Main Logo

Tuesday 12 December 2017

විග්නේස්වරන්ගේ නිරුක්තිය

විග්නේස්වරන්ගේ නිරුක්තිය


උතුරු පළාත් මහා ඇමති විග්නේස්වරන් ලංකාවේ නියම නම ඊළාම් කියා තිබෙනවා. දේවානම්පිය තිස්ස දෙමළ රජකු කියාත් තිබෙනවා. මුටසීව රජුගේ සිව කෑල්ලත් ඇදගෙන. නන්දිකඩාල් ජාතිකවාදීන් (නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජාතිකවාදීන් වූ අය) කලබල වෙලා. ඔවුන් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනවා. ඉතිහාසය ලිවීම ගැන මාක්ස්වාදී ස්ථාවරවල ඉඳන් කතා කරනවා. ඊනියා උපරිව්‍යුහ ගැන කියවනවා. අද ඉන්න පුරාවිද්‍යාඥයන් පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් ක්‍රියා කරන්නේ කම්කරු පංතිය මත හා සමාජවාදය මත පදනම් වූ ආර්ථික පදනම් වූ උපරිව්‍යුහයක ද? ජාතිකත්වය ගැනත් කතා කරන්නේ පංති පදනමක ඉඳන් ද?

විග්නේස්වරන් කියන්නේ නන්දිකඩාල් කතාවෙන් පසු දෙමළ ජාතිවාදියකු වූ අයෙක්. නන්දිකඩාල් ජාතිකවාදීන් මෙන් ම නන්දිකඩාල් දෙමළ ජාතිවාදීන් ද ඉන්නවා. ඊළාම් ගැන විවිධ අය විවිධ කතා කියනවා. මේ අය ලිපි ලියනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. පුවත්පත් කතුවරුන් වෙබ් අඩවි සංස්කාරකවරුන් ඒ කතාවලට විවිධ මාතෘකා ලබා දෙනවා. ඇතැමුනට මේ මාතෘකා නිසා ගූගල්ගෙන් මුදල් ද ලැබෙනවා.

නන්දිකඩාල් පරපුර හිතන්නේ ඉතිහාසය පටන් ගන්නේ ඔවුන්ගෙන් කියා. ලංකාවේ ප්‍රථම ජාතිකවාදීන් තමන් කියා ඔවුන් හිතනවා. තමන්ට පෙර කිසිම දෙයක් කර නැති වඳ පරපුරක් සිටි බවයි ඔවුන් සිතන්නේ. එක් අයකු ලිපියක් ලියා තිබුණා උප්සලා විශ්වවිද්‍යාලයේ පීටර් ෂෝක් නම්  මහාචාර්යවරයා ඊළාම් කතාව ශාස්ත්‍රීය වශයෙන් අනාථ කර තිබෙනවා කියා. ඔහු පීටර් ෂෝක් ගැන කිසිම දෙයක් නොදන්නා පාටයි. පීටර් ෂෝක් කියන්නේ දෙමළ ජාතිවාදයට අනුග්‍රහ දැක් වූ අයෙක්. ඔහු ලිව්වේ ඊළම යනු සිංහල යන්නෙහි දෙමළ ස්වරූපය නොවන බව කීමට. ඔහු ඊළම යන්නට රා මදින තේරුමක් දීමට උත්සාහ කළා. මා කිසිම දෙයක් කර නැති වුවත් ඔහු මට විරුද්ධව නමින් ම ලියා තියෙනවා!

