දොස්තර ඒකාධිකාරය 3
දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න
ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව
දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා
සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය
අදවත් හෙටවත් බිඳින්න බැහැ. බටහිර ආධිපත්‍යය එතරම් ම බලවත්. එහෙත් කලක් ගත වූ විට
මේ ආධිපත්‍යය බිඳ වැටෙවි. එහි දී දොස්තර ඒකාධිකාරයත් බිඳ වැටේවි. එහෙත් ඒ සඳහා තව
කල් තියෙනවා.
මා කලින් දිනෙක සඳහන් කළා බටහිර රටවල මොළය බද්ධ කිරීමේ පර්යේෂණ කෙරෙන
බව. ඔවුන් සතුන් සම්බන්ධයෙන් දැනටමත් පර්යේෂණ කර තියෙනවා. එහෙත් ම ඇතැමුන් එයට
විරුද්ධයි. මෙය බෙල්ල කපන වැඩක්. කෙසේ වෙතත් යම් දිනෙක මොළය බද්ධ කිරීම සාර්ථක ව
කෙරුණොත් එදාට තේරෙවි මනස යනු මොළයේ ප්‍රතිඵලයක් නොවන බව. එදාට මනස තේරුම් ගැනීමට
හුදු ද්‍රව්‍යවාදී ප්‍රවාදවලින් බැර වේවි. එදාට මනස තේරුම් ගැනීමට කියමින් මොන
පට්ටපල් බොරුවක් ගොතාවි දැයි කියන්න බැහැ.
අපට බටහිර වෙදකම ගැන ආඩම්බර වීමට ඉගැන්වෙනවා. බටහිර වෙදකම හරියට මෙරට
දොස්තරලාගේ නිර්මාණයක් වගේ. මෙරට දොස්තරලාත් මෙරට අනෙක් ඊනියා උගතුන් වගේ ම තවත්
අනුකාරකයන් පිරිසක් පමණයි. අපට ඉන්නවා හොඳ අගමැති කෙනෙක්. ඔහු අගමැති කර ගැනීමෙන්
ම අපේ දීිකම හෙළි වෙනවා. ඔහු එකල මෙරටට පෘතුගීසීන් පැමිණීම අනුස්මරණය කරන්න
සූදානම් වූවා. එහෙත් වාසනාවකට 2005ට
කලින් ඔහු අගමැති කමෙන් ඉවත් කෙරුණා. දැනටමත් ඔහු මෙවර අගමැති කමෙන් ඉවත් කිරීම
මහින්ද මෛත්‍රී ගැටුම නිසා කල්ගත වුණා හොඳට ම වැඩියි.
පසුගියදා ඔහු රෝම ලන්දේසි නීතිය මෙරට ක්‍රියාත්මක වීම ගැන ආඩම්බරයෙන්
කතා කරලා තිබුණා. ඔහු කියා තිබුණා බටහිර නීතියක් ආසියාවේ ක්‍රියාත්මක කළ ප්‍රථම රට
ලංකාව කියා. එහි ආඩම්බර වන්න දෙයක් නැහැ. එයින් පෙන්නුම් කරන්නේ අපේ දීනකමයි. රෝම
ලන්දේසි නීතිය දැන් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ. මේ දෙරටේ ම
ලන්දේසින් ගෙන ආ වෙල්ලාල කෘෂිකර්ම කම්කරුවන් ඉන්න බව විග්නේස්වරන් ඇතුළු
වෙල්ලාලයන් අමතක කරනවා. අප බටහිර නීතිය බටහිර වෙදකම ගැන මෙන් ම බටහිර තාක්‍ෂණය,
බටහිර ප්‍රවාද පොදුවේ බටහිර දැනුම ගැන ආඩම්බර
වෙනවා. හරියට ඒවා අපේ වගේ.
කවුදෝ පඬි පෝාතකයකු, දොස්තර
කෙනකු විය හැකියි, ලියා තිබුණා බටහිර විද්‍යාව ගැන මා
කියන දේ පිළිගත්තත් දොස්තරලා ගැන මා පශ්චාත්නූතනවාදියකු මෙන් වචන පමණක් පාවිච්චි
කරන්නකු බව. ඔහු පශ්චාත්නූතනවාදය ගැන දන්නවා ද කියන්න බැහැ. මෙරට
පශ්චාත්නූතනවාදීන් ද මෙරට ම උගතුන්. ඒ කියන්නෙ අනුකාරකයන්. ඔවුන් තමන්ට නොතේරෙන දේ
කිව්වා. දැන් කියන්නේ නැහැ. ඒ දැන් මෙරට පශ්චාත්නූතනවාදීන් නැති නිසා. ඔවුන්
පශ්චාත්තාප වෙනවා ඇති. එහෙමත් නැත්නම් පාරආඛ්‍යානයක් (මෙටා නැරේටිව්- අමරසේකරට
මෙගා නැරේටිව්) සොයා ගෙන ඇති.
