැයි 21 ඉන්දිය ට්‍රොයිකාවේ නාරායනන්, මෙනන් හා ලංකාණ්ඩුව නිකුත් කළ නිවේදනයක් මෙහි උපුටා දක්වනවා. එහි දළ සිංහල අදහස ඉදිරිපත් කිරීම හෙටට කල්දාමු. ලිපිය දැනටමත් දිගයි.



"Mr. M.K. Narayanan, National Security Advisor and Mr. S. Menon, Foreign Secretary of India visited Sri Lanka on May 20 and 21. They called on His Excellency Mahinda Rajapaksa, President of Sri Lanka and met with senior officials, including Hon. Basil Rajapaksa, MP, Mr. Lalith Weeratunga, Secretary to the President and Defence Secretary, Mr. Gotabhaya Rajapaksa.




They also interacted with a number of political parties in Sri Lanka...Both sides also emphasized the urgent necessity of arriving at a lasting political settlement in Sri Lanka. To this, the Government of Sri Lanka indicated that it will proceed with implementation of the 13th Amendment. Further, the Government of Sri Lanka also intends to begin a broader dialogue with all parties, including the Tamil parties, in the new circumstances, for further enhancement of political arrangements to bring about lasting peace and reconciliation in Sri Lanka." (May 21, 2009) (av{`rNy m@g~)