Main Logo

Saturday 22 September 2018

එස් බී හා ඉන්දියාව


මේ ලිපි මුහුණු පොතේ පළ කිරීමට කිසිවකුටවත් කිසිම අවසරයක් නැති බව සලකන්න.

එස් බී හා ඉන්දියාව



අද ඇතැමුන් සිතා සිටින්නේ මහින්ද නොවරදින සුළු පුද්ගලයකු කියායි. ඔහුගේ දේශපාලන නායකත්වයෙන් කොටි පැරද වූ බව සැබෑ ය. එහෙත් ඔහු එතැනට ඉබේ ආවා නො වේ. 2005 දී ඔහු ජනාධිපති පදවියට පත්වන විටත් ඔහු කොටි සමග සාකච්ඡා කළ යුතුය යන ස්ථාවරයේ පිහිටියා. ඔහුට විසඳීම සඳහා දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් තිබුණා. ඒ විසඳීම සඳහා ඔහු කොටින් සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටියා. කොටි පැරදවීම සඳහා හමුදා මෙහෙයුමක් කළ යුතු ය යන තැනට ඔහු පත් වූයේ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන්. මෙය යම් කිසිවකුට වෙනත් ආකාරයකින් විවරණය කරන්න පුළුවන්. කොටි පැරදවීම සඳහා හමුදා ශක්තිමත් වන තුරු හමුදා මෙහෙයුමක් නොකළ යුතු ය යන ස්ථාවරයේ මහින්ද සිටියේ යැයි කෙනකුට කියන්න පුළුවන්. සිද්ධියකින් පසුව ඒ සිද්ධියට විවිධ අර්ථකථන දීම සුලබයි. එහෙත් සිද්ධියෙන් පෙර මහින්ද හමුදා මෙහෙයුමක් කිරීමට කල්පනා කරගෙන සිටියේ නැහැ. මහින්ද 2005ට පෙර සිටියේ කුසල් පෙරේරා වැනි සිංහල විරෝධීන් සමග.




අපි අද අහමු මහින්දගෙන් දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් ප්‍රශ්නයක් තිබේ ද කියා. ප්‍රශ්නයක් තිබේ නම් ඒ කුමක් ද කියාත් අහමු. එයට නිසි පිළිතුරක් දිය යුතුයි. පුහු ජනමාධ්‍යවේදීන්ට දෙන වොයිස් කට් පිළිතුරු හරියන්නේ නැහැ. නන්දිකඩාල්හි වූයේ කොටි පැරදවීම පමණක් ද? එහි දී දෙමළ ජාතිවාදය පරදවනූ නො ලැබුවේ ද? මහින්ද ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? චන්න ජයසුමන ජෙනීවාහි දී කී දේ ගැන මහින්දවාදීන් ද ඔහුට පසසනවා. එහෙත් චන්න කිවුවේ මෙරට දෙමළ ප්‍රශ්නයක් නැති බවයි. එමෙන් ම ඔහු කියා ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු කතා කරන්න දෙයක් ඉතිරි වී නැති බවයි.



මහින්ද කොටි පැරදවීමට ඉන්දියාවෙන් වක්‍ර සහායක් ලබා ගත් බව දැන් පැහැදිලියි. ජෙයලලිතාගේ පක්‍ෂය කොංග්‍රසයට විරෝධය පාන්නේ මහින්ද ඒ බව කියා ඇති නිසා. පහුගිය දා ජෙයලලිතාගේ පක්‍ෂය ඒ බව කිව්වා. එයට පෙරත් නාරායන වැන්නන් ඒ බව කියා තිබුණා. ඉනදියාව වක්‍ර සහායක් ලබා දුන්නේ මෙහෙයුම්වලට බාධා නොකිරීමෙන්. 13+ අප එ වෙනුවෙන් ගෙවූ වනදියයි. මහින්ද ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කමිටුව (LLRC)  සී ආර් (බුල්) සිල්වාගේ නායකත්වයෙන් පත් කෙළේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙන බව විශ්වාස කළ නිසයි. එවැනි ප්‍රශ්නයක් නැති බව අප අවුරුදු විසිපහක් පමණ කියා තියෙනවා. තිබෙන ප්‍රශ්නය කුමක් දැයි මේ වන තුරු කිසිවකු කියා නැහැ. ප්‍රශ්නයක් තියෙනව නම් ඒක තියෙන්නෙ උතුරෙ හා නැගෙනහිර ඉන්න දෙමළ කතාකරන ජනයාට පමණක් ද? උඩරට ඉන්න දෙමළ කතාකරන ජනයාට ප්‍රශ්නයක් නැද්ද?



