අපේ ප්‍රවාද යනු සිංහල බෞද්ධ චින්තනයෙහි නිර්මාණයවන ප්‍රවාද ය. ඒ බටහිර ප්‍රවාදවලට බෞද්ධ ආලේපයක් තවරා සකස්කෙරෙන්නේ නො වේ. ඇතැම් වෙබ් අඩවිවල අපේ ලිපිවලට ප්‍රතිචාර (කමෙන්ටු) දක්වන්නන්ට මේ පිළිබඳ ව කිසිම අවබෝධයක් නැත්තේ ඔවුන් අපේ ලිපි සංයමයක් ඇතිව නොකියවන බැවිනි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද ගෙතීම අසීරු වන්නේ එම චින්තනයෙහි වියුක්තය ඉතා සුළුවෙන් පමණක් පැවතීම හේතුකොටගෙන ය. එසේ වුවත් බටහිර ප්‍රවාදවලට අභියෝග කිරීමට සුළුවෙන් නමුත් වියුක්තය ඇති සිංහල බෞද්ධ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද ගෙතිය යුතුවෙයි. ඒ සඳහා තරුණයන් උනන්දු කරවිය යුතු ය.
එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි දැනුම නිර්මාණය වන්නේ ආධ්‍යාත්මික ව බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතු ය. එහි දී වඩා වැදගත්වන්නේ ප්‍රත්‍යක්‍ෂය ය. මනස ඉන්ද්‍රියයක් ලෙස ගෙන මනසෙහි වර්ධනයක් මගින් මනසින් ලොව නිර්මාණය කිරීම මෙහි දී සිදුවෙයි. ඒ ප්‍රත්‍යක්‍ෂය හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එය මනෙන්ද්‍රියට පමණක් සාපේක්‍ෂවූ ප්‍රත්‍යක්‍ෂයකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත වන අතර ඒ ප්‍රවාද ප්‍රත්‍යක්‍ෂයෙන් දත හැකි දේ නො වේ. ඒවා මනෙන්ද්‍රියට ද ප්‍රත්‍යක්‍ෂ නො වේ.
අප විටින් විට කියා ඇති පරිදි බටහිර විද්‍යාවේ සාධාරණ (පොදු යන අර්ථයෙන්) වියුක්ත ප්‍රවාද බටහිර විද්‍යාඥයන් විසින් පණවනු ලබන දේ පමණ ය. මනෙන්ද්‍රියට වුව ද ඒ මවාගත නො හැකි ය. ඒ ප්‍රත්‍යක්‍ෂ නොවන්නේ ඒ අරුතෙනි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ ප්‍රවාද යනු හුදු කතන්දර පමණ ය. මේවායෙහි කිසිම සත්‍යතාවක් නැත. ඒවා පට්ටපල් බොරු ය. අප කලින් ද සඳහන්කර ඇති පරිදි ඒ සඳහා හොඳම උදාහරණය ගුරුත්වාකර්ෂණය වෙයි. එය පංචෙන්ද්‍රියයන්ට (එනම් අදාළ අවයවවලට හා මනසට) ගෝචර නො වේ. අපට එය සිතෙන් මවාගත හැකි නො වේ. එය පසු කලෙක අයින්ස්ටයින් විසින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. එහෙත් මේ පට්ටපල් බොරුව උපයෝගී කරගනිමින් බටහිර විද්‍යාඥයෝ හඳට රොකට්ටු යවති.
එහි එතරම් වැදගත් කමක් නැත. අපට ගෙතිය හැකි පට්ටම පට්ටපල් බොරුව වූ මම යන්න උපයෝගී කරගනිමින් අපි ලෝකයේ ජීවත්වෙමු. අපේ එදිනෙදා කටයුතු ගමන් බිමන් ආදී සියල්ල කෙරෙන්නේ මම යන සංකල්පය යොදාගනිමිනි. එහෙත් ඒ බොරුව යොදාගත් පමණින් අපි ලෝකයේ අතරමං නො වෙමු. අපට අවශ්‍ය සියළු කටයුතු මම යොදාගනිමින් කළහැකි වෙයි. එය පුදුමයක් නොවන්නේ නම් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නමැති පට්ටපල් බොරුව යොදාගනිමින් හඳට රොකට්ටු හැරීමට හැකිවීම පුදුමයක් පුදුමයක් විය යුතු නො වේ.
