අපි යක්කු බොලව්
නොවැම්බර් 27 වැනි දා ලයනල් රන්වලයන්ගේ උපන් දිනේ. එතුමා ජීවත් ව සිටියා නම් ඊයේට අවුරුදු හැත්තෑහතක් පිරෙනවා. ඒ දිනයේ දී සහන් රන්වලගේ නායකත්වයෙන් රන්වල බලකාය සංගිත සන්දර්ෂණයක් පවත්වනවා. ඊයේ එය ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී රන් සලකුණ නමින් පැවැත්වුනා. මා සංගිතඥයකු නොවෙයි. ඒත් ඒ ගැන මටත් බොහෝ දේ කියන්න තිබෙනවා. එයට හේතුව මා දැනුම හා එහි ආධිපත්‍යය ආදී දේ ගැන හදාරණ නිසා. මේ මට කියන්න ඕන කරුණුවලින් බිඳක්.
රන්වලයන් අයත්වන්නේ මකුළොළුව, කුලතිලක, බැද්දගේ ආදීන්ගේ පරම්පරාවට. දේශීය සංගීතයක් නැවත බිහිකිරීම ඔවුන්ගේ අරමුණ වූවා. එහි දී ජනගායනා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වූවා. පසුගිය සියවස මුල අපි දැනුම පිළිබඳ ව බටහිර යුරෝපයටත්, සංගීතය පිළිබඳ ව ඉන්දියාවටත් ගැති වී තිබුණා. දැනුම ලබාගැනීමට නම් බටහිර යුරෝපයට විශේෂයෙන් ම එංගලන්තයට යා යුතු බවටත් සංගීතය හැදෑරීමට ඉන්දියාවට යා යුතු බවටත් මතයක් ඇති කර තිබුණා. බටහිර සංගීතය හදාරන අය කොහොමටත් යුරෝපයට ගියා.
ලංකාවේ හැදෑරීමට තරම් විද්‍යාවක්, කලාවක් නැති බව ඊනියා උගතුන්ගේ මතය වූවා. සිංහල බෞද්ධයන්ට සංගීතයක් නැති බව ඔවුන් දැනුත් කියනවා. ඔවුන් හිතන්නේ සිංහල බෞද්ධයන් අවුරුද්දේ සෑම දිනක ම අටසිල් සමාදම් වී නච්ච ගීත වාදන සික්ඛා පදය සුරකින බවයි. මෙරට දැනුමක් ගැන විශ්වාස නොකළ පඬියන් බුදුදහම හැදෑරීමටත් එංගලන්තයට ගියා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය, පසුව ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය එහි දී ප්‍රධාන තැනක් ගත්තා. රීස් ඩේවිස් ආදීන්ගේ මතවලට එහි දී තැනක් ලැබුණා.
අප මෙරට විද්‍යාවක්, දැනුමක් ගැන කතාකිරීමට පටන්ගැනීමට බොහෝ කාලයකට පෙර ම සිංහල සංගීතඥයන් පිරිසක් දේශීය සංගීතයක් ගැන සෙවීමට පටන් ගත්තා. ඒ ඇතැමුන් ඉන්දියාවට ගොස් රාගධාරී සංගීතය ඉගෙන ලංකාවට පැමිණ සිංහල නාදරටා රාගධාරී සංගීතය තුළට ගැනීමට වෑයම් කරද්දී තවත් අය ඔපෙරා වැනි බටහිර සංගීත ආකෘතිවලට අනුව සිංහල ගීත ගයන්න පටන් ගනිද්දී. දන්නෝ බුදුන්ගේ ගීතයත් එවැනි ඔපෙරා ගීතයක්. එහෙත් මේ ගීත ගයන්න වුනෙ සිංහල කටහඬින්. කල් යෑමේ දී ඒ ගීත සිංහල කටහඬට උචිත වන ලෙස සකස් කෙරුණා. එය නොදත් ඇතැමුන් මේ ගීතවල මුල් ආකෘතියට ඒ ගයන්න වෑයම් කරනවා. දෙරණේ සංඛගේ ගඩොල් බාගය එවිට මතක් වෙනවා.
රන්වලයන් ඇතුළු පිරිස මතුකෙළේ සංගීතයේ අපේ අනන්‍යතාව. ඒ අනන්‍යතාව ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ අප්‍රිකාවෙන් හෝ යුරෝපයෙන් හෝ දැනගැනීමට බැහැ. අපේ බෙර වාදන ඉතා ඈතට යනවා. අදත් ඉසුරුමුණිය වැනි තැන්වල බෙර වාදනය කරන ශිල්පීන්ගේ රූප අඹා තිබෙනු දැක ගැනීමට හැකියි. මගේ කල්පනාව අපේ සංගීතය යක්‍ෂ ජනතාව කරා දිව යන බවයි. අප යක්‍ෂ ජනතාව අමතක කර තිබීම කණාගාටුවට කරුණක්. අපේ සංස්කෘතියේ බොහෝ අංග අපට ලැබී තිබෙන්නේ යක්‍ෂයන්ගෙන්. රන් සලකුණේ එක් ගීතයක් තිබෙනවා අපි යක්කු බොලව් කියා. ඒ තමයි අපේ අනන්‍යතාව. අපේ කටහඬ යක්‍ෂ කටහඬක්. අපේ නාදරටා යක්‍ෂ සංස්කෘතියේ.