ඉන්දියාව නම් කියන්නේ විසඳන්න ප්‍රශ්නයක් ඇති බවයි. මෙතනයි මහින්දගේ ඉන්දියා ගමන ප්‍රශ්නයක් වන්නේ. අප අවුරුදු තුනක් තිස්සේ කිව්වේ මහින්ද අගමැති කළ යුතු බවයි. ඒ සඳහා මෛත්‍රිපාලට බලය තිබුණත් ශක්තිය නැහැ. මේ ශක්තිය කතාව අදත් ඇතැමුන් ඡන්දය සමග පටලවා ගන්නවා. මහින්ද මෙන් ම මෛත්‍රිපාල ද ඔවුන්ගේ ඇතැම් අනුගාමිකයන් ද ඒ ප්‍රශ්නයේ දී හරියට කටයුතු කළේ නැහැ. අපට එහි දී කටයුතු කළ හැකි ප්‍රබල භික්‍ෂූන් වහන්සේ නමක් ඇත්තේත් නැහැ. අද බොහෝ හාමුදුරුවරුන් ද ජනප්‍රිය සංස්කෘතියේ වොයිස් කට් අනුශාසනා පවත්වනවා.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද වුවත් මෛත්‍රිපාලට මහින්ද අගමැති කළ හැකියි. එහෙත් මහින්ද හා මෛත්‍රිපාල අතර විශ්වාසයක් නැහැ. ඒ අවශ්‍ය කටයුතු සඳහා එස් බී මදිහත් වන විට ඔහු දෙමළ ජාතවාදයට පක්‍ෂ බැවින් ඔහු සමග කටයුතු කරන්නේ කෙසේ දැයි ඇතැම් මහින්දවාදීන් ඇහුවා. මෛත්‍රිපාලට ශක්තියක් නැති නිසා ශක්තිය ලබා දෙන්නේ කෙසේ ද කියාත් ඇසුවා. අප කරන්නේ සිරිසේන බලයේ තබා ගැනීමක් යැයි ඇතැමුන් කිව්වා. සිරිසේනට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් පරාජය නොකළොත් හෝ කුමන්ත්‍රණය නොකළොත් ඔහු 2020 ජනවාරි වනතුරු බලයේ ඉන්නවා. අපට අවශ්‍ය වූයේ රනිල් 2019ට පෙර ඉවත් කිරීමයි. මහින්දවාදීන් කෙළේ රනිල් පවත්වාගෙන යෑමයි. මහින්ද සුදු ම සුදුයි කියන අය මෛත්‍රිපාල කළු ම කළුයි කියනව. මුහුණු පොතේ පමණක් දේශපාලනය කරන සමහරුන් කිව්වේ රනිල් හා මෛත්‍රිපාල රංගනයක යෙදෙන බවයි. ඔවුන් තවමත් කියා නැහැ ඒ කතාව වැරදියි කියා. ඔවුන් තවමත් හිතන්නේ රනිල් මෛත්‍රිපාල රංගනයක් තියෙන බව ද? 