මෙයින් කියැවෙන්නේ ප්‍රත්‍යක්‍ෂ සත්‍ය බව නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන සංකල්ප සියල්ල ද බොරු ය. ඒ සම්මුති පමණකි. පුටුවක් යනුවෙන් කිසිවක් නොමැති වුවත් එය පවතින්නේ යැයි අපි සම්මුතියෙන් ගනිමු. එය බොරුවක් වුවත් අපි ඒ බොරුවත් අනෙක් බොරුත් උපයෝගී කරගනිමින් ජීවත්වන්නෙමු. අපට ජීවත්වීම සඳහා ඒ බොරු සංගතවීම ද අවශ්‍ය නො වේ. අපට විසංවාද සහිත බොරු සමග ද ජීවත්විය හැකි ය. බොහෝ දෙනා ජීවත්වනනේ විසංවාද සහිත බොරු සමග ය.
පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංකල්ප පමණක් නොව ආධ්‍යාත්මික ව මනෙන්ද්‍රිය ආධාරයෙන් නිර්මාණය කරන සංකල්ප ද බොරු වෙයි. කිසියම් අයුරකින් අප සංකල්ප නිර්මාණය කරනතාක් අප කරන්නේ බොරු නිර්මාණය කිරීම ය. ඒ සත්‍යය නො වේ. ඒ අසත්‍ය ය. සත් යනු පැවතීම ය. අසත් යනු නො පැවතීම ය. එබැවින් අප ආධ්‍යාත්මික ව හෝ හුදු පංචෙන්ද්‍රිය මගින් හෝ නිර්මාණය කරන කිසිදු සංකල්පයක් නො පවතියි. ඒ පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. මට සාපේක්‍ෂව පැවැත්ම පිලිබඳ ව සිංහල බෞද්ධ දැනුම එය වෙයි.
මනස ද නොපවතින්නේ යැයි අප කියන්නේ ඒ අරුතෙනි. එය තුන්වැනි සංගායනාවේ බුදුදහමට විරුද්ධ විය හැකි ය. එහෙත් තුන්වැනි සංගායනාවේ බුදුදහම පරම සත්‍යයක් ලෙස මම නො ගනිමි. එය ද තවත් සංස්කරණයක් පමණකි. කෙසේ වෙතත් මනස වේවා වෙනත් ධර්මයක් (කිසිවක්) වේවා ක්‍ෂණයකට වුවත් පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී යැයි මම සිතමි. මනස ද නොපවතින විට පවතින ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කතාකිරීම විහිළුවකි.
එසේ වුවත් බටහිර විද්‍යාඥයන්ට මෙහි ඇත්තේ අවුලකි. ඔවුන්ගෙන් ඇතැමෙක් අදෘශ්‍යමානයේ (කලින් ලිපිවල සඳහන් අර්ථයෙන්) පැවැත්ම ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට අනුව දෘෂ්‍යමානය පමණක් පවතියි. බටහිර විද්‍යාඥයන්ට පුටු පවතින නමුත් දෙවියෝ නොපවතිති. ඒ පුටු දෘෂ්‍යමාන නිසාත් දෙවියන් අදෘශ්‍යමාන නිසාත් යැයි ඔවුහු කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝනවල පැවැත්ම පිලිගනිති. එසේ පිළිගන්නේ ඉලෙක්ට්‍රෝන ඔවුන්ට දෘශ්‍යමාන වන නිසා නො වේ. ඉලෙක්ට්‍රෝනයක් යනු වියුක්ත සංකල්පයකි. අද වන විට එය ෂ්‍රොඩිංගර් සමීකරණයේ එක් විසඳුමක් පමණක් බවට පත් වී ඇත. එවැනි වියුක්ත සංකල්පයක් පවතින්නේ යැයි කීමට බොහෝ බටහිර විද්‍යාඥයෝ දෙවරක් නො සිතති.
