Main Logo

Sunday 16 September 2018

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

අපේ වැඩ අපට කර ගන්න බැරි වුණා ම අල්ලපු ගෙදර මිනිහා මැදිහත් වීම



මහින්දගේ ඉන්දීය ගමන ගැන මා ලියන ලිපි සම්බන්ධයෙන් උගතුන් කිහිප දෙනකුට ප්‍රශ්න මතුවෙලා. ඔවුන් අතර ඊනියා උගතුන් ද ඉන්නවා. මා මහින්දගේ දේශපාලන ජීවිතය යුග හතරකට බෙදා දැන් පස්වැනි යුගයකට පා තබන්නට යන බවක් සඳහන් කළා. මහින්ද මේ දේශපාලන ජීවිතයේ එක් පැත්තකට සිට සෘජුව වර්ධනය වූ අයකු නො වෙයි. ඔහු ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් ගියේ බොහෝ දේශපාලනඥයන් මෙන්. එසේ වෙනස් වෙද්දී ඒ වෙනසට හේතුව කුමක් ද කියා පැහැදිලි කළේ නැහැ. සිදුහත් තවුසනුත් වෙනස් වුණා. එහෙත් ඒ එක් පැත්තකින් අනෙක් පැත්තටත් නැවත මේ පැත්තටත් ආදී වශයෙන් නො වේ. එය එක් අතකට සිදු වූ වෙනසක්. එතුමා වෙනස් වූයේ නිවන සඳහා. ආළාර කාළාම උද්දකාරාමපුත්ත ගැන එතුමා තම මතය පැහැදිලිව කිව්වා. එතුමා ඔවුන්ගෙන් වෙන් වී නැවත ඔවුන් කරා පැමිණියේ නැහැ.




එක් අයකු අපට ඩිප්ලොමසි උගන්වනවා. එහෙම වචනයක් ඉංගිරිසියෙහි තියෙනවාලු. අප නොදැන සිටි දේ අපට උගන්වන මෙවැනි මහා දාර්ශනිකයන් වෙන කොහෙන් හොයන්න ද? ඔහු ඉංගිරිසි දන්න බවක් පේනවා. එහෙත් සිංහල බාෂාව දන්න බවක් පේන්නෙ නැහැ. තවත් අයකු නාමල්  පන්සිල් රකින බවට ආරංචි යැයි කියනවා. ඒ නාමල්ගේ ඉන්දීය ගමන ගැන සඳහන් කරමින්. නාමල් රකින බවට ආරංචි වී ඇති පන්සිල් අප රකින පන්සිල් ම ද යන්න ගැනත් ආරංචි තිබෙනවා ද?



මහින්ද ඉන්දීය ඔත්තු සේවය ගැන හින්දු පුවත්පතට කියා ඇත්තේ කුමක් ද? “In March 2015, in an interview to The Hindu, you had accused R&AW, the intelligence agency, of helping bring the opposition together, which led to your defeat. A few weeks ago you said that India must not “meddle” in political affairs in Lanka. Are you worried it will?



It isn’t only India. I didn’t mention just India. I said no one should meddle with somebody else’s elections. It is an internal matter of a country whom the people decide to bring to power. That was in my mind. I think now they all have understood what went wrong at that time and what they did. So we need to forget about the past. This is the time to move forward and look forward.”



පුවත්පතින් මහින්ද ඉන්දියාවේ මැදිහත් වීමක් ගැන ප්‍රශ්න කරද්දී ඔහු කුඩා ළමයකු මෙන් කියන්නේ තමා අනෙක් අය ගැනත් කී බවයි. එහෙත් එය තිබී ඇත්තේ ඔහුගේ හිතේ. මහින්ද අතීතය අමතක කළ යුතු ය කියනවා. එයින් කියන්නේ රෝ ඔත්තු සේවය තම ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කළ බව අමතක කරමු කියා. ඒ කියන්නේ වෙනසක්. ඔහු දැන් කියන්නේ නැහැ රෝ ඔත්තු සේවය තම ආණ්ඩුව පරාජය කළ බව.  දැන් අර ඩිප්ලොමසි දාර්ශනිකයා අහන්න පුළුවන් අමතක කිරීම යනු ඔත්තු සේවය තම ආණ්ඩුව පරාජය නොකළ බව පිළිගැනීමක් ද කියා. එමෙන් ම ඔහු අසාවි ඉන්දියාවට ගොස් රෝ ඔත්තු සේවය තම ආණ්ඩුව පරාජය කළ බව කීමට හැකි ද කියා. බැරි නම් අහවල් දේකට ද ඉන්දියාවට ගියේ. මේ ඩිප්ලොමසි යනු බොරු කීම මිස වෙනත් දෙයක් නො වෙයි. තම ගැලවීමට බොරු කීම. එක්තරා අයකු ඩිප්ලොමැට් යනු  තම රට වෙනුවෙන් බොරු කියන්නකු ලෙස හඳුන්වා දී තිබෙනවා. මහින්ද මේ කතා කියන්නේ රට වෙනුවෙන් ද තමා වෙනුවෙන් ද?



