Main Logo

Thursday 20 September 2018

කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති






කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති

               

මෙරට ආණ්ඩු කරන්නේ කවුද? ඒකාධිපති රටක වුවත් ඒකාධිපතියා වටා ඔහුට සමීප යම් පිරිසක් ඉන්නවා. එය පාලක කල්ලියක් වනවා. සමහර රටවල ඔත්තු සේවා බලවත්. ඒ සේවාවල ප්‍රධානීන් රටේ බලය හසුරවනවා එකල සෝවියට් දේශයේ බෙරියා  හොඳ උදාහරණයක්.  පුටින් කලකට පෙර රුසියාවෙ ඔත්තු සේවා ප්‍රධානියෙක්. ට්‍රම්ප් හා ඔත්තු සේවය අතර අද ප්‍රශ්න තිබෙන්නේත් මේ බල ගැටුම් නිසා.




ලංකාවේ ආණ්ඩු කරන්නේ අමාත්‍යවරු කිහිප දෙනෙකු හා ඔවුන්ගේ සම්පතමයන්, පොලීසියේ ප්‍රධානීන්, නීතිපති දෙපාර්තමේන්තුව, පාතාලය, ව්‍යාපාරිකයන් කිහිප දෙනකු, මේ සියල්ලන්ගේ බිරියන්, බෞද්ධ නොවන ඇතැම් ආගමික සංවිධාන, පාර්ලිමේන්තු බලය හැසිරවිය හැකි දෙමළ මුස්ලිම් පක්‍ෂ. මේ සියල්ලන් එක ම අවස්ථාවක එකට සිටින බවක් කියැවෙන්නේ නැහැ. අනෙක් අතට ඔවුන් කාලයෙන් කාලයට ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇතැම් විට එක ම ආණ්ඩුවක කාලයේ වෙනස් වෙනවා. අප කරන්නේ ඔවුන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයකුට අවුරුදු කිහිපයකට වරක් ඡන්දය දෙන එක පමණයි.



අද කුමන්ත්‍රණයක් ගැන කතා පැතිර යනවා. එක් පොලිස් ඔත්තු කාරයකු යැයි කියන අයකු මෙයට මුල් වී සිටිනවා. ජනාධිපති හා ගෝඨාභය ඝාතනය කිරීමක් ගැන කියැවෙනවා. එහෙත් ජනාධිපති ඒ ගැන නිහඬයි. තමා ඝාතනය කිරීමට පැමිණි ත්‍රස්තවාදියකු නිදහස් කළ මෛත්‍රිපාලට බෝසත් ගුණ ඇති! එහෙත් ඔහු තම සිරස දන් දෙන පුද්ගලයකු නොවන බව නම් පැහැදිලියි. සමහරුන්ට හිතෙයි මේ මෛත්‍රිපාල ගැන කරන වර්ණනාවක් කියා! ඒ කුමක් වුවත් අද මෛත්‍රිපාල නම් ආණ්ඩු කරන්නේ නැහැ.



මුහුණු පොතේ කවුද පඬි පෝතකයකු උපහාසාත්මක ව කියා තිබුණා දැන් පවතින ආණ්ඩුව ගැන දන්නේ මා විතරයි කියා. ඒ මා රනිල්ගෙ ආණ්ඩුව තමයි දැන් ආණ්ඩු කරන්නෙ කියන නිසා. මේ ඊනියා ජාතික ආණ්ඩුව ආණ්ඩු දෙකකට කැඩිලා හුඟක් කල්. දැන් මෛත්‍රිපාලගෙ ආණ්ඩුවට කිසිම බලයක් නැහැ. මෛත්‍රිපාල ප්‍රේක්‍ෂකයකු පුවත්පත කියවන්නකු වෙලා. අමරවීර දුමින්ද දිසානායක වොයිස් කට් දෙනවා. ඔවුන් කටයුතු කරන්නේ විපක්‍ෂයේ අය මෙන්.



කුමන්ත්‍රණ කතාව මතුවෙලා තියෙන්නෙ පොලිස් ඔත්තුකරුවකු යැයි කියන අයට නිසි පරිදි ගෙවීම් කර නැති නිසා කියන මතයක් ඇති කෙරෙමින් තියෙනවා. එය ඇත්තක් ද කියා කියන්න බැහැ. මා මේ සියල්ල රඟ පෑමක් කියන්නේ නැහැ. එහෙත් ඉන්දීය ඔත්තු සේවය නම් මෙරට පොලිස් ඔතතු සේවයට වඩා බලවත්. කාර්ය ශූරයි ඉන්දීය ඔත්තු සේවය මේ සියල්ල ගැන විමසිල්ලෙන් ඇති.



