Main Logo

Wednesday 16 November 2016

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක්

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක්

ඒකාබද්ධ විපක්‍ෂයට ලිපියක් ලියන්නට සිතුනේ සම්බන්ධන් ට්‍රම්ප්ට මෙරට ඊනියා ජාතික ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කර තිබූ ඉල්ලීම ගැන දැනගැනීමෙන් පසුව. මගේ ලෝකයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් නව නගර ශාලාවේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ දී මා මහින්ද රාජපක්‍ෂ ආමන්ත්‍රණය කරමින් කී දේ ජනමාධ්‍යවල වාර්තා වූයේ නැහැ. දෙරණ පමණක් ඊට පසුදා සවස 6.30 ප්‍රවෘත්්ති විකාශයේ ට්‍රම්ප් හා මහින්ද ගැන මා කියූ ඉතා කුඩා කොටසක් ප්‍රචාරය කළා. ඔවුන් ද වඩා වැදගත් තැනක් දුන්නේ සම්මන්ත්‍රණයේ තේමාවට පිටින් කරන ලද ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ අනුශාසනාවට හා මහින්ද එයට දැක්වූ ප්‍රතිචාරයටයි. මගේ ලෝකය ඒ අයට ඇස්වලට කටුගහන්නාක් මෙන් විය හැකියි. එතැන සිටි එක් රූපවාහිනි කැමරා ශිල්පියකු මේක ඉවර වෙන්නෙ නැද්ද කියමින් අඳෝනා කියමින් ඉඳලා තියෙනවා. මෙරට ජනමාධ්‍යවල ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට හා වෙනත් සංස්කාරකවරුන්ට මා කියන කිසිම දෙයක වැදගත්කමක් නැහැ. මට 360 ලබාදුන්නේ ඔවුන් නොව දිලිත් ජයවීරයි. මේ සංස්කාරකවරුන්ට හැරිසන් ඇමතිවරයා හෝ රන්ජන් රාමනායක හෝ වෙනත් කිහිප දෙනකු හෝ කරන ප්‍රකාශ දිනපතා ම වුවත් පළකිරීමට තරම් වැදගත්. ඔවුන් ඇතැම් විට කියනවා ඇති ජනතාව ඉල්ලන්නේ එවැනි ප්‍රකාශ කියා. ඔවුන් ජනතාව කියා හඳුන්වන්නේ මධ්‍යම පංතික ඊනියා ප්‍රබුද්ධයන් හා අක්මුල් නැති තාක්‍ෂණික තරුණ තරුණියන් පමණයි. ඔවුන් තම නාලිකා ප්‍රචාරය කරන කසිකබල් ටෙලිනාට්‍ය පරදවා සිදු පෙරමුණට ඇවිත් තිබෙන්නේ ඇයි ද කියා කල්පනා කරනවා නම් ජනතාවට අවශ්‍ය කුමක් ද කියා තේරුම් ගනීවි.

ට්‍රම්ප් තවමත් ජනාධිපති වී නැහැ. ජනතාව කර ඇත්තේ ජනාධිපති තෝරණ ඡන්දදායක මණ්ඩලය (ඉංගිරිසියෙන් ඉලෙක්ටෝරල් කොලේජ්) සඳහා ඡන්දය දීම පමණයි. ඡන්දදායක මණ්ඩලය එකතු වී ජනාධිපති තෝරා ගත යුතුයි. අද ඇතැමුන් උත්සාහ ගන්නේ ඡන්දදායක මණ්ඩලයේ සාමාජිකයන් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් බා ගැනීමටයි. එය සාර්ථක වන එකක් නැහැ. මන්ත්‍රීවරුන් බා ගැනීම සිදුවන්නේ ලංකාවේ පමණක් නො වෙයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එවැනි අංග ද සහිතවයි. මා ට්‍රම්ප් ගැන කියන්නේ ලෝකයේ බොහෝ දෙනා හිතාවත් නැති කතාවක්. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ඊනියා ජාත්‍යන්තරවාදී බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සහිත ලො ්කය කඩාවැටීමක් ගැන. ඒ කඩාවැටීම ඇරඹුනේ ගණිතයටත් එහා ඇති ඉතා වියුක්ත රූපික න්‍යායේ (ෆෝර්මල් ලොජික්) ගර්ඩ්ල් ප්‍රමේයය හා ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චයතා මූලධර්මයත් සමග. ප්‍රව්ෘත්ති සංස්කාරකවරුන්ට ඒවා තේරෙන්නේ නැහැ. එක් අතකින් අප ඔවුන්ට අනුකම්පා කල යුතුයි. ඒ කොහොම වුනත් තවමත් මේ කඩාවැටීම පිළිබඳ ව ඊනියා දේශපාලන විද්‍යාඳයන්, සමාජ විද්‍යාඳයන් හා කලාකරුවන් සංවේදී නැහැ. ඊනියා නූතනත්ව ලෝකය කලාකරුවන්ට දහසයවැනි සියවසට පෙර තිබූ ප්‍රමුඛතාව නැති කර. ඔවුන්ට හා ඊනියා සමාජයීය විද්‍යාඳයන්ට සිදු වී ඇත්තේ ගණිතය හා භෞතික විද්‍යාව පසුපස යෑමටයි. මා එසේ කියන්නේ මා ඒ විෂය හදාරා තිබෙන නිසා නොවෙයි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ස්වභාවය එයයි. ගණිතය තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ.

