Main Logo

Wednesday 21 December 2011

ජාතික ව්‍යාපාරය, සරත් ෆොන්සේකා හා කාදිනල්තුමා

ජාතික චින්තනයේ මතවාදය මාක්ස්වාදය අනුව සකස්විය යුතු යැයි ගුණදාස අමරසේකර මහතා කීවේ වැඩි ඈතක නො වේ. දැන් ඒ මහතා ඒ අදහස නොදරයි. එහෙත් ජාතික ව්‍යාපාරය අද යම් මාක්ස්වාදී දේශපාලනයක් විසින් ඩැහැගනු ලැබ ඇත. ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ඇරඹියේ 1986 දී ය. අමරසේකර මහතා රත්නපුරේ පැවති රැස්වීමක දී ජාතික චින්තනයක් ගැන කතාකළේ 1986 අගභාභයේ දී ය. එහෙත් ජාතික චින්තනය යන්න කුලියාපිටියේ ප්‍රනන්ද සූරින් එයට කලකට පෙර යොදාගෙන තිබිණි. ජී අයි ඩී ධර්මසේකර මහතා ප්‍රමුඛ පිරිසක් ජාතික වූ දේශපාලනයක් ගැන කතාකළේ හැත්තෑවේ දශකයේ දී ය. අපේ පැරණි ඉතිහාසය ගැන එදා ඒ මහතා කළ කතා එකල නව සමසමාජ පාක්‍ෂියකු ලෙස මම අවඥාවෙන් බැහැර කළෙමි. අමරසෙක්ර මහතා අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද යන කෘතිය පළකළේ ද හැත්තෑවේ දශකය අග භාගයේ දී ය. ඒ පොතට ඒ නම තැබීමට මුල්වූයේ අමරසේකර මහතාගේ අබුද්දස්ස යුගයක් කෘතිය කියවූ ජේ අර් පී සූරියප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. එසේ ඇසූ ප්‍රශ්නය පොතේ ද නම විය. අමරසේකර මහතා ඒ කෘතියෙන් කීමට අදහස් කළේ ධර්මපාලතුමා මාක්ස්වාදය දැන සිටියේ නම් එතුමා ද මාක්ස්වාදියකු වීමට තිබිණි යන්න ය. එකල අමරසේකර මහතාට අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. මම ඒ පොතෙහි අදහස් එකල සමසමාජ පාක්‍ෂිකයකු ලෙස විවේචනය කළෙමි. අද ද විිවේචනය කරමි. ඒ ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන්නකු ලෙස ය. අමරසේකර මහතා එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන නවකතා මගින් කීමට අදහස් කළේ ද යට කියන ලද සහජීවනය ය. ධර්මසේකර මහතා ප්‍රමුඛ එතුමාගේ දේශපාලන පක්‍ෂයේ අයට ද අවශ්‍ය වූයේ මාක්ස්වාදය හා බුදුදහම අතර සහජීවනයකි. ධර්මසේකර මහතා එකල ද වැව් කර්මාන්තය පැරණි ගොවිකම ආදිය ගැන කතා කළේ ය. එහෙත් අමරසේකර මහතාට එකල එවැනි දර්ශනයක් නො වී ය. දිවයින පුවත්පත අරඹා වැඩි කලක් යෑමට ප්‍රථම අසූවේ දශකයේ සූූරිය ගුණසේකර මහතා විවිධ නම්වලින් අපේ පැරණි දැනුම ගැන කතාකළේ ය. බොරුපන වෙදමහතා මුල්කරගෙන වෙදකමත් අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන් මහතා මුල්කරගෙන