Main Logo

Wednesday, 19 September 2018

ඝරසර්ප 3 (කළු කුමාරයා)


ඝරසර්ප 3

(කළුකුමාරයා)



තරුණිය සුවපත් කරනු ලැබුයේ පියතුමා විසින් ද නැත්නම් වෙනත් කිසිවකු  විසින් ද? පියතුමා නම් කියන්නේ ඇය තරුණයාගේ ආදරය විසින් සුව කරනු ලැබූ බවයි. එහෙත් පල්ලියට රැස් වූ ජනයා සිතන්නේ කෙසේ ද? පූජාවන් පැවැත් වූයේ පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට පේන්න පල්ලියේ පූජාවන් හැර තොවිල් පවිල් සිදු වූයේ නැහැ. පියතුමා කුමක් කීවත් පල්ලියේ රැස්වූවනට පියතුමා තමයි තරුණිය සුවපත් කෙළේ.




එසේ නම් පියතුමා කීවේ කුමක් ද? මෙතැන තමයි කතෝලික චින්තනය (සංස්කෘතිය) හා සිංහල බෞද්ධ චින්තනය (සංස්කෘතිය) මිශ්‍ර වන තැන. සිංහල බෞද්ධ සංස්කෘතියේ කළුකුමාරයා තමයි ඇයට වැහුණේ. කතෝලික සංස්කෘතියට අනුව යක්‍ෂයා. ඒ එහි ද්වෛතයට එකඟ ව. සිංහල බෞද්ධ සංස්කෘතියේ ද්වෛත නැතිවා නො වේ. එහෙත් එහි තවත් වර්ගවල සංකල්ප තියෙනවා. ඒ චතුස්කෝටික න්‍යායෙන් ගලා එන දේ. චතුස්කෝටිකය යනු බෞද්ධ න්‍යායක් නො වෙයි. නිවන් දැකීමේ දී චතුස්කෝටිකයෙනුත් බැහැර වෙනවා. එහෙත් එතෙක් අපට එය වැදගත්.



චතුස්කෝටිකයේ ද්විකෝටිකයට වඩා දෙයක් තියෙනවා. බටහිර දැනුමේ ප්‍රශ්නය ම එහි ඇත්තේ ඇරිස්ටෝයලීය ද්විකෝටිකය පමණක් වීමයි. යමක් සත්‍ය නම් එහි විරුද්ධය අසත්‍යයි. යමක් අසත්‍ය නම් එහි විරුද්ධය සත්‍යයි. ද්වෛතයේ පදනමත් එයයි. ද්විකෝටිකය මත පිහිටා ද්වෛත අතර සම්බන්ධයක් සංවාදයක් ගොඩනගන්න බැහැ. එවැන්නක් ගොඩ නැගීම ම අසාර්ථක වෙනවා. හෙගල්ට සිදුවූයේ එයයි. හෙගල් ඊනියා අපෝහකයක් ගැන කතා කෙළේ ද්විකෝටිකය යොදා ගනිමින්. හෙගල් ගැන කතා කළ පමණින් මා විඥානවාදියකු වන්නේ නැහැ. මා විඥානවාදියකුවත් ද්‍රව්‍යවාදියකුවත් නො වෙයි. මෙරට බොහෝ මාක්ස්වාදීන් පවා හෙගල්ගේ Science of Logic  කියවා නැහැ.



අපට ද්විකෝටිකයට අමතර ව තවත් කෝටික දෙකක් තියෙනවා. යමක් සත්‍ය යන්න මෙන් ම අසත්‍ය යන්න ද අපේ සංස්කෘතියේ තියෙනවා. එමෙන් ම සත්‍ය නොවන මෙන් ම අසත්‍ය නොවන යන්න ද තිබෙනවා. මගේ ලෝකය පොතේ මෙය සඳහන් වෙනවා.



කළුකුමාරයා යන්න ම ගනිමු. කළු නම් සාමාන්‍යයෙන් අයහපත්. කුමාරයා යනු සාමන්‍යයෙන් යහපත්. දැන් කළුකුමාරයා කවු ද? අපි කාලිඅම්මා (කාලි දෙවඟන) ගැන කියනවා. කොල්කතාවේත් ඇය ඉන්නවා. කාලි කියන්නේ පව, අයහපත් යන්නට. අම්මා යහපත් බවේ සංකේතය. එතකොට කාලිඅම්මා? මේ කවුරුනුත් එක විට යක්‍ෂයන් මෙන් ම  දෙවියන් ද වෙනවා. එහි ද්වෛතයක් නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ ගොම්මන් වෙලාවෙ අවිවාහක තරුණියන්ට ගෙයින් පිටවන්න දෙන්නේ නැහැ. වැඩිවියට පත් වීම අප හඳුන්වන්නේ ගෙට වීම යනුවෙන්. මේ ගෙට වීම යනු කාමරයකට වී තනි වීමක් නොවෙයි. මෙයින් කියැවෙන්නෙ ගෙයින් පිටවීමට ඇති තහංචි පමණයි. කළුකුමාරයා ඕල්කට් බුද්ධාගමේ නැතිවන්න පුළුවන්. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉන්නවා.



