Main Logo

Sunday 4 August 2013

තාවකාලික ඉන්දු ලංකා ගිවිසුම

පසුගිය ජූලි 22 වැනි දා ඩේලි මිරර් පුවත්පත සමග කළ සාකච්ඡාචක දී උතුරේ පළාත් සභා මැතිවරණයේ දී ඉන්දියාව වෙනුවෙන් දෙමළ ජාතික සංධානයෙන් මහඇමති ධුරාපේක්‍ෂක ලෙස තරග කරන විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබුණේ 80- 90 දශකවල ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ නමුත් 2009 දී ඉන්දියාවේ හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නොලබන්නට එතරම් ඉක්මණින් කොටින් පරාජය කළ නොහැකිව තිබූ බැවින් ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව කියමින් එකී ගිවිසුම අහෝසි වී ඇතැයි කීම වැරදි බව ය. මේ ප්‍රකාශයෙන් විග්නේෂ්වරන් කරුණු දෙකක් කියයි. එකක් නම් 80 -90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව ය. දෙවනුව ඉන්දියාව කොටින් පැරදවීමට ලංකාවට සහාය දීමෙන් ගිවිසුමේ තම කොටස ඉටුකර ඇති බව ය. මෙයින් පළමු කරුණ සම්බන්ධයෙන් අපේ ස්තුතිය විග්නේෂ්වරන්ට හිමිවිය යුතු ය. ඔහු 80-90 දශකවල ඉන්දියාව ගිවිසුමේ තම කොටස ඉටු නොකළ බව පිළිගනියි. එය වැදගත් පිළිගැනීමකි. එහෙත් ඔහුගේ දෙවැනි ප්‍රකාශය මුළුමනින් ම වැරදි ය. ඉන්දියාව හා බටහිරයන් 2009 දී කොටින් පැරදවීමට දුන් සහායක් නැත. බටහිරයෝ හා ඉන්දියාව මුල සිට ම කොටින් පුහුණු කිරීමෙන්, මුදල්, අවි ආයුධ හා වෙනත් උපකරණ ලබාදීමෙන් ලංකාණ්ඩුවට එරෙහිව කොටින් යොදාගත්හ. ඔවුන්ට නොකළහැකි වූයේ සෘජුව ම කොටින්ට සහාය වීමට හමුදා එවීම පමණ ය. බටහිරයෝ අවසානය දක්වා ම කොටි නායකයන් බේරා ගැනීමට උත්සාහ කළහ. ඇමරිකන් ගැත්තකු වූ බෑන් කි මූන්ගේ විශේෂ නියෝජිතවරයකු ලෙස පැමිණි නම්බියාර් ප්‍රභාකරන් ඇතුළු නායකයන් යැවීමට නැවක් ගෙන්වා ගැනීමට උත්සාහ කළේ ය බටහිරයන් ප්‍රභාකරන් ගලවා ගත්තේ නම් අදත් බෝම්බ පිපිරෙනු ඇත. එහෙත් අපේ රණවිරුවෝ ප්‍රභාකරන් නම්බියාර්ට භාර නොදී යමයාට භාරදුන්හ. එයට පළිගැනීමක් ලෙස බටහිරයෝ අදත් ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම්තුමාටත්, රණවිරුවන්ටත් ඊනියා මානව අයිතීන් කඩකිරීම් පිළිබඳ ව චෝදනා කරමින් ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා දංගෙඩියට යැවීමට බීබීසියේ චැනල් ෆෝ හෙවත් හතරවැනි නාලිකාව හා වෙනත් ක්‍රම ඔස්සේ උත්සාහ කරති. ආණ්ඩුව අස්ථායී කිරීමෙන් තොරව එය නොකළ හැකි බව දත් බටහිරයෝ  නොයෙකුත් ආකාරයේ වසන්ත ලංකාවේ ඇතිකිරීමට උත්සාහ කර  අද ලංකාව අරාජික කිරීමට වෑයම් කරති. අද තැන තැන ඇතිවන නායකත්වයක් නොමැති සේ පෙනෙන උද්ඝෝෂණ, නැගිටීම් ආදිය පසුපස බටහිරයෝ වෙති. නිලධාරීන්ගේ වැරදි ඇමතිවරුන් පිටින් යැවීමට ජනමාධ්‍ය ඔස්සේ බටහිරයන්ගේ ඒජන්තයෝ උත්සාහ කරති. එහි දී රතුපස්වල දී මෙන් මිනිස් ජීවිත බිලි දීමටත් ඒජන්තයෝ කටයුතු කරති. ජනතාවට ප්‍රශ්න නැතිවා නො වේ. එහෙත් එයට විසඳුම් දෙන ක්‍රම ඇත. මහාමාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීමෙන් ප්‍රශ්න විසඳිය හැකි නො වේ.  

ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නුදුරුව ප්‍රභාකරන් සමග බිඳුණු බව සැබෑ ය. එයට හේතුව වූයේ ප්‍රභාකරන් බටහිරට කීකරු වූ නමුත් ඉන්දියාවේ ආධිපත්‍යය පිලිගැනීමට අකමැති වීම ය. ඉන්දියාවට අවශ්‍ය බලය බෙදා, සන්ධීය රාජ්‍යයක් ඇතිකර, ඊළමක් පිහිටුවා, අවසානයේ දී ඊනියා දේශ සීමා අරගල ඔස්සේ හැකිනම් මුළු ලංකාව ම ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීම ය. එහෙත් ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ මුල දී ඉන්දියාවේ සහාය ලබාගත්ත ද ඉන්දීය ආධිපත්‍යයට යට නොවූ ඊළමක් සෘජුව ම ඇතිකිරීම ය. එසේ වුවත් ඉන්දියාව කොටින් පරාජය කිරීමට කිසි දිනෙක ලංකාවට සහාය නොදුන්නේ ය. ඉන්දියාව ප්‍රභාකරන්ට අකමැති වුවත් ඊළමට පක්‍ෂපාති ය. ඊළමට පක්‍ෂපාති ඉන්දියාවවත්, සම්බන්ධන්ලාගේ හා විග්නේෂ්වරන්ලාගේ දෙමළ ජාතික සංධානයවත් ප්‍රභාකරන් පැරදවීමට කිසි දා සහාය නොදිණි. විග්නේෂ්වරන්ට අවශ්‍ය මේ සියල්ල ජනතාවගෙන් වසං කිරීමට ය. ඒ අතර ඉන්දියාව 2009 දී කොටින් පැරදවීමට ලංකාවට සහාය දුන් බව පවසමින් ඔහු කියන්නේ ඉන්දු ලංකා ගිවිසුම 2009 දීත් වලංගු වූ බවත් ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඉන්දියාවට එසේ සහාය දීමට හැකි වූ බවත් ය. මෙය බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලටත් වඩා බොරුවකි. අද වකුගඩු රෝගයෙන් ජනතාව මියයන්නේ බටහිර විද්‍යාවේ, බටහිර සංඛ්‍යානයේ සහ වෙනත් බටහිර දැනුම්වල පට්ටපල් බොරු වෙනුවෙනි. විග්නේෂ්වරන්ලා මුළු මහත් ලංකාව මරාදැමීමට උත්සාහ ගන්නේ බටහිර සමාජයීය විද්‍යාවන්ගේ පට්ටම පට්ටපල් බොරු යොදා ගනිමිනි.


ඉන්දු ලංකා ගිවිසුම රටවල් දෙකක් අතර වූ ගිවිසුමක් ලෙස පිළිගත්තත් එය කච්චතිවු ගිවිසුම වැන්නක් නො වේ. ඉන්දියාවට කිසි දිනෙක ඉන්දු ලංකා ගිවිසුමට හිලවු තැබීමට කච්චතිවු ගිවිසුම යොදාගත නො හැකි ය. සියළු සංස්කාර අනිත්‍ය වූ ලෝකයක ඉන්දීය බමුණන්ට ඉන්දු ලංකා ගිවිසුම බ්‍රහ්මන් හා එකතුකර අනන්ත ආයු’ෂක් ලබාදිය නො හැකි ය. සියළු ගිවිසුම් තාවකාලික ය. එහෙත් කච්චතිවු ගිවිසුම වැනි ගිවිසුම් සුසමාදර්ශී වෙනසක් වන තුරු වලංගු ය. ඉන්දු ලංකා ගිවිසුම එවැන්නක් නො වේ. එය ඉන්දියාව තම කාර්යයන් ඉටු නොකිරීම නිසා ම 1987 අගෝස්තු මාසයෙන් පසුව අවලංගු විය. එසේ අවලංගු නොවිණි යැයි කිසිවකු තර්ක කළ ද, එය සුසමාදර්ශයක් (පැරඩයිමක්) අවසන්වන තුරුවත් පවතින ගිවිසුමක් නො වේ. එය සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකර ගත් ගිවිසුමකි. එය ඇතිකර ගනු ලැබුයේ එයට අත්සන් තැබූ අයට අනුව 1987 ජූලි මස වන විට ලංකාවේ තිබූ කොටි ත්‍රස්තවාදය හේතුකොට ගෙන ය. එහි පූර්විකාවේ ඇති අසත්‍ය කරුණු අපි නො පිළිගනිමු. රජිව් ගාන්ධිට අවශ්‍ය වූයේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීමට නොව ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ලංකාව මෙහෙයවීමට ය. කෙසේ වෙතත් ගිවිසුම අනුව ප්‍රධාන කාර්යය වූයේ ලංකාවට මෙන් ම ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූ කොටි නිරායුධ කර ඔවුන් පරාජය කිරීම ය. ඊනියා ඉන්දීය සාම සාධක හමුදාව කැඳවනු ලැබුයේ ඒ සඳහා ය. ඉන්දු ලංකා ගිවිසුම වැරදි පූර්විකාවක් යටතේ වුවත් ඒ කාර්යය සඳහා ඇති කරගත් ගිවිසුමක් විය. 1987 අගෝස්තුවේ ගිවිසුම අවලංගු නොවී යැයි තර්ක කළ ද ඊනියා සාම සාධක හමුදා ආපසු ඉන්දියවට ගියේ ඒ කාර්යය ඉටු නො කර ය. ඊනියා සාම සාධක හමුදා ආපසු යෑමෙන් පසු ඉන්දු ලංකා ගිවිසුමක් නැත. සුවිශේෂ කාර්යයක් සඳහා ඇතිකරගන්නා ගිවිසුමක් එක්කෝ ඒ කාර්යය ඉටුකිරීමෙන් පසු නැති වෙයි. නැතහෙත් ඒ කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් අවසන් වෙයි. ඉන්දු ලංකා ගිවිසුමක් අද වන විට නැත. ඒ අතර දහතුන් වැනි සංශෝධනය පිළිබඳ කිසිම ගිවිසුමක් ලංකාව හා ඉන්දියාව අතර නොමැති බව අවධාරණය කළ යුතු ය. අපේ ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට හා ජනතාවට අවශ්‍ය ආකාරයෙන් පමණක් සිදුවිය යුතු ය.

නලින් ද සිල්වා

2013-08-04