වෛද්‍ය ඒකාධිකාරය 2
වෛද්‍ය ඒකාධිකාරය මැයෙන් මා ලියූ ලිපිය කෙසේ නමුත් දැක ඇති බටහිර
වෛද්‍යවරුන් කිහිප දෙනකුට ම කේන්ති ගිහිල්ලා. ඒ අයට තරමක දීර්ඝ පිළිතුරක් දිය
යුතුයි. ඒ ඔවුන්ට පමණක් නොව වෙනත් අයටත් දැන ගැනීම සඳහායි. අපි ඔවුන්ට දොස්තරලා
කියමු. වෛද්‍යවරයා යනු ගෞරවනීය පුද්ගලයෙක්. ඔවුන් මුදල් හඹා ගියේ නැහැ. එහෙත්
දොස්තරලා පොදුවේ ගත්තොත් මුදල් හඹා යනවා. නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් ගැන කතා කරන
දොස්තරලාත් පෞද්ගලික රෝහල්වල රෝගින්ගෙන් දහසින් මුදල් අය කරනවා. අද නිදහස් වෛද්‍ය
අධ්‍යාපනයේ ප්‍රධාන ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින්නාත් කුඩා ළමුන්ට බෙහෙත් නියම කර
මුදල් ගන්නවා. ඒ අතර තම දරුවන්ට දෙවියන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා.
මට ප්‍රතිචාර දැක් වූ දොස්තරලා ලිපියේ හරය තේරුම් ගෙන නැහැ. දොස්තරලා
මෙන් ම කොන්දොස්තරලාත් රියැදුරනුත් අපේ ජීවිතවලට බලපානවා. රියැදුරන් නිසා කී
දෙනකුගේ ජීවිත දිනපතා නැති වෙනවා ද? කොන්දොස්තරලාගෙන්
මගීන්ට කෙතරම් හිරිහැර සිදු වෙනවා ද?
හදිසි අවස්ථාවකට මුහුණ දෙන හොඳ
රියැදුරකුට ජීවිත කීයක් බේරා ගන්න පුළුවන් ද? මට ප්‍රතිචාර දැක් වූ එක් දොස්තර
කෙනකුට අනුව ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරීන් ද අපේ ජීවිතවලට බලපානවා යැයි කීම
විහිළුවක්. ඔහු ශාස්ත්‍ර පීඨ උපාධියට දක්වන්නේ එවැනි සැලකිල්ලක්. ඔහුට දර්ශනය විෂය
හැදෑරුවොත් කොපමණ ලකුණු සංඛ්‍යාවක් ගැනීමට පුළුවන් ද? ඔහුට පාසලේ දිගට ම උගන්වා ඇත්තේ විද්‍යා උපාධිධාරීන් ද දන්නේ නැහැ.
ඔහුගේ ජීවිතයට වෙනත් උපාධිධාරී හා උපාධිධාරී නොවන ගුරුවරුන් කෙතරම් දුරට බලපා ඇත්
දැයි මා දන්නේ නැහැ.
මෙරට පමණක් නොව බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇති වෙනත් රටවල ද
දොස්තරලාට වෙනත් අයට නැති සමාජ බලයක් තියෙනවා. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි
චින්තනයෙහි ම ප්‍රතිඵලයක්. බටහිරයන් සදාකාලික ව සැප විඳින්න බලාපොරොත්තු වෙනවා.
ස්වර්ග සංකල්පය පසුපස ඒ බලාපොරොත්තුව තියෙනවා. අවාසනාවකට අද සිංහල බෞද්ධයන් ද නිවන
ස්වර්ගයක් කර ගෙන. බෞද්ධයන්ගේ සුවය දුක නැති කිරීම මිස සැප විඳීම නො වෙයි. අප
නිවන් සැප ගැන හිතන්නේ සැප විඳීමක් යන අරුතෙන් නො වෙයි. විඳින්නට උපදින්න ඕන.
උපදින්නෙ නැතිව මොන විඳිල්ලක් ද? බටහිරයන්ගේ බලාපොරොත්තුව හැකි නම් නොමැරී
සිටීම.
නොමැරී ඉන්න බැරි නම් මැරි මැරී හරි හුඟක් කල් ජීවත්වීම. ඒ සඳහා වඩා
වැදගත් ම පුද්ගලයා දොස්තර. තාක්‍ෂණයෙන් සිදු වන්නේ බටහිරයන් සිතන විධියට ජීවිත
පහසු කිරීම. ඒ නිසා දොස්තර ළඟට වැදගත් වන්නේ තාක්‍ෂණ ශිල්පීන්. තාක්‍ෂණය නිසා දොස්තරලාට
අවයව කෑලි පාස්සන්න පුළුවන් වෙලා තියෙනවා. මේ නිව්ටෝනීය සුසමාදර්ශයෙන් ගලා එන්නක්.
මෝටර් රියකට අමතර කොටස් සවි කරන්නාක් මෙන් මිනිස් සිරුරටත් අමතර කොටස් සවි කරනවා.
