Main Logo

Thursday, 14 December 2017

වෛද්‍ය ඒකාධිකාරය

වෛද්‍ය ඒකාධිකාරය


වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් වෙනස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. එහෙත් එය තවමත් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වී නැහැ. රාජිත සේනාරත්න ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යන බවක් කියැවෙනවා. සුපුරුදු පරිදි ප්‍රශ්නය කුමක් ද යන්න නිරවුල් ව පැහැදිලි කර දී නොමැති නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනමාධ්‍ය නිවේදකයන් හා ඊනියා විශ්ලේෂකයන් තම තමන්ට අවශ්‍ය දේ තම තම දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජනතාවට කියනවා. මෙහි දී ඉතා පැහැදිලිව දොස්තර ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑමට ඇති වුවමනාවත් පැහැදිලි වෙනවා.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට මිස සෞඛ්‍ය අමාත්‍යවරයාට නො වෙයි. පීඨාධිපතිවරයකු මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්වරයකු හා සභාපතිවරයකු ලෙස මගේ අත්දැකීම් අනුව එහි දී ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරනවා. මා ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්/සභාපති ලෙස සිටියේ නම් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට ප්‍රතිපාදන කොමිසමට හා විශ්විද්‍යාලවලට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරනවා. සෞඛ්‍ය ඇමතිට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බැහැ. සෞඛ්‍ය ඇමතිට වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතුවලට මැදිහත් වෙන්න පුළුවන් නම් වෙනත් ඇමතිවරුන්ටත් ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ පාඨමාලාවලට සිසුන් ඇතුළත් කිරීමේදිත් මැදිහත් වෙන්න පුළුවන් ද? මෙහි කෙළවර කුමක් ද? ඊනියා විචාරශීලී විශ්ලේෂණාත්මක ප්‍රවෘත්ති කතා ඉදිරිපත් කරන පඬි ජනමාධ්‍යවේදීන් විශ්වවිද්‍යාල පනත කියවා තිබේ ද? වෛද්‍ය සභාවටවත් (මෙඩිකල් කවුන්සිල්) විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී බලතල නැහැ.

වෛද්‍ය අධ්‍යාපනය සහ වෙනත් අධ්‍යාපන අතර මූලික වෙනසක් නැහැ. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය අපේ ජීචිතවලට බලපාන ආකාරයට ඉංජිනේරු අධ්‍යාපනය පමණක් නොව ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයත් බලපානවා. පරිපාලන නිලධාරීන් ගුරුවරුන් අපේ ජීවිතවලට බලපාන්නේ නැත් ද? විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල විශ්වවිද්‍යාලවලට හා අවසානයේ දී ප්‍රතිපාදන කොමිසමට හිමිවිය යුතුයි. සංකල්ප හා ප්‍රවාදවල සංකීර්ණභාවය, ගැඹුර, වියුක්තය ආදිය වඩාත් ම වැඩි වෛද්‍ය අධ්‍යාපනයේ කියා හිතන්න එපා.

අද උසස් අධ්‍යාපනය රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වී නැහැ. ඒ ඒ පෞද්ගලික ආයතනවලට සිසුන් ඇතුළත් කිරීමේ දී ප්‍රතිපාදන කොමිසම මැදිහත් වන්නේ නැහැ.  එහෙත් ප්‍රතිපාදන කොමිසමට ඒ ඒ උපාධි (පිටරට උපාධිත් ඇතුළු) පිළිගැනීමේ දී බලතල හිමි වී තිබෙනවා. වෛද්‍ය සභාවටත් ඒ බලතල නැහැ. වෛද්‍ය සභාවට වෛද්‍ය ආඥාපනතින් හිමි වී තිබෙන්නේ වෛද්‍යවරුන් ලෙස තාවකාලික හා ස්ථිර ලියාපදිංචිය දීමේ බලතල. එහි දී ඔවුනට පිටරට උපාධිධාරීන් පිළිබඳවත් තීරණ ගැනීමට සිදුවෙනවා.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ව පමණක් පෞද්ගලික ආයතනවලට ඇතුළත් වීමේ අවම සුදුසුකම් තිබීමට විශේෂ හේතුවක් නැහැ. කොහොමටත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ දී  ඒ ඒ විෂයවලින් අවම සුදුසකම් තිබිය යුතු යැයි මා නම් විශ්වාස කරන්නේ නැහැ. හැත්තෑවේ දශකයේ පේරාදෙණියේ දී අප ශාස්ත්‍ර පීඨයේ සාමාන්‍ය හා එවකට තිබූ ඒකාබද්ධ (කම්බයින්ඩ්) උපාධි සඳහා ගණිතය ඉගැන්වුවා. ඒකාබද්ධ උපාධියට තිබුණේ විෂය දෙකක් පමණයි. ඉන් එකක් ගණිතය වූවා. මේ උපාධි සඳහා ඉගෙන ගත් සිසුන් සාමාන්‍ය පෙළෙන් පසු ගණිතය හදාරා තිබූණේ නැහැ. එහෙත් ඔවුන්ගෙන් සමහරු පංති සාමාර්ථ සහිත ව උපාධි ලබා ගත්තා. සමහරු පරිපාලන තනතුරුවලට පත් වූවා. උසස් පෙළට විද්‍යා විෂය නොහදාරා වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. උසස් පෙළ රසායන විද්‍යාව අසමත් වී රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. ගණිතය උගන්වන ඉගැන්වූ ආචාර්යවරු බොහෝ දෙනකු උසස් පෙළ ගණිත විෂයවලින් විශිෂ්ට සාමාර්ථ ලැබූ අය නො වෙයි. උසස් පෙළත් පහේ ශිෂ්‍යත්වය මෙන් තවත් විභාගයක් පමණයි. උසස් පෙළ ලකුණු කිහිපයක් වැඩියෙන් ගත් පමණින් යමකු බුද්ධිමතකු වන්නේ නැහැ.

