පසුගිය දා බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ අසල බෝම්බ කිහිපයක් පුපුරා ගියේ ය. පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇත. ඒ පිළිබඳ ව ඉන්දීය තොරතුරු මධ්‍යස්ථානය කල්තබා ම දන්වා තිබූ නමුත් බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට අසමත් වී ඇති බව පැවසෙයි. කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉන් කිහිප දෙනකු නිදහස් කර ඇති බවත් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන්නේ යැයි කියන මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක් වන මුජාහිඩීන් (අරගලය යන තේරුම ඇති අරාබි වචනයක් වන ජිහාඩ් යන්නෙන් බිඳී ඇතැයි කියැවේ) සංවිධානය එහි වගකීම භාරගෙන ඇති බවත් කියැවෙයි. මේ මුස්ලිම් සම්බන්ධයක් ගැන ලංකාවේ කිසිවකු කියා නැති බව ඇතැම් ත්‍රිරෝද පක්‍ෂ නායකයන්ට කිව යුතු ය. ඒ නායකයන්ට අවශ්‍ය වූයේ ඒ පිළිබඳව ද සිංහල බෞද්ධ සංවිධානවලට දොස් පැවරීම ය. ඒ අතර ඒ ජා පක්‍ෂයේ ඇතැමකුට හා හිටපු හමුදාපතිවරයකුට අනුව බුද්ධගයාවේ බෝම්බ ගැසීම පිළිබඳව ලංකාණ්ඩුව වග කිව යුතු ය! මුජාහිඩීන් හෝ වෙනත් මුස්ලිම් සංවිධානයක් හෝ බුද්ධගයාවට බෝම්බ ගසන්නේ ඇයි? එයට හේතුව ලෙස ඉන්දීය බලධාරීන් පමණක් නොව ලංඩනයේ පළවන ටයිම්ස් නම් ඉංගිරිසි සංස්කෘතියේ මුරබල්ලා ලෙස සැලකිය හැකි පුවත්පත ද කියන්නේ (අඩුම තරමෙන් අඟවන්නේ) ශ්‍රී ලංකාවේ. මියන්මාරයේ හා තායිලන්තයේ බෞද්ධයන් (ථෙරවාද) මුස්ලිම් ජනයාට හිරිහැර කරන බැවින් එයට ප්‍රතිචාරයක් ලෙස මුජාහිඩීන් සංවිධානය බුද්ධගයාවේ බෝම්බ පුපුරවා ඇති බව ය. ඉන්දීය බලධාරීන්ට අනුව ඒ සඳහා මියන්මාරයෙන් ඉස්ලාම් භක්තිකයකු පැමිණ ඇත. මේ සියළු කතා සුරංගනා කතා පමණකි. මේ කතාවේ අවසානය කෙසේ ලිය වී ඇත් දැයි අපි නො දනිමු. ඉන්දීය ඔත්තු සේවය හා බටහිර ඔත්තු සේවා එක්ව එහි දී මුජාහිඩීන් සංවිධානයේ කිසිවකු යොදා ගත්තේ ද යන්න ද ප්‍රශ්නයක් ලෙස ඉතිරිවනු ඇත. ලංකාවේ කොටි සංවිධානය යොදාගනු ලැබුයේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කරනු පිණිස ය, ඒ නොහැකි නම් දුර්වල කිරීමට ය. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා මාළිගාව අසළ සිදු වූ බෝම්බ ප්‍රහාර පිටුපස වූ සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය සිංහලයන්ට තවමත් තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.
අප අද ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී දේශපාලනයේ හතරවැනි යුගයේ ය. පළමු යුග තුන ගැන කෙටි විස්තරයක් 1995 දී පළකළ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වේ. ඒ පොතෙහි දෙමළ ත්‍රස්තවාදය හමුදා ක්‍රියා මාර්ගවලින් පරාජය කළ යුතු බවත් දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව හා දේශපාලනික ව පරාජය කළ යුතු බවත් පවසා ඇත. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කරමින් තුන්වැනි යුගය අවසන් කළෙමු. එමෙන් ම දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව ද මුළුමනින් ම මෙන් පරාජය කර ඇත. එහෙත් අපට තවමත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වී ඇත. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී අප ඒ නොකළහොත් ඊළාම් තර්ජනය නැති නොවන බව අපි 1995 තරම් ඈතක දී එකී කෘතියෙන් ද කීවෙමු. මෙහි දී බටහිරයන් හා ඉන්දියාව අපට එරෙහි ව සිටින බව අවධාරණය කළ යුතු ය. බුද්ධගයාවේ බෝම්බ පිපිරෙන්නේ ශ්‍රී ලංකාවේ, මියන්මාරයේ හා තායිලන්තයේ පමණක් නොව බංග්ලාදේශයේ ද ථෙරවාද බෞද්ධයන් හා මුස්ලිමුන් අතර අවුල් ඇති පසුබිමක ය. බටහිරයන් හා ඉන්දියාව (අඩුම තරමෙන් ඔත්තු සංවිධාන) ඒ බව දනියි. ඒ ආරවුල් ද ප්‍රධාන වශයෙන් ම බටහිරයන්ගේ මැදිහත් වීමෙන් සිදුවෙයි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාදයෙන් ද හමුදාමය අභියෝගය මුස්ලීම් සංස්කෘතියෙන් ද එල්ල වෙයි. හැකිනම් ඒ සංස්කෘතීන් දෙකම එක ගලෙන් නැතිකිරීම බටහිරයන්ගේ අභිප්‍රාය වෙයි. අප මේ බව කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ.