මේ දිනවල මොළය බද්ධ කිරීමට ඇතැම් දොස්තරලා ඊනියා පර්යේෂණ කරනවා. මේ සියල්ල
පසුබිමෙහි ඇත්තේ සමස්තය යනු කොටස්වල එකතුවක් යන්නයි. සමස්තය සමස්තය ලෙස දැකීමට
ලංකාවේ බටහිර වෛද්‍යවරුන් ඉතා අතළොස්සක් පමණක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන
නම් මට පොඩි සතුටක් තියෙනවා.
නොමැරී ඉඳීම, බැරි නම් මැරි මැරී බොහෝ කල් ජීවත්
වීමේ වුවමනාව නිසා බටහිර ක්‍රමය අනුගමනය කරන රටවල දොස්තරලාට සමාජ ආධිපත්‍යයක්
තියෙනවා. ඒ ඒකාධිකාරයක් කිරීමත් සිදුවෙනවා. දොස්තරලා සංඛ්‍යාව හැකි තාක් අඩු කිරීම
ඒකාධිකාරයට අවශ්‍යයයි. බටහිර ක්‍රමය විකෘත කෙරී අනුකරණය කෙරෙන මෙරට එය තදින් ම
බලපානවා. කිසිම රටක නැති විධියට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට මෙරට විරෝධතාවක් ඇත්තේ
මේ ඒකාධිකාරය හා ව්‍යාජ සමාජවාදය නිසයි. වෙනත් ක්‍ෂෙත්‍රවල පෞද්ගලික අධ්‍යාපනයට
විරුද්ධ නොවී බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි පමණක් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වන්නේ
ඇයි.
එහි දී කියන්නේ අර ජීවිතයට බලපාන කතාව. ඒ අර මැරී මැරී හරි බොහෝ කල්
ජීවත් වීමට ඇති අශාව. අපට හොඳ ප්‍රමිතියක් ඇති දොස්තරලා වුවමනා ය කියා කියනවා. මට
නම් හිතෙන්නේ අපට වඩාත් වුවමනා කරන්නේ හොඳ ප්‍රමිතියක් ඇති රියැදුරන්, විශේෂයෙන් ම බස් රියැදුරන් කියලා. රෝග
වැළැක්වීමට සුදුසු ජීවන ක්‍රමයක්, පරිසරයක්
ආදියත් වැදගත්. බටහිරයන් කරන්නේ ප්‍රශ්න ඇති කර ඒවාට විසඳුම් සෙවීම. ප්‍රශ්න ඇති
නොකර සිටීම වඩා හොඳයි. ප්‍රමිතිය, කවුදෝ
කියා තිබුණු විධියට ක්වොලිටිය, ඇතැම් රජයේ වෛද්‍ය පීඨවලත් නැහැ. ඒ දවස්වල වගේ
එංගලන්තෙන් ප්‍රමිති බලන්න ආවොත් මේ පීඨවල ඉගෙන ගන්න අයට මොනව වෙයි ද? මේ බොරු තර්ක. ලාභ උපයන අධ්‍යාපන ආයතනවලටත්
ඇතැමුන් විරුද්ධයි. එහෙත් අද ලාභ උපයන උසස් අධ්‍යාපන ආයතන, ඔවුන් කියන විධියට උපාධි කඩ, අනෙක් හැම ක්‍ෂෙත්‍රයක ම තියෙනවා. ඒත් ඔවුන් ඒවාට විරුද්ධ නැහැ. එහි
අයිතිකරුවන් ලාභ ලබන්නෙ නැතුව ඇති.
ව්‍යාජ සමාජවාදයට මතවාදී ව බලයක් නැති වුවත් මෙරට සංස්කෘතික වශයෙන් එයට
බලයක් තියෙනවා. එය සමාජ අසාධාරණයකට විරුද්ධව ඇති එකක් නො වෙයි. එය ඊනියා සභ්‍යත්ව
රාජ්‍යයකින් ගලා එන්නක්වත් නො වෙයි. සභ්‍යත්ව රාජ්‍යය යන්න චීනයේ ඒකීය නොවන රාජ්‍යය
තේරුම් ගැනීමට බටහිරයන් තනාගත් සංකල්පයක් පමණයි. බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රාවකයන් අතර
රජවරුන් සිටුවරුන් විශාල සංඛ්‍යාවක් හිටියා. මෙරට ඇති ප්‍රශ්නය සංකීර්ණයි. එය පසු
දවසක සාකච්ඡා කළ යුතුයි. ඒ අතර තවත් ප්‍රශ්න තියෙනවා. විශ්වවිද්‍යාල පනත, වෛද්‍ය ආඥා පනත ආදිය ද මෙහි දී බලපානවා. එමෙන්
ම මෙරට වෛද්‍ය පීඨවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් එක් පැත්තකින් විශ්වවිද්‍යාල
ආචාර්යවරුන් ලෙස විශ්වවිද්‍යාල පනතින් බැඳී සිටින අතර දොස්තරලා ලෙස වෛද්‍ය සභාවට
බැඳී ඉන්නවා. ඒ ගැන මට කොළඹ විශ්වවිද්‍යාලයේ සිටිය දී හොඳ අත්දැකීමක් තියෙනවා. අපි
එයත් සාකච්ඡා කරමු. ඒ වගේ ම ඇතැමුූනට ප්‍රශ්නයක් වී ඇති මගේ හදවත් සැත්කම ගැනත්
කතා කරමු (මතු සම්බන්ධයි).
___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-15
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-15