එසේ වුවත් දහනවවැනි සියවසේ උපත ලැබූ අර්නස්ට් මාක් නම් බටහිර භෞතික විද්‍යාඥයා හා බටහිර දාර්ශනිකයා වියුක්ත සංකල්ප බටහිර භෞතික විද්‍යාවේ තේරුම්කිරීම් සඳහා යොදාගැනීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහුට අනුව බටහිර විද්‍යාව යනු ද්‍යශ්‍යමාන සංසිද්ධි තේරුම් ගැනීමට යොදාගන්නා දැනුම් පද්ධතියකි. එය බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව එකම සත්‍ය වූ දැනුම් පද්ධතිය ය. ඔවුන්ට අනුව අනෙක් දැනුම් පද්ධති මිථ්‍යා වෙයි. බොහෝ බටහිර විද්‍යාඥයෝ අදෘශ්‍යමානය ප්‍රතික්‍ෂෙප කළ ද ඉලෙක්ට්‍රෝනය, ගුරුත්වාකර්ෂණය වැනි අදෘශ්‍යමාන සංකල්ප පවතින්නේ යැයි විශ්වාස කරති.
එපමණක් නො වේ. ඇතැම් බටහිර විද්‍යාඥයන් අදෘශ්‍යමාන යැයි පවසමින් දෙවියන් ප්‍රතික්‍ෂෙප කළ ද, ලෝකය නිර්මාණය කළා යැයි කියන දෙවියන් වහන්සේ කෙනකු ඇතැයි විශ්වාස කරති. ඒ කුමක් පදනම් කරගෙන ද යන්න ඔවුහු නො කියති. එහෙත් එවැනි වියුක්ත දෙවිකෙනකුගේ පැවැත්ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පිළිගැනෙයි. ඔවුන්ගේ සංස්කෘතියෙහි තිස්තුන්කෝටියක් දෙවියෝ නො වෙති. ඔවුහු ඒ දෙවියන් නොපිළිගැනීමේ දී අදෘශ්‍යමානය නොපිළිගත හැකි බවට බයිලා කීව ද එවැනි පඬිකතාවලින් තොරව අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගනිති.
අර්නස්ට් මාක් විද්වතා මේ බටහිර විද්‍යාඥයන්ට වඩා වෙනස් විය. ඔහු ඔවුන්ට වඩා සංගත විය. බොහෝ බටහිර විද්‍යාඥයන් ද ජීවත්වන්නේ පරස්පර සමගිනි. එහෙත් අර්නස්ට් මාක් ඔවුන් මෙන් නොව පරස්පර සමග ජීවත්වීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහු චර්යාවෙන් ද බෞද්ධයකු වීමට උත්සාහ කළ අතර ගාල්ලේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ නමක් සමග ලිපි ගනුදෙනු කළේ ය. ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් යම් ආභාසයක් ලැබෙන්නට ඇත.
අර්නස්ට් මාක් විද්වතා කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවේ දෘශ්‍යමාන සංසිද්ධි තේරුම් ගැනීමට අදෘශ්‍යමාන සංකල්ප නොයොදා ගතයුතු බව ය. ඔහුට දෘශ්‍යමාන සංකල්පවල පැවැත්ම ගැන විශ්වාසයක් තිබූ බව පැහැදිලි ය. එනම් ඔහු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය පිළිගත්තේ ය. එය පවතින බව ඔහුගේ පිළිගැනීම විය. ඔහු ද පුරෝගාමියකු වූ ඉන්ද්‍රියානුභූතවාදය (පඔසඉටඉවඉසම) ඉන්ද්‍රියගෝචර සංකල්පවල පැවැත්ම පිළිගනියි. එපමණක් නොව ඉන්ද්‍රියානුභූතවාදයට අනුව පවතින්නේ ඉන්ද්‍රියයන්ට (එනම් පංචෙන්ද්‍රියයන්ට) අනුභූතික (ගෝචර) දේ පමණ ය.
මෙය මා දන්නා බුදුදහමට පටහැණි ය. එහෙත් අර්නස්ට් මාක් විද්වතා එවැනි සම්මතයකට වුවත් පැමිණෙන්නට ඇත්තේ බුදුදහමේ ආභාසයෙනි. ඇතැම් විට ලංකාවේ පවතින තුන්වැනි සංගායනාවේ බුදුදහම එයට බලපෑවා විය හැකි ය. මෙරට අදත් බොහෝ දෙනා මනසේ පැවැත්ම පිළිගන්නේ තුන්වැනි සංගායනාවේ බුදුදහම අනුව බව පැහැදිලි ය. පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයේ දී අප කියන්නේ සංකල්පීය ලෝකය ශූන්‍ය බව ය. එය මාධ්‍යමිකයන්ගේ දර්ශනය සමග ඒ කරුණෙහි දී සමපාත වනවා විය හැකි ය. එහෙත් අපි මාධ්‍යමිකයන්ගේ ශූන්‍යතාව නො පිළිගනිමු.