මහින්ද අගමැති විය යුතු ය කියා අප කිව්වේ අවුරුදු තුනකට පෙර. අදත් අප එය කියනවා. එහෙත් අවුරුදු තුනක් තිස්සේ අපට මහින්ද අගමැති කර ගන්න බැරි වුණා. ඒකාබද්ධ විපක්‍ෂයෙනුත් එයට අකුල් හෙළුවා. අප කීවේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. ඉන්දියාව දන්නවා රනිල් යටතේ රට අස්ථාවර වන බව. එය ඉන්දියාවේ පැවැත්මටත් තර්ජනයක්. ඉන්දියාවට හම්බන්තොට ප්‍රශ්නය තියෙනවා. හම්බන්තොට ඉන්දියාවට තර්ජනයක්. එහෙත් එයින් කියන්නේ නැහැ අප ඉන්දියාවට මත්තල දිය යුතු ය කියා.



ආචාර්ය ස්වාමි තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්‍ෂයේ නායකයා. මෝදි පක්‍ෂයේ පාර්ලිමේන්තු නායකයා. පක්‍ෂයේ ලකුණ නෙළුම මල. බැසිල්ට ඉන්දීය සම්බන්ධකම් තියෙනවා. ඔහු පිහිටවූ පොදුජන පෙරමුණේ ලකුණ නෙළුම් පොහොට්ටුව. මේවා කියනවාට බැසිලිකාවේ පූජකයන්ට (වහළුන්ට) කේන්ති යන්න පුළුවන්. මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන (වෙන විධියක් නැහැ) මහින්ද අගමැති කරවීමට අප ගත් උත්සාහ අසාර්ථක වුණා. එස් බී තවමත් එයට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එහෙත් එයට විවිධ බාධක තිබුණා. අද ඉන්දියාව ඒ කාර්යය භාර ගෙන ඇති බවක් පේනවා. එය හරියට ම පැහැදිලි නැහැ. එසේ කරන්නේ 2019ට පෙර ද පසු ද යන්නත් පැහැදිලි නැහැ. 2019ට පෙර එය සිදු වුණත් 2019න් පසු නම් මෛත්‍රිපාල ජනාධිපති වෙන එකක් නැහැ. විස්ස සමමත නොවුණහොත් මීළඟ ජනාධිපතිටත් වත්මන් ජනාධිපතිට තියෙන බලතල තියෙනවා. එවිට ජී එල් පීරිස් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක වෙන්න පුළුවන්. මෝදි හමුවන්න මහින්ද එක්ක ගියේ ජී එල් හා නාමල්.



තත්වය ඉතාමත් සංකීර්ණයි. අපේ වැඩ අපට කරන්න බැරි වුණා ම වෙනත් අය ඇඟිලි ගැහීම වළක්වන්න බැහැ. මහින්ද ඉන්දියාවට ගියේ ඊනියා ඩිප්ලොමසියකට නො වෙයි. මෝදිගේ අවශ්‍යතාවට. එහි කපුකම කෙළේ ආචාර්ය ස්වාමි. අද මාලදිවයිනේ මැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාව මැදිහත් වෙනවා. ඉන්දියාවට ඕන මාලදිවයිනේ තමන්ට පක්‍ෂ චීනයට පක්‍ෂපාත නැති අගමැතිවරයකු තෝරා ගන්න. ඔය ස්වාමි තර්ජනය කර තිබුණා ඉන්දියාවට මාලදිවයින ආක්‍රමණය කරන්න පුළුවන් කියා. ස්වාමි මෝදිගෙ උපදේශකවරයෙක්.



අපට ම රනිල් ඉවත් කරලා මහින්ද අගමැති කරගන්න පුළුවන් වුණා නම් හොඳයි. එහෙත් අපට එය බැරි වුණා. දැන් ඉන්දියාව ප්‍රශ්නය තමන් අතට ගෙන. ඉන්දියාව සිංහල බෞද්ධයනට පක්‍ෂ නැහැ. ඔවුන් සිංහල බෞද්ධයනට විරුද්ධයි. ඉන්දියාවෙ බහුතරයක් අම්බෙඩ්කාර්ට පස්සෙ හිතන්නෙ බෞද්ධයන් කුලහීනයන් කියා. ගාන්ධි බුදුහාමුදුරුවන් ගැන දැන ගත්තෙ ලයිට් ඔෆ් එෂියා කියෙව්වට පස්සෙ කියනවා! මෝදිගෙ බලපෑමෙන් මහින්දට දෙමළ නායකයන් සමග කතා කරන්න වෙනවා. කතා කරලා පමණක් ඉන්න බැහැ. අද මහින්දට බොහෝ දෙනා කැමති පාරවල් හැදුව එකට නොවෙයි. කොටි පරාද කළ එකට. ඒත් මෝදි නන්දිකඩාල් ආපසු හරවාවි. අපට එයට මුහුණ දෙන්න පුළුවන් ද?