මේ නාදරටා දැන් අසන්න හැකි වන්නේ ජන ගායනාවල. ඒ ගැන හැදෑරීමට රන්වලයන් වැනි සංගීතඥයන් පෙළඹුනේ එබැවින්. අප ඔවුන්ට ණය ගැතියි. බෙර වාදන හා නැටුම්වලත් අපේ සංගීතය තිබෙනවා. ලංකාවේ බෙර වාදනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ සියල්ල ඉතිරි වූයේ අපේ සංස්කෘතියේ. ජනගායනාවල මෙන් ම ශාන්තිකර්ම, පෙරහැර ආදියෙහි ඒ සංස්කෘතිය ඉතිරි වුනා. අද ඇතැමුන් ඒ සියල්ල මිථ්‍යා වශයෙන් සලකන්නේත් පෙරහැරේ ඇතුන් ගෙන යෑම වැනි අංග කපා දැමීමට උත්සාහ කරන්නේත් අපේ සංස්කෘතික අනන්‍යතාව නැතිකර මෙරට සිංහලයන්ට හිමි සුවිශේෂත්වය නැති කරන්න.
අපේ නාදරටා ගැන කියන විට මට හිතෙන දෙයක් තමයි ඒවා පරිමිත නාදරටා කිහිපයකින් පමණක් ලබාගත නොහැකි බව. උත්තර භාරතීය සංගීතය පරිමිත රාගවලින් දැක්වීමට හැකි වුවත් සිංහල සංගීතය එසේ පරිමිත පදනමකට ඌනනය කරන්න බැරි බව මගේ වැටහීමයි. සංගීතඥයකු නොවන මා මේ කියන දේ වැරදි වෙන්න පුළුවන්. අපේ සංගීතයේ විවිධත්වය ඇත්තේ එතැන යැයි මා හිතනවා. ඇතැමුන් කියන්නේ අපේ සංගීතය ඉතා පටු බවත් එය එක තැන පල්වෙන බවත්. එහෙත් එක තැන දුවන්නේ පරිමිත පදනමකට ඌනනය කිරීමට හැකි සංගීතයක් මිස එසේ නොවන සංගීතයක් නො වෙයි.
අප සහන් රන්වලට කෘතඥ විය යුතුයි ඔහු තම පියාගේ උරුමය ඉදිරියට ගෙන යෑමට ඉදිරිපත්වීම ගැන. සංගීතඥයන් සමහරවිට එකඟ නොවුණත් මේ සියල්ල පිටුපස ඇත්තේ දේශපාලනය. අද අප පාලනය කිරීමට රෙඩ්ෆීල්ඩ්ගේ මහා සම්ප්‍රදාය, චූල සම්ප්‍රදාය කියන සංකල්ප යොදා ගන්නවා. මේ සංකල්ප සිංහල පඬියන් අතර ප්‍රචලිත කෙළේ සරච්චන්ද්‍ර. අපේ සම්ප්‍රදාය චූල කියා කියනවා. බටහිර දැනුම ලෝකය පුරා ආධිපත්‍යය දරන්නේ ඔවුන්ගේ දේශපාලන බලය නිසා. අනෙක් අතට දේශපාලනය බලය පවත්වාගෙන යැමට දැනුම යොදා ගන්නවා. එහි ඇති මහා සම්ප්‍රදායක් නැහැ. බැරි වෙලාවත් පරාක්‍රමබාහු කාලයේ අප ලෝකය යටත් කළා නම් (බෞද්ධ සංස්කෘතිය අපට එයට ඉඩ දෙන්නේ නැහැ) ඊනියා මහා සම්ප්‍රදාය වන්නේ සිංහල සම්ප්‍රදායයි. ථෙරවාදයත් ඊනියා හීනයානයකට ඇතුල් කෙළේ සංස්කෘත උගත් පැරණි වෛදික සම්ප්‍රදායේ බ්‍රාහ්මණයන්ගෙන් පැවත එන්නන්. මහායන හීනයාන බෙදීම එක් අතකින් මහා සම්ප්‍රදාය චූල සම්ප්‍රදාය කතාවක්.
මේ දේශපාලනය නිසා රන් සලකුණේ ඉහත සඳහන් ගීතයට මා තවත් කොටසක් එකතු කරනවා. අපි යක්කු බොලව්. අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 28