අර්නස්ට් මාක් විද්වතාට අනුව බටහිර භෞතික විද්‍යාවේ දී පරමාණුව වැනි සංකල්ප නො යොදාගත යුතු ය. ඒ පරමාණුව ද්‍යශ්‍යමාන නොවන බැවිනි. ඔහු කියා සිටියේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමෙහි දී (පැහැදිලි කිරීමේ දී) පංචෙන්ද්‍රියයන්ට ගෝචර සංකල්ප පමණක් යොදාගත යුතු බව ය. ඒ අනුව පරමාණුව පමණක් නොව බටහිර භෞතික විද්‍යාවෙහි දී අවස්ථිතික සමුද්දේශ රාමු යොදා ගැනීමට ද ඔහු විරුද්ධ විය. ඔහුට අනුව අංශුවක අවස්ථිතිය ඇතිවන්නේ අනෙක් අංශුවල පැවැත්ම හේතුකොටගෙන ය. වෙනත් ආ කාරයකට කිවහොත් අංශුවක ස්කන්ධය අනෙක් අංශුවල පැවැත්ම නිසා ඇති වෙයි. මුළු මහත් විශ්වයේ ම පැවතියේ එක් අංශුවක් පමණක් නම් ඒ අංශුවට අවස්ථිතියක්, ස්කන්ධයක් තිබිය නොහැකි යැයි ඔහු කියා සිටියේ ය.
ඔහුගේ අදහස් තරුණ අයින්ස්ටයින්ට මහත්සේ බලපෑවේ ය. පසු කලෙක ඔහු ඒ අදහස් යම් ප්‍රමාණයකට බැහැර කළ ද සාධාරණ සාපේක්‍ෂතාවාදය මුලින් ම ගොඩනගද්දී ඔහුට ඒ අදහස් වැදගත් විය. එහි දී අවස්ථිති සමුද්දේශ රාමු බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය ද ඉවත් කෙරිණි. එහෙත් අයින්ස්ටයිනීය සංකල්ප ඉන්ද්‍රිය ගෝචර බවක් එයින් ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණය වෙනුවට සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දැක්වෙන අවකාශ - කාල වක්‍රතාව කිසිම අයුරකින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. මාක් විද්වතාගේ අදහස් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අන්තර්ගත වී නොමැති බව පසුව හෙළි විය.
ඒ කුමක් වුවත් අපට මේ කිසිවක් නිසා ගැටළු පැන නො නගියි. සංකල්පීය ලෝකය ශූන්‍ය බැවින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ‘සංකල්පවලට විශේ’ෂ තැනක් හිමි නො වෙයි. දෘශ්‍යමාන යැයි කියන ලෝකය හා අදෘශ්‍යමාන යැයි කියන ලෝකය අතර සංකල්පීය වශයෙන් ගත්කල වෙනසක් නැත. අපට ලැබී ඇති පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම හේතුවෙන් දෘශ්‍යමාන සංකල්පවලට ඊනියා පැවැත්මක් තිබිය යුත්තේ ඇයි?
යම් ආකාරයකින් අපට වෙනත් ඉන්ද්‍රිය පද්ධතියක් තිබිණි නම් අප පවතින්නේ යැයි සලකන්නේ ඒ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වන සංකල්ප පමණ ද? අපට දැනට ඇති ඉන්ද්‍රිය පද්ධතිය තිබිය හැකි එකම ඉන්ද්‍රිය පද්ධතිය නොවන බව පැහැදිලි ය. අපට පෙනෙන වර්ණ බටහිර භෞතික විද්‍යාවට අනුව ආයාම දිග යම් පරාසයක් තුළ වූ තරංග නිසා ඇතිවෙයි. අප ඒ වර්ණ පමණක් ඇති බව පිළිගත යුතු ද? ඒ වර්ණත් අනෙක් වර්ණත් අපේ නිර්මාණ පමණක් වෙයි.
නලින් ද සිල්වා
2013-08-07