සිද්ධියට අදාළ කියන නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම් කර ඇත් ද කියා නිශ්චිත ව දන්නේ නැහැ. මෙය තමයි අද රට පත් වී ඇති තත්වය. කිසිවකු කිසිම දෙයක් ගැන නිශ්චිත ව දන්නේ නැහැ. අපට ඕන එකක් හිතා ගන්න ඉඩ දීල තියෙනවා. එය ආණ්ඩු කිරීමට හොඳ උපක්‍රමයක්. අප නිශ්චිත ව දන්නේ රුපියල හා ක්‍රිකට් කණ්ඩායම පහත වැටෙන බව පමණයි. එහෙත් එයට හේතු නිශ්චිත ව දන්නේ නැහැ. මෙතරම් බරපතළ චෝදනා නොවුණත් 1992 දී ජී එල් පීරිස් ප්‍රමුඛ කොළඹ විශ්වවිද්‍යාලයීය පාලක සභාව අඩු ගණනේ මගෙන් නිදහසට කරුණු නොඅසා මූලික ගෘහස්ථ පරික්‍ෂණයකටත් පෙර මගේ වැඩ තහනම් කළා පමණක් නොව මට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් ප්‍රදේශයක් කළා. ඔවුන් ගෘහස්ථ පරික්‍ෂණය පැවැත්වූයේත් බණ්ඩාරනායක සම්මනත්‍රණ ශාලාවේ කුලියට ගත් කාමරවල! 



මේ කුමන්ත්‍රණ කතා අස්සේ ගෝඨාභයට ආරක්‍ෂාවක් ලැබෙන්නෙත් නැහැ. කවුද පාර්ලිමේන්තුවේ කියා තිබුණා ගෝඨාභය ලංකාවේ රටවැසියකු නොවුණත් ඔහුටත් ආරක්‍ෂාව දෙනවා කියා. එසේ කී තැනැත්තා දන්නේ නැහැ ගෝඨභයට ද්විත්ව රටවැසිකම ඇති බව. ඒ නිසා ඔහු දන්නේ නැතිව ඇති ගෝඨාභය ලංකාවේ ද රටවැසියකු බව. කුමන්ත්‍රණ කතාව අවසානයේ අදාළ යැයි කියන නියෝජ්‍ය පොලිස්පති හරි පොලිස් ඔත්තු කාරයකු යැයි කියන අය හරි වැරදිකරු විය යුතුයි. එහෙත් එහෙම නො වෙන්නත් පුළුවන්.



පොලිස් ඔත්තු කාරයකු යැයි කියන අය දිගන සිද්ධි ගැන කියන කතා වැදගත්. ඔහු රොහින්ග්‍යා කතාවටත් සම්බන්ධ බවක් පේන්න තියෙනවා. සිද්ධි ඇති වෙනවා ද? ඇති කෙරෙනවා ද? ඇති කෙරෙනවා නම් ඒ කාගේ පැවැත්ම සඳහා ද? මේ රනිල්ගේ ආණ්ඩුව අද පවතින්නේ මෛත්‍රිපාලගේ හා මහින්දගේ වරදින්. පැවැත්ම සඳහා සිද්ධි  අවශ්‍යයි.  පොලිසිය සිද්ධි ඇති කර ඉන් පසු සිද්ධි ගැන පරීක්‍ෂණ පවත්වනවා නම් අපට මතක් වන්නේ අර වැටත් නියරත් ගොයම් කෑ කතාව ම නො වෙයි. වැටත් නියරත් ගොයම් කා ගොයම වරද කරුවා කිරීමක්. එහෙම කරන්නෙ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නෙ අහවල් දේකට ද? නීතිපති පොලිස්පතිට නීතිය කියා දෙනවා ද? පොලිස්පති නීතිපතිට නීතිය කියා දෙනවා ද? දෙන්නට ම නීතිය කියා දෙන්නෙ කවුද? මෙරට රජයේ සේවකයන් නොදන්න කරුණක් තමයි ඔවුන් රජයේ සේවකයන් මිස ආණ්ඩුවේ සේවකයන් නොවන බව. එහෙත් අප බොහෝ දෙනකුට ආණ්ඩුව හා රජය අතර වෙනසක් නැහැ.



මේ අතර ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු කොටි හිතවතකු බවට කතාවක් තියෙනවා. මේ විදුහල්පතිගේ නම මොකක් ද? ඒ නම නොකියන්නේ ඊනියා සදාචාරයකට එකඟව ද? විදුහල්පති ඔය කියන චෙක්පත ලිව්වේ කිසිම මණ්ඩලයක අනුමැතිය  නොමැතිව ද? එය විශ්වාස කිරීමට අමාරුයි. ත්‍රිත්ව විදුහල ලංකා සභාව (ඇංග්ලිකන්) යටතේ පාලනය වන පාසලක්. මේ සභාවේ හිටපු කොළඹ බිෂොප් කෙනත් ප්‍රනාන්දු තමයි ප්‍රභාකරන් මානවීය පුද්ගලයකු කියා කිව්වේ. ත්‍රිත්ව විදුහලට මුදල් ලැබෙන්නේ දෙමව්පියන්ගෙන් හා ආදි ශිෂ්‍යයන්ගෙන් පමණක් ද? ආදි ශිෂ්‍යයන් අතර කොටි සම්බන්ධකම් තිබූ අය හිටියා ද? මේ ප්‍රශ්න ඇසීමෙන් වැඩක් නැහැ.  පොලීසියට ඒ වැදගත් නැහැ. වරක් මැදියම් රැයේ (පහන් වීමට බොහෝ වෙලාවකට පෙර) පොලිස් රහස් තොරතුරු විමර්ශන ආයතනයක දී විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට මුදල් ලැබෙන ආකාරය නම් මගෙන් ප්‍රශ්න කර සිටියා!



අප රට පාලනය කරන්නන් තමන් ඇති කරන සිද්ධි ගැන  තමන් ම ප්‍රශ්න කරන්නේ නම් අප කරන්නේ කුමක් ද? මෝදි සරණං ගච්ඡාමි යැයි කීම ද?