ගොවිකම හා වැව් ගැනත් ඒ මහතා පුවත්පතට ලිවී ය. එකල අමරසේකර මහතා ඒ අදහස් ගැන වචනයක්වත් සඳහන් කළ බවක් මට මතක නැත. අමරසේකර මහතා සන්නද්ධ වූයේ මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටැලින් ආදීන්ගේ මුල් කෘතිවල අදහස්වලින් නොව ඒ අදහස් රැගෙන ලියු එරික් ෆ්‍රොම්ගේ අදහස්වලිනි. එයට අමතරව ටේ‍රවෝ ලිංගේ අදහස් ද ඒ මහතාට බලපෑවේ ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා අමරසේකර මහතාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙයි. වික්‍රමසිංහ මහතාට පුනබ්බවය ගැන විශ්වාසයක් නොතිබිණි. ධර්මසේකර මහතා ලෙනින් ස්ටැලින් ගුරුකුලයෙන් පෝෂණය ලැබුව ද ඒ මහතා බුදුසමයෙන් ද පෝෂණය විය. ඒ මහතා පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරන පඬියකු නො වේ. සූරිය ගුණසේකර මහතාට මාක්ස්වාදය ප්‍රිය නොවී යැයි කීම අවම මට්ටමේ තක්ෙැස්රුවකි. එහෙත් ඒ අතර ඒ මහතා මහාවිහාර මහාවංසයට ද විරුද්ධ විය. ගුණසේකර මහතා අදත් අභයගිරියේ ලියැවිණි යැයි කියන උත්තර මූල වංසකතාවක් ගැන සඳහන් කරයි. ඒ මහතා මහරගම සමන් මුද්‍රණාලය හා එහි පළකළ පොත් ද තදින් විවේචනය කළේ ය. ගුණදාස අමරසේකර මහතාගේ කරුමක්කාරයෝ පළකරන ලද්දේ ද සමන් මූද්‍රණාලය මගිනි.

ධර්මසේකර මහතා (අද අනගාරික ධර්මසේකරතුමා) මාක්ස්වාදියකුට වඩා ජාතිකවාදියකු වුව ද ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදය ආරම්භ කිරීමට ඒ මහතාට නොහැකි වූයේ ඒ මහතා දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වීම නිසා යැයි සිතමි. ජාතික ව්‍යාපාරයට බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂයක් තිබිය නොහැකි ය. අමරසේකර මහතා සමසමාජ පක්‍ෂයේ හිතවතකු වුව ද ඒ මහතා කිසි දිනෙක දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නො වී ය. අසූවේ දශකයේ අගභාගය වන විට ජේ ආර් ජයවර්ධන විවෘත ආර්ථිකය නමින් ගෙන ගිය බටහිර සංස්කෘතියට රට විවෘත කිරීම හා දෙමළ ජාතිවාදයේ ආයුධ සන්නද්ධ දේශපාලනය හමුවේ හෙම්බත් වී සිටි ජනතාවට දේශපාලන පක්‍ෂවලින් තොර ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව විය. ජාතික චින්තන අදහස ජනතාව අතර එකල ප්‍රචලිත වීමට පටන්ගත්තේ ඒ අවශ්‍යතාව හේතුකොටගෙන ය. එහි මුල වූයේ දැනුම ඇතුළු බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීම ය. එය