Main Logo

Saturday 8 September 2018

වටරවුමේ පහන් කණු

මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න. 



වටරවුමේ පහන් කණු



අනූවේ දශකයේ මුල මට කැමති මගේ අදහස් අනුමත කළ එක් අයකුට මට අකමැති මගේ අදහස්වලට විරුද්ධ අය දහස් ගණනක් හිටියා. අද එය දසදහසට වැඩි වෙලා. මා ඊයේ දෙරණේ අර ජාත්‍යන්තර ප්‍රමිතියේ 6.55 ප්‍රවෘත්ති නැරඹුවා එහි ඇති දෙබස් සංවාදයත් එක්ක.  මට නම් ජාත්‍යන්තර ප්‍රමිති නැහැ. ඒ මොනවා වුණත් ඔය කියන ජාත්‍යන්තර ප්‍රමිති අද හැම තැන ම. මට ඔය ජාත්‍යන්තර ප්‍රමිතිවලට කිට්ටු කරන්නවත් බැරි බව මා තේරුම් ගත්තේ අවුරුදු පනහකට පමණ පෙර. ඒ මට විද්‍යාඥයකු වීමට බැරි බව තේරුම් ගත් දින.




කොහොම හරි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඊයේ කියා සිටියේ ජනබලය කොළඹට වැඩ සටහන අකුරට ම සැලසුම් කර තිබූ බව. මැදියම් රැයේ එය අවසන් කිරීමට තීරණය කර තිබුණලු. වටරවුමට එන එකේ සිට සියල්ල තිතට සංවිධානය කර තිබූ බවයි වැටහුණේ. එහෙත් වැඩ සටහනේ ප්‍රධානියකු මට කියා තිබුණේ මාකෝස් පන්නයේ වැඩක් සිදුවන බවයි. බොහෝ දෙනා දැන සිටියේ පසුදා පහන් වන තුරුත් ජනතාව කොළඹ රැඳී ඉන්න බවයි. එහෙත් කවුරුන්වත් නොදැන ඉන්න ඇති ලේකවුස් අසල මැදියම පහු වී විනාඩියට පහන් වන බව. මා ඩලස් හඳුනන්නේ ඔහු ලක්මිණ පුවත්පතට ලියූ කාලයේ සිට. එකලත් ඔහු ඊනියා යුද්ධයට විරුද්ධයි. එහෙත් බොරලැස්ගමුවට නම් මැදියම් රැ පහන් වුණේ නැහැ. මෙය අමරසේකරගෙ ගණදුරු  මැදියම දකිනෙමි අරුණළු වගේ වැඩක් ද දන්නෙ නැහැ. අමරසේකර පස්සෙ කිව්ව අරුණළු දැක්කෙ නැහැ කියලා.



මේ කතා අහපු මගේ මිත්‍රයෙක් ඇහුවෙ ඒ මිනිසුන්  කෑමක් බීමක් නැතිව වැසිකිළි කැසිකිළි පහසුකම් නැතිව මැදියම් රැය වන තුරු තියා ගත්තෙ අහවල් දේකට ද කියලා. දැන් ඒකටත් බොරුවක් හදල කියයි. ජනතාව උද්‍යොගයෙන් කොළඹ ආ බව සැබැයි. එහෙත් මේ ජනබලය දැන් මහනුවරට අරන් යෑම හැරෙන්න වෙන දෙයක් ඉතිරි වෙලා නැහැ. දැන් පුතාගෙ කාලෙ ඇවිල්ල. තාත්තලා බාප්පලා ටිකෙන් ටික අයින් වෙන්න ඕන. එහෙත් මේ පුතා නිසා තාත්තත් අමාරුවෙ වැටෙන බව නම් පැහැදිලියි. දැන් මට විරුද්ධ අය තවත් වැඩි වේවි.



