Main Logo

Thursday 13 September 2018

මහින්ද හින්දු පත්තරේට කී දේ


මහින්ද හින්දු පත්තරේට කී දේ



සිංහලයන්ට, සිංහලත්වයට විරුද්ධ සිංහලයන්ට ද, වෙන් කිරීම, විශ්ලේෂණය, තර්කනය, න්‍යායාත්මක ව සිතීම ආදිය තරමක් අපහසුයි. සමහරවිට එයට හේතුවක් වන්නේ කාලාම සූත්‍රය අනුව තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් නොපිළිගැනීමට කියා දෙන නිසා වෙන්න පුළුවන්. අප විභජ්ජවාදයක් ගැන කතා කළ ද ථෙරවාදය යනු විභජ්ජවාදය නොවෙයි. තර්කය පමණක් පිළිගැනීම අපේ සංස්කෘතියේ නැහැ. තර්කයක් පටන් ගන්නේ යම් ප්‍රස්තුතයකිනි ඒ ප්‍රස්තුතය තර්කානුකූල ව පෙන්වන්නේ කෙසේ ද? රේඛීය චින්තනයක් යම් තැනකින් පටන් ගත යුතුයි. එය අනන්තය දක්වා දික් කරන්න බැහැ. අනන්තයේ ඇති ප්‍රස්තුතය කුමක් ද? අනෙක් අතට තර්කයට මූලික වන ස්වසිද්ධි මිනිසුන්ගේ නිර්මාණ වන අතර අනුමාන නීති උද්ගමනයෙන් ලබා ගන්නා දේ වෙනවා. ඒ කිසිවක් දේව භාෂිතයක්වත් ඊනියා වාස්තවික වූ දේවත් නොවෙයි. තුනෙන් ඉහළට සංඛ්‍යා නිර්මාණය කර නොගත් සංස්කෘතීන් ද තියෙනවා. ඒ අතර අප සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණන් ගැන කියනවා. තර්කයෙන් පමණක් න්‍යායෙන් පමණක් යමක් ඒත්තු ගැන්වීම අපේ සංස්කෘතියේ නැහැ. එහෙත් තර්කය, හේතුව, බුද්ධිය මත රැඳීම ආදිය පමණක් පිළිගන්නා අය සමග අප විවිධ අවස්ථාවල සඳහන් කරන කාරණාවල දී පමණක් අලුත් අදහසක් ඉදිරිපත් වුවොත් කටඋත්තර නැති වන තුරු තර්ක කිරීමට ද අපට පුළුවන්. එවැනි කරුණු දෙකක් ගැන පසුගිය තුන්වැනි දා පැවැත් වූ දේශනයේ කියා ඇති. අප සඳහන් කර ඇති කරුණුවල දී අලුත් අදහසක් ඉදිරිපත් වුවහොත් තර්ක කිරීම හා අලුත් අදහසක් ඉදිරිපත් නොවන්නන් සමග වුව ද අපට අවශ්‍ය තැන්වල එකට කටයුතු කිරීම යනූ එකක් නොව දෙකක් බව දැන ගැනීමට ඇතැම් පඬියන්ට නොහැකි වන්නේ ද ඔවුන් කෙතරම් සිංහල සංස්කෘතියට විරුද්ධ වුව ද ඔවුනුත් සිංහල සංස්කෘතියට අයත්වීම නිසයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී අනාගන්නවා කියන්නේ මෙවැනි පටලැවීම්වලට.




ඊයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රවෘත්තියකට අනුව මහින්ද ඉන්දියාවේ දී හින්දු පත්‍රයට ගෝඨාභය මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා යැයි කියා තියෙනවා. එහෙත් මහින්ද එසේ කියා නැහැ. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය වූයේ කොහොම ද? දැනුම යනු නිර්මාණයක් මායාවක් පමණක් බව අප කියා බොහෝ කල් ය. මෙහි දී ද සිදුවන්නේ එයයි. මා ද කරන්නේ නිර්මාණයක්. මට සාපේක්‍ෂ වූ නිර්මාණයක. ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම විචාරයකින් තොරව බලාපොරොත්තුවන්නන් මහින්ද හින්දු පත්‍රයට දුන් සාකච්ඡාවෙන් දුටුවේ ඔවුන්ගේ හිතේ තිබූ කරුණක්. ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති බාධක රාශියක් මට පේනවා. මා ඒ සාකච්ඡාව දුටුවේ වෙනින් ආකාරයකටයි.



මහින්දගේ සාකච්ඡාවේ අදාල කොටස් මෙසේ ඉංගිරිසියෙන් ම දැක්වීම හොඳය කියා හිතනවා.



"Who will lead the SLPP into elections in 2019, given that you have completed two terms and according to the 19th Amendment that is the limit?



I will lead the SLPP. There is a view that despite the Amendment I can fight elections and then fight it out in court.



But I still have to decide whether to take that risk. Another option is to announce a candidate acceptable to all.



Will it be a member of your family, or would you consider someone outside it?



My son [Namal Rajapaksa] can’t be a presidential candidate since they have now raised the minimum age to 35 years, instead of 30, so he can’t be considered in 2019. My brother is certainly a contender, but the party and the coalition will have to decide who the people want."



මහින්ද කියා ඇත්තේ තමන් 2019 දී පොදුජන පෙරමුණට නායකත්වය දෙන බවයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තිබිය දී ද තමන්ට තරග කළ හැකි ය යනුවෙන් මතයක් ඇති බව කියන මහින්ද එය උසාවියේ උරගා බැලිය යුතු බවත් ඒ අවදානම ගැනීමට තවමත් තීරණය කර නැති බවත් ප්‍රකාශ කරනවා. විකල්පයක් වනුයේ සියල්ලන්ට ම පිළිගත හැකි අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම යැයි මහින්ද කී විට ඒ පවුලේ සාමාජිකයකු ද පිට අයකු ද කියා අසනවා. මහින්ද එයට පිළිතුරු වශයෙන් කියන්නෙ වයස තිස්පහේ බාධකය නිසා නාමල්ට බැරි බවත් තම සොහොයුරා (අපේක්‍ෂකත්වය සඳහා) නිශ්චිත ව තරගකරුවකු නමුත් ජනතාවට අවශ්‍ය කවුදැයි පක්‍ෂයට හා සභාගයට  තීරණය කිරීමට සිදුවන බවත් ය.



මෙහි ගෝඨාභය තෝරාගත් බවක් කියැවෙන්නේ නැහැ. එමෙන් ම සහෝදරයා කවුද කියා කියැවෙන්නේත් නැහැ. ඒ ගෝඨාභය යැයි උපකල්පනය කළත් ඔහු අපේක්‍ෂකයා ද නැද්ද යන්න තීරණය කරන්නේ පක්‍ෂය හා සභාගය බවත් කියනවා. මහින්ද කියා ඇත්තේ සහෝදරයා අපේක්‍ෂකත්වයට නිශ්චිත ව තරගකරුවකු බව පමණයි. සහෝදරයා නිශ්චිත ව තරග කරන බවක් මෙහි කියැවෙන්නේ නැහැ. පඬියන් හා ජනමාධ්‍යවේදීන් පටලවා ගන්නා විට ජනතාව ගැන කියන්න දෙයක් නැහැ. ග්‍රීක යුදෙව් චින්තනයේ නම් පටලවා ගැනීම අවම බුද්ධිමතුන් ඉන්නවා. මෙරට බුද්ධිමතුන් යැයි කියා ගන්නා අය ද පටලවා ගන්නවා.