කෙසේ වුවත් සෞඛ්‍ය ඇමති අවම සුදුසුකම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ නම් එය පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට පමණක් විය යුතු යැයි මා සිතනවා (එවැන්නක් අවශ්‍ය යැයි මා සිතන්නේ නැහැ). රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල ප්‍රතිපාදන කොමිසමට පමණක් හිමි විය යුතු යැයි විශ්වවිද්‍යාල නිදහස (එවැන්නක් අධ්‍යාපන පාඨමාලා සකස් කිරීමේ දී නැති වුවත් - එය තීරණය වන්නේ බටහිර රටවලින්) අගයන අයකු ලෙස, ඒ සඳහා සටන් කළ අයකු ලෙස මා තරයේ විශ්වාස කරනවා.

වෛද්‍ය සභාව මෙතෙක් කල් අවම සුදුසුකම් තීරණය කර නැත්තේ එය ඔවුන්ගේ බල ප්‍රදේශය නොවන නීිසා. ඔවුන්ට වෛද්‍යවරුන් ලියා පදිංචි කිරීමේ දී වෙනත් ආකාරයකට උපාධියේ තත්වය මනින්න පුළුවන්. පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ ඇතුළත් වීමේ අවම සුදුසුකම් තීරණය කිරීමට වෛද්‍ය සභාවට හෝ සෞඛ්‍ය ඇමතිවරයාට හෝ පුළුවන් ද? මෙහි දී කිවයුතු කරුණක් තියෙනවා. අසූවේ දශකයේ අග හා අනූවේ දශකයේ මුල අප උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූයේ ඔවුන් තම සිසුනට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා දීමට සූදානම් වූ නිසා. එකල ආචාරය සමිති සම්මේලනයේ ලේකම්/සභපති වූයේ මා බව රාජිතත් වෛද්‍ය සභාවේ සභාපති කොල්වින් ගුණරත්නත් දන්නවා. එකල රාජීිත දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්.  කොල්වින් කොළඹ හා රුහුණු විශ්වවිද්‍යාලවල භෞතවේදය ඉගැන්වුවා. ඔහු රුහුණේ භෞතවේදය පිළිබඳ මහාචාර්ය වූවා. අප ලංකාවේ විවිධ පළාත්වල උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ ව රැස්වීම් පැවැත්වුවා. ඒ පිළිබඳ ව දැන් විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ දන්නවා. ඒ රැස්වීම් සංවිධානය කෙරුණේ එකල කොළඹ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති වූ ඔහු අතින්. 

පසුගිය වසරේ රජයේ විශ්වවිි්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම සුදූුසුකම වූයේ ඒ ඒ අදාළ විෂයවලින් එස් සාමාර්ථ තුනක් පමණයි.  වෛද්‍ය පීඨවලටත් එසේමයි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගය නිසා වෛද්‍ය පීඨවල එය බී තුනක් වූවා. එය නිර්ණායකයක් නො වෙයි. හුදෙක් තරගය මත තීරණය වූවක්. රජයේ වෛද්‍ය පීඨ තව කිහිපයක් ඇරඹුවහොත් මෙය බී තුනට වඩා අඩුවේවි. අවම සුදුසුකම යනු එකක් බවත් තරගය මත තීරණය වන සුදූසුකම තව එකක් බවත් ඇතැම් දොස්තරලාට තේරෙන්නේ නැහැ. ඔවුන ඒ දෙක පටළවා ගෙන ජනතාව මුළා කරනවා. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ වරදක් කියා මා කියන්නේ නැහැ. ඉතා පැහැදිලිව ඇතැම් දොස්තරලා වෛද්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා. ඔවුන් විවිධ කරුණු ගෙන පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වෙනවා. වෛද්‍යවරුන් වැඩියෙන් බිහිවීම ඔවුන්ගේ ඒකාධිකාරයට තර්ජනයක්. ඇතැම් රෝගීන්ටත් මේ ක්‍රමය යටතේ ඊනියා තොරාගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඇතැමුනට වෛද්‍යවරුන් වැඩිවන තරමට හොඳයි. එවිට තෝරාගැනීමට ඇති වෛද්‍යගහනයත් වැඩි වෙනවා. එහෙත් මේ සියල්ල තව අවුරුදු ගණනකින් නැතිවේවි. කෘත්‍රිම බුද්ධිය යටතේ කෘත්‍රිම වෛද්‍යවරු බිහිවේවි. දැනටත් ඉන්නෙ කෘත්‍රිම දොස්තරලා කියා කිසිවකු කීවොත් මා වාද කිරීමට යන්නේ නැහැ.   


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-14