මා දොස්තරලා ගැන කියන දේ අර පාරආඛ්‍යානය වගේ යොදා ගන්මින් කරන්නක් නො
වෙයි. මෙරට දොස්තර ඒකාධිකරයක් ඇති බව තේරුම් ගන්න බැරි නම් වෙදමහතුන්ගෙන් අහන්න ඕන
නැහැ. හෙදියන්ගෙන් අහන්න. දැන් හෙදියන්ට වෙන ම සභාවක් තියෙනවාලු. එහෙම ඇති. ඒත් ඒ
ගැන කියා ඇති වෛද්‍ය ආඥාපනතේ සංශෝධන ඉල්ලුවා ම එක මහාචාර්ය දොස්තර කෙනකු කියා එවා
තිබුණේ එය හෙදියකගෙන් අසා දැන ගන්න කියා. දොස්තරලාගේ උද්ධච්ඡභාවය එහෙමයි.
විශ්වවිද්‍යාල හෙද පාඨමාලාව අවුරුදු හතරක පාඨමාලාවක් කිරීමට විරුද්ධවන්නේ කවුද.
සමසෞඛ්‍ය පාඨමාලාවල කාලය පිළිබඳ ප්‍රශ්න ඇති කර ගත්තේ කව ද? මෙරට දොස්තරලා තම අධිකාරය රැක ගැනීම සඳහා
වෙදමහතුනට නොව තම බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ම වෙනත් අයට අකුල් හෙලනවා. මා දන්නා
විධියට එංගලන්තයේ හෙදියකට වැඩිදුර අධ්‍යාපනයකින් පසු වෛද්‍යවරියක වෙන්න පුළුවන්.
මෙරට දොස්තරලා හෙද පාඨමාලාවේ කාලය දික්කිරීම පවා තම ඒකාධිකාරයට පහරක් ලෙස සලකනවා.
දැනට වසර ති පහකට පමණ පෙර විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි හීනමාන හා
ඒකාධිකාර ප්‍රශ්නයක් ඇති වුණා. එකල මා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්
මෙන් ම කොළඹ විශ්වවිද්‍යාලයිය සනාපන සභාවේ සාමාජිකයකු ද වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට
අනුබද්ධිත ආයතනයක් ලෙසයි රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය පවත්වාගෙන ගියේ. එහි
ආචාර්යවරුන් වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබුණා. එහෙත් එම වෘත්තීය සමිතිය
ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික සමිතියක් බවට පත් කර ගැනීමට සමිති සම්මේලනයේ බොහෝ
දෙනා කැමති වුණේ නැහැ. එයට හේතුව අන් කවරක්වත් නොව දේශීය වෛද්‍ය ආයතනය එකල බටහිර
දැනුම් පද්ධතිය පසුපස නො යෑම. එහෙත් හේතු ලෙස ඉදිරිපත් කෙළේ අද මෙන් ම ඊනියා ප්‍රමිතිය
ආදී ප්‍රශ්න. මා එකහෙළාම කියා සිටියා දේශීය වෛද්‍ය ආචාර්ය සමිතියත් සමිති
සම්මේලනයේ සාමාජිකයකු විය යුතු බව. අවසානයේ දී ඔවුන්ට ආචාර්ය සමිති සම්මේලනයේ
සාමාජිකත්වය හිමි වුණා. සෞන්දර්ය ආයතනය සම්බන්ධයෙන් ද එවැනි ප්‍රශ්න ඇති වුණා. එයට
පසු කලෙක මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු වී සිටිය දී යාපනය
විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ආයතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගුණා. මා ප්‍රතිපාදන
කොමිසමේ දේශීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ සභාපති වුණා. මා තව දෙදෙනකු සමග
තකහනියක් යාපනයට ගොස් එහි සිද්ධ වෛද්‍ය ආයතනය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කළා ඒ ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ
ස්වාධීන පීඨයක් බවට පත් කළ යුතු ය කියා. ප්‍රතිපාදන කොමිසම ඒ නිර්දේශය පිළිගෙන
සිද්ධ වෛද්‍ය ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් කළා. එමෙන් ම නැගෙනහිර
විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ පිහිටි යුනානි අධ්‍යාපන ඒකකය අධ්‍යයන අංශයක්
බවට පත් කිරීමට මා තවත් අයකු සමග ත්‍රිකුණාමලයට ගොස් වාර්තාවක් ඉදිරිපත් කළා.
එහෙත් මෛත්‍රිපාල ජනාධිපති වීමෙන් පසු තවදුරටත් ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස
කටයතු කිරීම නින්දාවක් ලෙස සලකා මා කොමිසමෙන් ඉල්ලා අස්වුවා, ත්‍රිකුණාමල නිර්දේශයට කුමක් විණි දැයි මා
දන්නේ නැහැ. මේ කරුණු මා සඳහන් කරන්නේ
ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍ය ක්‍රම ඉගැන්වීමට මෙරට ඇති බාධා ගෙනහැර දැක්වීමටයි.
සිංහල වෙදකමට ආණ්ඩුව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අද අප ආයුර්වේදය සිංහල වෙදකම
ලෙස සැලකීමට පුරුදු වෙලා. (මතු සම්බන්ධයි)
_______________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-18
2017-12-18