ඉහත සඳහන් රටවල් තුනෙන් ලංකාව අද වඩාත් තීරණාත්මක කාලයක් පසුකරමින් සිටියි. අපි මෙතෙක් බිඳිය නොහැකි කළුගලක් සේ හුවාදැක්වුණු දහතුන්වැනි සංශෝධනය අහෝසිකිරීමට පුළුල් ව සාකච්ඡා කරමු. මේ සාකච්ඡාව අවුරුදු විසිපහක් සුළුවෙන් නමුත් පැවතුණු බව සියල්ලෙහි ගෞරවය තමන්ට පවරාගැනීමට උත්සාහ දරණ දේශපාලන පක්‍ෂවලට මතක්කර දිය යුතු ය. අනෙක් අතට පළමු වරට උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරී ඇත. දහතුන පසුව අහෝසි කරන තෙක් එය හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු වෙයි. මේ සියල්ල නැවැත්වීමට කටයුතු කරන්නේ කවුරුන් ද? එක් පැත්තකින් දහතුන සංශෝධනය කිරීම හා අනෙක් පැත්තෙන් උතුරේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් වාසි ලැබෙන්නේ දෙමළ ජාතිවාදයට ය. ඡන්දය නොපැවැත්වීමෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නොදෙන්නේ යැයි ලංකාණ්ඩුවට හා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබාගැනීමට බටහිර හා ඉන්දියාව සූදානම් වෙයි. මුස්ලිමුන් විසින් කරන ලදැයි කියන බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරයට එරෙහිව සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට පහර දෙනු ඇතැයි බටහිර හා ඉන්දියාව බලාපොරොත්තු නොවිණි යැයි අපට කිව හැකි ද? මන්නාරම් දිස්ත්‍රික්කයේ විශාල මුස්ලිම් ජනගහණයක් සිටිය දී උතුරේ ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාකරවීමට තිබිණි. මෙවරත් සිංහල බෞද්ධයෝ ප්‍රකෝප නොවී කෞටිල්‍යයන් පැරදවූහ. අපට දැන් ඇත්තේ අර සුරංගනා කතාව කෙසේ අවසන් වේ දැයි දැන ගැනීම පමණ ය. එහෙත් දෙමළ ජාතිවාදය හා එහි පිටුපස සිටින බටහිර පඬියන් හා ඉන්දීය කෞටිල්‍යයන් තම කටයුතු මෙයින් අවසන් නොකරනු ඇත. සිංහල බෞද්ධ යැයි කියන පක්‍ෂ හා සංවිධාන ද එහි දී යොදා ගෙන ආණ්ඩුව අස්ථාවර කිරීමට ඔවුන් ක්‍රියාකරනු ඇත. ඉදිරියේදීත් කල්පනාකාරීව කටයුතු කිරීමට සිංහලයන් ඉටාගත යුතු ය. ඒ අතර කිවයුතු කරුණක් වෙයි. ඉන්දියාව අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අප මත පැටෙව්වේ මෙරට දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමිනි. පසුගිය වකවානුවේ ද ඉතිහාසය පුරා ද අප දකින්නේ කෞටිල්‍යයන් බෞද්ධයනට කරන හා කර ඇති අසාධාරණකම් ය. ඉන්දියාවට පැහැදිලිව ම තම බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂුන් වහන්සේ හා එරට හා එරටට පැමිණෙන බෞද්ධයන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යතාවක් හෝ හැකියාවක් හෝ නොමැති බව පැහැදිලි ය. ඉන්දියාව මත බලයෙන් ලංකා ඉන්දියානු ගිවිසුමක් ඇතිකිරීමට අපට ශක්තියක් නැත. එහෙත් ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන, භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධයන් රැකීමට ත්‍රස්තවාදය පරාජය කළ ලංකා හමුදාවේ ඛණ්ඩයක් පිටත්කර හැරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. කෞටිල්‍යයන් ඒ ගැන කියන්නේ කුමක් ද?
නලින් ද සිල්වා
2013-07-14