අනූවෙ දශකයෙ මුල එංගලන්තෙ හිටපු දුවෙක් ලංකාවට ආවා. ඒ අම්මගෙ පහනෙන් එළිය බලන්න. ඒ දුවගෙයි එළිය සංවිධානයෙ ඇතැමුන් අතරයි සමාන කමක් තියෙනවා. ඔවුන් හිතන්නෙ දෙමළ ප්‍රශ්නෙ ඇති වුණෙ සිංහල රාජ්‍ය භාෂාව කීිරීමත් සමග කියා. ඒ ගැන ගෝඨාභයත් දිලිත් ජයවීරත් මොනව කියනව ද කියල දන්නෙ නැහැ. මොනව කිව්වත් දැන් පුතාගෙ කාලෙ මිස බාප්පලාගෙ කාලෙ නො වෙයි.



චන්ද්‍රිකා අනූව දශකයෙ ලංකාවට ගෙන ඒමට වික්ටර් අයිවන් රාජිත සේනාරත්න රෙජිනෝල්ඩ් කුරේ ආදීන් කටයුතු කළා. ඇය ගෙන්වා ගත්තෙ ම පැකේජය දීම සඳහා. අප ඒ බව කල්තියා ම දැන ගත්තා. අප චන්ද්‍රිකාට විරුද්ධ වුණා.  ඒත් ජනතාව අද මෙන් ම අපට විරුද්ධ ව සිටියා. මවගේ පිහිටෙන් තමයි දුව ආවෙත්. 1994 අගෝස්තු ඡන්දෙදි ම එ පෙ චන්ද්‍රිකාට විරුද්ධව තනියම තරග කළා. මාත් ම එ පෙරමුණේ සාමාජිකයකු නොවූවත් ඒ පක්‍ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළා. අප පැරදුණා. දිනේෂ් ගුණවර්ධනත් පැරදුණා. චන්ද්‍රිකා අගමැති වුණා. එදා චම්පක මංගල වෙනුවෙන් පැල් බැඳගෙන මාතර වැඩ කළා. රතන හිමියන් ෆෙඩරල් දෙන්න කතා කළ රටවැසි පෙරමුණෙත් හිටියා මංගලත් එක්ක.  ඉන්පසු 1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා ජනාධිපති වුණා. ඒ ජනාධිපතිවරණයෙදි තමයි අපේක්‍ෂකයකු වූ ගාමිණී දිසානායක ඝාතනය කෙරුණෙ. ඒ වන වට ඇතුලත්මුදලි මරා දමලා. ශ්‍රීමා දිසානායක ජනාධිපති අපේක්‍ෂක වුණා. චන්ද්‍රිකාට 62%ක ඡන්දයක් ලැබුණා. එය මහින්ද  නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු 2010 ලබූ ඡන්ද ප්‍රතිශතයට වැඩියි.  



චන්ද්‍රිකා පැකේජය ගෙනාවා. ජී එල් ලා සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා. මහින්දත් පැකේජයට විරුද්ධව යමක් කෙළේ නැහැ. අද නම් බොහෝ දෙනකු කියාවි තමන් පැකේජයට විරුද්ධ වුණු බව. එහෙත් ඒ අය කුමක් කෙළේ ද කියා නිශ්චිත ව සංයුක්ත ව කියන්නේ නැහැ. කොහොම නමුත් අපට ඒ කාලෙ අද මෙන් ම විශාල පිරිසක් විරුද්ධ වුණා. චන්ද්‍රිකා ක්‍රමයෙන් බලවත් වුණා. 2000 වන විට බණ්ඩාරනායක මහත්මිය මිය ගියා. මා මේ දේ කියන්නේ මා විශාල වැඩ කොටසක් කළා කියන්න නො වෙයි. මා කිසිවක් නොකළ බවට විමල් සාක්‍ෂි දරාවි.