නන්දිකඩාල් පරපුරට අනුව අප කිසි දෙයක් කර නැහැ. ෂෝක් පමණක් නොව වෙනත් දෙමළ ජාතිවාදීන් සමග පැවති වාද විවාද ගැන  ඔවුන් දන්නේ නැහැ. නන්දිකඩාල් පරපුරට අනුව අප කිසිවක් නොකළ මැන්ටල්. මේ ඇතැමුන් උපරිව්‍යුහ ගැන දෙමළ ජාතිවාදය ගැන පමණක් නොව සාපේක්‍ෂතාව ගැන ග්‍රහවස්තු ගමන් කරන්නේය කියන ඉලිප්සාකාර පථ ගැන ග්‍රහයන්ගේ වක්‍රවීම් ගැන අපට උගන්වනවා. ඔවුන් අපට විද්‍යුත් තැපෑලෙන් ඒ බව කියා දෙනවා. අපට අප ගැන ම කණගාටුවක් ඇති වෙනවා අප කිසිවක් නොකිරීම ගැන. අවුරුදු හැත්තෑවක් පමණ කාලය නාස්ති කිරීම ගැන. දැන් කරන්න දෙයක් නැහැ. තව වැඩි කලක් ජීවත් වන්නේ නැහැ.

අපට දේවානම්පිය තිස්ස ගැන කතා කිරීමට කසිකබල් මාක්ස්වාදී උපරිව්‍යුහ සංකල්පය යොදා ගන්න ඕන නැහැ. මහාවිහාරික හාමුදුරුවරු වැඩවසම් ආර්ථිකයක උපරිව්‍යුහය ද? මේ ඇතැමුන් රටේ ඊනියා ප්‍රාග් ඓතිහාසික කතා ගැන කියන්නේත් බටහිර නව ශිලායුගය වැනි සංකල්ප යොදා ගෙන. ප්‍රාග් ඓතිහාසික යන්නත් බටහිර සංකල්පයක්. මාක්ස් ද ඇතුළු බටහිරයන් හිතන්නේ මුළු ලෝකය ම යුරෝපය අනුව විකාශය වූ බව. ඔවුන්ගේ යුරෝපීය කේන්ද්‍රවාදී සංකල්ප අප මත ද පටවනවා. මේ සංස්කෘතික ආධිපත්‍යයේ කොටසක් පමණයි.

දේවානම්පිය කියන වචනවල දෙමළ සම්භවයක් නැහැ. මේ වචනවලට බොරු නිරුක්ති දෙන්න පුළුවන්. එය ඩේරියස් රජු සමගත් සම්බන්ධ නැහැ. ඒ මෞර්ය අභිධානයක්. දේවානම්පිය තිස්ස රජු ඒ අභිධානය ලබා ගැනීම ගැන නම් මගේ කණගාටුවක් තියෙනවා. සසෙක්ස් කියන වචනයට සිංහල නිරුක්ති දීලත්  තියෙනවා. ආර්ථික විද්‍යා පර්යේෂණ ඒකකයේ බන්දුල ගුනවර්ධනගෙන් අහන්න. විග්නේස්වරන් කියන නමට ඉංගිරිසි නිරුක්ති දෙන්න බැරි ද? විග් (විනිසුරුවරුන් කතානායක වැනි පුද්ගලයන් පළඳින කොණ්ඩය) නේස් (විරුද්ධ අය) වොරන් (අධික ජනගහනයක් ඇති පෙදෙසක්) යන වචන එකතු කළහොත් විග්නේස්වරන් යනු අධික ජනගහණයක් ඇති පෙදෙසක (කොළඹ වැනි)  බොරු කොණ්ඩ පැළඳීමට විරුද්ධ අයකු ලෙස කියන්න පුළුවන් ද? විග්නේස්වරන් කලක් විනිසුරුවකු වූ බව ද අමතක නො කරන්න.

තිස්සලා අදත් මගේ පරම්පරාවේ සිංහලයන් අතර ඉන්නවා. වැදි ජනයා අතර තිසාහාමිලාත් හිටියා. අපට තිසා වැවකුත් තියෙනවා. වැවේ දෙමළ නම මොකක් ද? කුලම් ද? තමිල්නාඩුවේ කුලම් තියෙන්නේ කොහේ දදැන් නම් තියන විධිය අනුව අනාගතයේ තිස්සලා නැති වෙන්න පුළුවන්. තිෂ්‍යම්ලා (තීෂම්ලා) දෙමළ ජනයා අතර ඉන්නවා ද? හිටියා දනකත් ඇති කෙළේ සිංහලයන්. නකත අනුව නම් තියන්නෙත් සිංහලයන්. තීෂම්ගේ දෙමළ නිරුක්තිය කුමක් ද?