පක්‍ෂයක් නොවූව ද දේශපාලන ව්‍යාපාරයක් විය. දහනවවැනි සියවස අගභාගයේ සිට ම මෙරට යටත්විජිතවිරෝධී දේශපාලනය සංස්කෘතික මුහුණුවරක් ගත්තේ ය. පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහාවාද අන්කිසිවක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය මුල් කරගෙන කෙරුණු යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. අවාසනාවකට ඕල්කට්තුමා පැමිණ ඒ ව්‍යාපාරය පීලි පන්නා සිංහලකම නැති ඊනියා උගත් බෞද්ධයන් පිරිසක් ඇති කළේ ය. කෙසේ වෙතත් ධර්මපාලතුමා හුදු බෞද්ධ නායකයකු නො වී ය. එතුමා සිංහල බෞද්ධ නායකයකු විය. ඒ අරුතින් එතුමා යටත්විජිත විරෝධී දේශපාලන නායකයකු විය. ගුණදාස අමරසේකර මහතා ධර්මපාලතුමා සහ මාක්ස්වාදය ගැන විටින් විට කියා ඇති පරස්පර කතා අමතක කළ ද ධර්මපාලතුමාගේ දේශපාලනය ඉස්මතු කිරීමෙන් ජාතික ව්‍යාපාරයට අගනා සේවයක් කර ඇත. ධර්මසේකර මහතාට හෝ ගුණසේකර මහතාට හෝ වඩා අමරසේකර මහතාට ජාතික ව්‍යාපාරයේ වත්මන් පරිච්ඡෙදයට දායක වීමට ඉඩ ලැබුණේ දේශපාලන පක්‍ෂයකට කොටු නොවීමත් ධර්මපාලතුමාගේ දේශපාලනය අවබෝධ කරගැනීමත් අනෙක් දෙදෙනාට වඩා උගත් සිංහල මධ්‍යම පංතියට (මාක්ස්වාදී අර්ථයකින් නොව) ආකර්ෂණය වීමත් නිසා ය. උගත් සිංහල මධ්‍යම පංතිය තවමත් ෆ්‍රොම් ටේ‍රවෝ ලිං වැනි බටහිර පඬුවන් මගින් බෞද්ධ සංස්කෘතිය විවරණය කරගැනීමට කැමති වෙති. එහෙත් ජාතික ව්‍යාපාරයේ ඒ පරිච්ඡෙදය අද වසා දමා ඇත. එයට හේතුව ජනතා මිතුරෝ සංවිධානය පිහිටුවීමත් සමග ජාතික ව්‍යාපාරය දේශපලනීකරණයට ලක් වීම ඇරඹීම ය. බටහිර අච්චුවේ දේශපාලන පක්‍ෂවලට හෝ එවැනි පක්‍ෂවල පෙරමුණු සංවිධානවලට ජාතික ව්‍යාපාරයට නායකත්වය දිය නො හැකි ය. එහෙත් ඒ අතර කිව යුත්තක් වෙයි. අද ජාතික ව්‍යාපාරයේ මේ ඉතිහාසය අමතක කර නව ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇතැම්හු උත්සාහ කරති. ඒ අයට විශාල දැනුම් සම්භාරයක් අසාමාන්‍ය ආකාරයෙන් ලැබෙයි. වෙදකම, ගොවිකම එහි දී ප්‍රධාන වුවත් ඔවුන්ට වෙනත් දැනුම් ද ඇත. දේශීය බීජවර්ග මෙරට ගොවි මහතුන් අතර තවමත් ඇත. එ ගැන දන්නා මතුගම සෙනවිරුවන් වැනි මහත්වරු අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ සිංහල ගොවිකමෙහි නිරත වී සිටිති. ඒ අය අමතක කර දෙවියන්ට වුවත් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගිය හැකි නො වේ.