අද රටට එදාටත් වඩා භයානක කාලයක් උදා වෙලා. කණගාටුවෙන් නමුත් කියන්න වෙන්නෙ මහින්දගෙත් කාලය අවසන් වෙන්න පුළුවන් කියන එකයි. ඔහු ඉදිරි මාස කිහිපයෙහි අගමැති නොවුණොත් ඔහුගේ දේශපාලන ජීවිතයට ආයුබොවන් කියන්න සිදුවේවි. අද පක්‍ෂයේ (පොහොට්ටුවේ හරි මොකක හරි) නායකයන් වේගන යන්නෙ නාමල් හා ඔහුගේ මිතුරන්. මහින්දට නායකත්වය අහිමි වේගන යන බවක් දැනෙනවා. මහින්ද අගමැති වෙනවාට විරුද්ධ කවුද කියා කිවුවෙ නැති වුණත් පේන්න තියෙනවා. මහින්දට අද අගමැති වෙන්න පුළුවන් මෛත්‍රිපාල සමග එකතු වුණොත් පමණයි. අද දෙපැත්තෙන් ම එයට බාධා තියෙනවා. එස් බීට වඩාත් විරුද්ධ වන සිරිසේන විරෝධීන් කවු ද? මෙහි දී එස් බී හොඳ ද නැද්ද කියන එක වැඩක් නැහැ.



සියල්ලහි ම අවසන් ප්‍රතිඵලය වන්නෙ රනිල් අඩුම තරමෙන් 2024 දක්වා ඉන්න එක. විස්ස සම්මත කරගෙන මැතිවරණ කල්දාන්නත් පුළුවන්. ජ වි පෙ අද ඉටු කරන්නෙ රනිල් 2024 දක්වා තබා ගැනීමේ කාර්යය. ජ වි පෙ එදා තරුණ තරුණියන් මරා දැම්මා. අද ජාතිය මරා දානවා. 



එදා අපට ජාතිය අනතුරට පත් වන විට හාමුදුරුවරුන් හිටියා. ඒ අඩු තරමෙන් වලගම්බා කාලයේ සිට. මෑත ඉතිහාසයේ වාරියපොළ සුමංගල දෙවනගල ආදී හාමුුදුරුවරුන් හිටියා. ඉතාමත් මෑත බණ්ඩාරනායක මහත්මියට දේශපාලනයට එන ලෙස අණ දුන් හේන්පිටගෙදර හාමුදුරුවන් යක්කඩුවේ හාමුදුරුවන් බද්දේගම විමලවංශ හාමුදූරුවන් වැනි හාමුදුරුවරු හිටියා. එහෙත් මේ සියල්ල දැන් වෙනස් වෙලා. අද පිරිවෙන් නැහැ. ඇත්තේ කබල් විශ්වවිද්‍යාල. හාමුදුරුවරුන් ද ජනප්‍රිය සංස්කෘතියට ගොදුරු වෙලා. මහින්ද මෛත්‍රිපාල සමගි කරන්න එස් බීට පුළුවන් වේවි ද? දෙපැතෙන් ම එන විරෝධය මැඩ පවත්වන්න හාමුදුරුනමකට හෝ කිහිප නමකට  පුළුවන්. ඉන්දිය විරෝධවලට එරෙහිව හාමුදුරුවරුන්ට නැගී ඉන්න පුළුවන්.



එදා චන්ද්‍රිකා සම්බන්ධයෙන් අප කළ කී දේට විරුද්ධ වූ අයටත් වඩා වැඩි ප්‍රමාණයක් (ප්‍රතිශතයක්) අද මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් අප කියන  කරන දේට විරුද්ධයි. චන්ද්‍රිකා ජනාධිපතිනිය වුවත් පැකේජය සම්මත කර ගන්න බැරි වුණා. අද රනිල් තවදුරටත් අගමැති ලෙස තියා ගත්තොත් රට ම නැති කරනවා. රනිල් චන්ද්‍රිකාට වඩා දක්‍ෂයි. අපට කෝටි දෙක ම විරුද්ධ වුවත් කරන්න දෙයක් නැහැ. රට ආධ්‍යාත්මික පැත්තට යොමු කරන්න කාලයක් ගත වෙනවා. රනිල් අගමැති කමෙන් ඉවත් නොකළහොත් කලකට මැතිවරණත් නැති වෙයි. ආධ්‍යාත්මික පැත්තට රට යොමු කිරීමත් කල් යයි.