කළුකුමාරයා නරකයකු නො වෙයි. කළුකුමාරයා වැහෙන්නේ අවිවාහක තරුණියන්ට. එනම් පිරිමියකුගේ සෙනෙහස නොලබන තරුණියන්ට. කළුකුමාරයා වැහෙන්නේ එවැනි තරුණියන්ට ඇති සෙනෙහසටයි. තරුණ සෙනෙහසක් නැති තරණියන්ට කළුකුමාරයා සෙනෙහස ලබා දෙනවා. තරුණියන්ට සෙනෙහස ලබා දෙන්නේ කුමාරයෙක්! එහෙත් එය මිනිස් සෙනෙහසක් නොවන නිසා අපට සාපේක්‍ෂව විකෘති හැසිරීම් ඇති වෙනවා. තොවිල් පවිල්වලින් ප්‍රායෝගික ව කෙරෙන්නේ තරුණියකට තරුණ සෙනෙහසක් ඇති නිසා කළුකුමාරයා අනවශ්‍ය බව කීමයි.



තරුණියට පල්ලියේ පූජාවන්ට පැමිණි තරුණයකු සෙනෙහස දක්වනවා. එය පල්ලියේ සිදුවන්නේ, තොවිල්පලක නො වෙයි. තොවිලය හුදෙක් සංස්කෘතික මිශ්‍රණයක සංකේතයක් පමණයි. තරුණ සෙනෙහසක් ලැබුණු විට කළුකුමාරයා වෙන් වෙනවා. එනම් ආවේෂය අත්හරිනවා. කළුකුමාරයා යන්නේ අනාවැකියක් කියා පොරොන්දුවක් දෙමින්. අවුරුදු තිස්හතකට පසු පොරෙන්දුව ඉටුවෙනවා.



පියතුමා මේ සෙනෙහස  දන්නවා. තරුණිය සුවපත් කෙළේ අර තරුණයා බව එතුමා කියනවා. එහෙත් එය සිදු වූයේ පූජාවෙන් පැන නැගුණු දෙයක් ලෙස. තරුණිය සුවපත් කරනු ලැබුයේ කවුරුන් විසින් ද? පියතුමා අතින් මෙන් ම තරුණයා අතිනුත්.  මෙය සිංහල කතෝලික හා සිංහල බෞද්ධ සංස්කෘතීන්වල සුසංයෝගයක් බව නොකියා ම බැහැ. ඊනියා සංහිඳියාවකට  වඩා මෙය වැදගත්. ඝරසර්පයෙහි එයට අමතර ව දැනුම් පද්ධති තුනක් තියෙනවා. සිංහල බෞද්ධ, සිංහල කතෝලික හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි.



මා ඝරසර්ප ලියන්න පටන්ගත්තේ පෙරේදා. ඊයේ එහි දෙවැනි කොටස ලිවීමෙන් පසු සැප්තැම්බර් 14 නිව්ස්වීක් සඟරාව කියවන්න ලැබුණා. මා එහි වැඩිපුර කියවන්නේ දේශපාලන ලිපි. මෙකී කලාපයෙහි සිනමාව යටතේ හෝක් නම් රංගන ශිල්පියකු සමග සාකච්ඡාවක් තිබුණා. හෝක් රඟ පා ඇති ඇතැම් චිත්‍රපටිවල කතාව පෝල් ෂ්රේඩර් නමැත්තකුගේ. ෂ්රේඩර් හෝක්ට මෙසේ කියා තිබෙනවා. “A great movie starts as you walk out of the theater. මට එය අදහා ගන්න බැරි වුණා. මාත් එයට සමීප දෙයක් ඝරසර්ප 1 ලිපියේ කිව්වා. සඳරැස්ට අවුරුදු තිස්හතකට පසු තම පැරණි පෙම්වතිය හමුවෙනවා. දෙදෙනා එකිනෙකා හඳුනා ගන්නවා. ඉන්පසු කතාව අවසන් වෙනවා. එහෙත් කතාව පටන් ගන්නේ ඉන්පසුවයි.මා මෙය කියන්නේ මගේ කයිවාරුවක් ලෙස නො වෙයි. ඝරසර්ප පටන්ගන්නේ අප සිනමා ශාලාවෙන් පිට වන විටයි.



අපට සිතන්න වන්නේ විශිෂ්ට චිත්‍රපටියක් නැරඹූ පසුවයි. ලෝකයේ හිතන්න පුළුවන් අයගේ සුබසෙත පතා ඝරසර්ප ඉංගිරිසි උපසිරැසි සහිත ව හා දෙමළ හා සිංහල, කතෝලික හා බෞද්ධ සංස්කෘතීන් අතර ඇති සම්බන්ධය සඳහා දෙමළ උපසිරැසි සහිත ව සකස් කරගන්න පුළුවන් නම් හොඳයි. කවින්ධ්‍යාටත් යමක් කියන්න තියෙනවා. ඇය ඔළුව නරක් කරගෙන තරුවක් වීමට නොගියහොත් අති දක්‍ෂ රංගන ශිල්පිණියක් වන්න පුළුවන්. එහෙත් ඇය පරිණත බවට පත් වන විට මා මිය ගිහින්.



අප පටන් ගත්තේ බයිබලයේ සර්පයාගෙන්. අපි බුදුවදනිකින් අවසන් කරමු. ආනන්දය සර්පයා දුටුවෙහි ද?”