අද ඉන්දියාව මැදිහත් වන්නේ රනිල් 2020ට පෙර ඉවත් කිරීමට ද නැත්නම් පසුව ඉවත් කිරීමට ද?. 2020 ජනවාරියට පෙර රනිල් ඉවත් කරන්නේ නම් ඒ මෛත්‍රිපාල මගින් ම විය යුතුයි. එසේ කළ හැක්කේ මෛත්‍රිපාලට ශක්තිය දීමෙන් මිස වෙනත් ක්‍රමයකින් නො වේ. 2020 ජනවාරියට පසුව ඉවත් කෙරෙන්නේ නම් ඒ ජනාධිපතිවරණයකින්/ මැතිවරණයකින් කළ යුතුයි. විස්ස සංංශෝධන සහිත ව සම්මත කරගතහොත් රනිල් මැතිවරණයකින් ඉවත් කරන්න වෙනවා. එවිට බලවත් අගමැති. විස්ස මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප වුණොත් පමණක් ජනාධිපතිවරණය වැදගත් වෙනවා. එවිට ජී එල් පීරිස්ගේ කුතර්ක මොනවා වුණත් මහින්දට ජනාධිපතිවරණයකට නැවත ඉදිරිපත් වෙන්න බැහැ. මහින්දට නාමයෝජනා පත්‍ර භාරදිය හැකියි. මැතිවරණ කොමිසම එය පිළිගනීවි. එහෙත් විරුද්ධතාවක් ඉදිරිපත් වූ විට විරෝධතාව පිළිගනීවි. ජී එල් ද දෙවැනි අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්න පුළුවන්. එස් බීට විරුද්ධ වන සුපිරි ජාතිකවාදීන් පැකේජ් පප්පා ලෙස හැඳින්වුණු ජී එල් හා කෙහෙළිය පසුගිය දා සමගාමී ලැයිස්තුව ඉවත් කර ගැනීමට ලිපියක් දී ඇති බව අමතක කරනවා. ජී එල් මහින්ද සමග ඉන්දියාවට ගියේ පොහොට්ටුවේ සභාපති ලෙස පමණක් ද? මහින්දවාදීන්ට මෛත්‍රිපාල කෙරෙහි ඇති අවිශ්වාසය ජී එල් කෙරෙහි නැත්තේ ඇයි? 



ඇතැමකු කියනවා ඉන්දියාව ඉදිරිපත් වන්නේ මහින්දට ශක්තිය ලබා දීමට ය කියා. ඉන්දියාව දන්නවාලු මහින්දට ශක්තිය තියෙන බව. ඒ මොහොකට තියෙන ශක්තියක් ද? මැතිවරණයෙන් රනිල් පැරදවීමට ද? නැත්නම් වෙනත් මොහොකටවත් ද? ඉන්දියාව නැතිව මහින්දට මැතිවරණයකින් ජයග්‍රහණය කරන්න බැරි ද? ඉන්දියාව සහාය වන්නේ මැතිවරණයේ දී මෛත්‍රිපාලගේ සහාය මහින්දට ලබා දීමට ද?



මහින්ද කියන තරම් පරිණත දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඡන්ද කෙක්කක් බව නම් පැහැදිලියි. ඔහු ඉන්දයාවේ 13+ ගැටයට කලින් හසු වුණා. ඊනියා උගත් පාඩම් කොමිසම පත්කළා. ත්‍රිත්ව විද්‍යාල වැඩේ දී ඔහු ද ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණු බව කියනවා. අද ඇතැයි කියන මෛත්‍රිපාල ඝාතන සැලැස්ම ගැන පරීක්‍ෂණ ඉල්ලන මහින්ද (එසේ ඉල්ලීම හොඳයි) තමාට විරුද්ධව තිබුණා යැයි කියන ත්‍රිත්ව විද්‍යාල ඝාතන සැලැස්ම ගැන පරීක්‍ෂණ කළා ද? මහින්ද වෙනත් රටවල හා බෞද්ධ නොවන ආගමික සංවිධානවල බලපෑම්ලට හසු වෙනවා. මහින්ද දහනවයට ඡන්දය දෙන ලෙස මන්ත්‍රීවරුන්ට කිව්වා. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම මෛත්‍රිපාලට දුන්නා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට ද? මේවා කියන විට මහින්දවාදීන්ට  තරහ යනවා. මේ සිරිසේනට කඩේ යෑමක් කියනවා.



ඉන්දියාවේ මැදීහත් වීම අප සුළුකොට තකන්න හොඳ නැහැ. ඉන්දියාව ඉදිරිපත් වන්නේ කාහටවත් ශක්තිය ලබා දීමට නොව දෙමළ ජාතිවාදය ශක්තිමත් කර ලංකාව තම ග්‍රහණයට හසුකර ගන්න. අපට තව මාස කිහිපයක් ඉතිරි වී තියෙනවා ඉන්දියාවේ ඊනියා සහාය නැතිව රනිල් ඉවත් කරන්න. එස් බී ගේ සිංහල විරෝධය ගැන  කී පඬියන් හිතන්නේ ඉන්දියාව දෙමළ ජාතිවාදයට විරුද්ධ ව සිංහලයන්ට පක්‍ෂපාති වන බව ද?  මහින්ද ගැන ඇති අධිතක්සේරුවක් හා මෛත්‍රිපාල කෙරෙහි ඇති දැඩි වෛරයක් පදනම් කරගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.