මේ ඉතිහාසය සැකෙවින් නමුත් සඳහන් කිරීමට හේතු වූයේ පසුගිය සතියේ විවිධ විද්වත් භික්‍ෂූන් වහන්සේ හා උගතුන් සරත් ෆොන්සේකාට සමාව දීම ගැන කතාකිරීමත් මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ ප්‍රකාශයත්් ය. ඒ පිටුපස ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී රටවල් ය. මේ ප්‍රකාශවලට විරුද්ධ වීමට ගුණදාස අමරසේකර මහතා ද ඇතුළු මෙරට ජාතික ව්‍යාපාරය තම දේශපාලනය තුළ සිකරගෙන සිටින කිසිවකුට නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා අද උත්සාහ කරන්නේ බටහිර බලපෑම්වලින් රට ආරක්‍ෂාකරගෙන මූලික වශයෙන් බටහිර පන්නයේ සංවර්ධනයක් ජනතාවට හිමිකර දීමට ය. එහෙත් බටහීර පන්නයේ සංවර්ධනයක් ලැබෙන්නේ ලෝක බැංකුවේ ණය ඔස්සේ ය. අද විශ්වවි්‍යාලවල ද ප්‍රධාන කාර්යය වී ඇත්තේ ලෝක බැංකු ණය ලබාගැනීම සඳහා ඊනියා යෝජනා ඉදිරිපත් කිරීම ය. එයින් ජනතාව ණය වීම හැරෙන්නට කිවයුතු තරමේ ප්‍රයෝජනයක් ඇතැයි නො සිතමි. ඇමරිකානු තානාපති කාර්යාලයේ එතරම් උසස් නොවන නිලධාරියකු රජයේ වැදගත් ඇමතිවරයකු කැඳවා සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් එසේ ෙැනාකළහොත් තදින් ක්‍රියාකිරීමට සිදුවන බවත් දන්වා ඇත. ඉංගිරිසි පාලන සමයේ සිට ම මෙරටට පැමිණි හා පැමිණෙන ආණ්ඩුකාරවරුන්, තානාපති නිලධාරීන් ආදීන් ඉතා වැඩි පිරිසක් ඒ රටවල තුන්වැනි පංතියේ අය බව ඔවුන් සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සාහ කරන මෙරට ඉහළ පංතියේ යැයි කියන්නන් නොදන්නවා විය හැකි ය. බටහිරයන්ට අවශ්‍ය සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා යුද්ධ අපරාධ පිළිබඳ නඩුවක දී සාක්‍ෂිකාරයකු ලෙස යොදා ගැනීම ය. අපට මෙහි දී බලපාන ප්‍රධාන සාධකය එය ය. ඒ වැළැක්විය හැක්කේ ඔහු කර ඇති පාවාදීම් පිළිබඳ අධිකරණ තීන්දුවක් මගින් ඔහු සිරගත කිරීමෙන් පමණක් නම් ඔහුට සමාවක් දිය යුතු නො වේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාට සරත් ෆොන්සේකා බටහිරයන්ට විරුද්ධව යොදාගත හැකි නම් ෆොන්සේකාගෙන් රටට සේවයක් ලබාගත හැකි නම් ඔහු නිදහස් කිරීමේ වරදක් නැත. එහෙත් ඒ තීරණය තුට්ටු දෙකේ බටහිර තානාපති නිලධාරීන්ගේ තර්ජන නිසා නොගත යුතු ය. කාදිනල්තුමා රත්මලානේ ප්‍රේම් නිවාසයේ තෙරේසා ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සිවිල් ආයතනයක් හා පොලීසිය ක්‍රියාකර ඇති (එතුමාට අනුව) වැරදි ආකාරය නත්තලට පෙර නිවැරදි නොකළහොත් රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත. එතුමාට අනුව උසාවියට ඉදිරිපත් කර ඇති ප්‍රශ්නයක් සම්බන්ධව වෙනත් තැන්වල කතාකිරීම නුසුදුසු වුවත් (කාදිනල්තුමා ද දන්නා මේ කරුණ කැලණිය සරසවියේ ඇතැම් ඇදුරෝ නො දනිති.) බටහිරින් ප්‍රශ්න කරන නිසා එලෙස ප්‍රකාශ කිරීමට සිදු වී ඇත. මෙහි දී ද එක් පැත්තකින් බටහිර යම් බලපෑමක් නිසා කාදිනල්තුමා ඒ ප්‍රකාශය කර ඇති බව පැහැදිලි ය. අනෙක් අතට උසාවිය හමුවේ ඇති ප්‍රශ්නයකට තීන්දුව කාදිනල්තුමා ම දී එතුමාගේ තීන්දුව ක්‍රියාත්මක කරන තුරු රාජ්‍ය උත්සව වර්ජනය කරන බව ද කියයි. මෙය කාදිනල්තුමා අගයන බටහිර නීතියට වුවත් එකඟ නො වේ. කාදිනල්තුමාට ඒ බව කියා දීමට අද දේශපාලන පක්‍ෂවල සිරවී ඇති ජාතික ව්‍යාපාරයට නොහැකි වී ඇත.