නන්දිකඩාල් පරපුර දන්නෙ නැති වුණාට, ඔවුන් ඒ ගැන සොයා නොබැලුවාට, ඊළාම් නිරුක්තිය ගැන මෙයට පෙර වාද විවාද කරගෙන තියෙනවා. එහෙත් මේ කිසිම වාදයකින් කිසිම පැත්තක් අනෙක් පැත්තේ අදහස් පිළිගන්නේ නැහැ. රූපවාහිනී විවාදවලින් කී දෙනකු අනෙක් පැත්තේ අදහස් පිළිගෙන තියෙනවා ද? මේ විවාදත් එසේමයි. මුටසිවගේ සිව ගැනත් කතා කර තියෙනවා. බුදුහාමුදුරුවන්ට සිවංකර කියනවා. බුදුහාමුදුරවො හින්දු ද? එකල හින්දු ආගමක් තිබුණෙ නැහැ. එහෙම නම් බුදුහාමුුරුවො වෛදික ද? රෝහල්වලට කී සොත්ථිසාලා යන්නත් දෙමළ ජාතිවාදීන් දෙමළ කරන්න හැදුවා. 

විග්නේස්වරන් කියනවා වංග කාලිංග පෙදෙස්වල සිංහලයන් මෙරටට පැමිණි බවට කතා නැහැ කියලා. ඒක ඇත්ත සිංහලයන් ඒ පෙදෙස්වල හිටියෙ නැහැ. එහෙත් ඒ පෙදෙස්වල ජනයාගේ ජාන හා සිංහලයන්ගේ ජාන අතර සියයට විසිපහක පමණ සමානාතවක් තියෙන බව කියනවා. ඒ ප්‍රදේශයේ සිංහබාහු කෙනකු හිටි බවට පුරාවිද්‍යාත්මක සාධක තියෙන බව ධර්මසිරි වීරසිංහ නමැත්තා කියනවා. එපමණක් නොව ගුජරාටයේත් සිංහයන් ගැනත් කතන්දර තියෙනවා. විග්නේස්වරන් විතරක් නොවෙයි නන්දිකඩාල් ජාතිකවාදීනුත් ඒ ගැන දන්නේ නැහැ. මහාවංසයේ විජය කතාව හොඳින් කියෙව්වෙත් තේරේවි ලංකාවට වංග කාලිංග  පෙදෙස්වලින් මෙන් ම ගුජරාට ප්‍රදේශයනුත් මිනිසුන් සංක්‍රමණය වී ඇති බව. විජයගේ නැව ලංකාවට එන්නේ මේ සියලු පෙදෙස් වටා ගොස්!

මේ පැමිණි සාංක්‍රමණිකයන් මෙරට විසූ යක්‍ෂ නාග දේව රාක්‍ෂස ආදී ජනතාව සමග මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩ නැගුවා. අපට අමුතුවෙන් ජාතියක් ගොඩ නගන්න අවශ්‍යතාවක් නැහැ. සිංහලයන්ගේ සම්භවය පිළිබඳ දෙමළ ජාතිවාදී ඉතිහාසඥයකු  වූ ලෙස්ලි ගුණවර්ධන හා කේ එන් ඕ ධර්මදාස අතර විවාදයක් තිබුණා. නන්දිකඩාල් පරපුර මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන් විග්නේස්වරන්ගේ ප්‍රකාශයෙන් කැළඹිලා. ඔවුන් හිතන්නේ අප කිසිවක් කර නැති බවයි. මේ ලිපි ලිවීමෙන් සතපහක වැඩක් නොවන බව දැන දැන මා ලිපි ලියන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්.          


___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-12