අද වත්මන් ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකය කඩා වැටෙමින් ජාතිකත්ව ලෝකයක් බිහිවෙමින් තිබෙනවා. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පමණක් නොව යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත්වීමට ගත් තීරණය හා යුරෝපයේ ජාතිකත්ව මතුවීම ආදියෙන් කියැවෙන්නේ නව ජාතිකත්වවල නැගී සිටීමක්. ලංකාවේ මේ ගැන අප කතාකරන්නේ අවුරුදු තිහක කාලයක සිට. මගේ ලෝකයේ චින්තනය යන සංකල්පය සංස්කරණය කරගත්තේ ම චින්තන විප්ලවයක් ගැන කීමට. ගුණදාස අමරසේකර ජාතික චින්තනය අදහස ඉදිරිපත් කෙළේ ඒ අදහසින් නොවෙයි. ඔහු විජාතික චින්තකයකුගේ නැෂනල් තෝට් කියන  ජාතික චින්තනය ලෙස සිංහලට පරිවර්තනය කළා. එහෙත් ජාතික චින්තනය කියන්නෙ කුමක් ද කියා ඔහු පැහැදිලි කෙළේ නැහැ. සිංහල මධ්‍යම පංතියේ කොටසකට වැදගත් වුුනේ ජාතික චින්තනය කියන විසිරුණු අදහස මිස චින්තනය කියන සංකල්පය නොවෙයි. සිංහලයන් ආකර්ෂණය වන්නේ විසිරුණු අදහස්වලට මිස නිශ්චිත සංකල්පවලට නොවෙයි. මට චින්තනය කියන සංකල්පය ජාතික චින්තනය යන අදහසට යටකරන්න සිදු වුනා.

ඒකාබද්ධ විපක්‍ෂය ට්‍රම්ප්ට ලිපියක් ලිවිය යුතුයි. ඒ අපේ ප්‍රශ්නවලට මැදිහත්වන්න කියන්න නොවෙයි. ජාතිකත්වය අගය කරන්නකු ලෙස ඔහු අපේ ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට කිව යුතුයි. මෙරට ඊනියා ජාතික ප්‍රශ්නය ඉංගිරිසින් ඇති කළ එකක්. ඒත් එයට බටහිරයන් හෝ බටහිරයන් ම ඇති කළ ඉන්දියාව හෝ මැදිහත් නොවිය යුතුයි. ඉංගිරිසින් ඇති කළ ප්‍රශ්නය අප නන්දිකඩාල්හි දී කෙළවරක් කළා. මා මගේ ලෝකය සම්මන්ත්‍රණයේදීත් ඒ බව කිවුවා. ඒ ගැන තවත් කතා අවශ්‍ය නැහැ. ඊනියා ව්‍යවස්ථාවකුත් අවශ්‍ය නැහැ. අප ට්‍රම්ප්ට කිව යුත්තේ අපේ ජාතිකත්වයට ගෞරව කරමින් අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි නොගැසිය යුතු බවයි. සම්බන්ධන්ලා ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකයේ ඉංගිරිසින් විසින් නිර්මාණය කරන ලද ලංකාවක නෂ්ටාවශේෂ. මහින්ද නැගී එන ලෝකයක පුරෝගාමියෙක්. ඒකාබද්ධ විපක්‍ෂය ඒ බව පැහැදිලි ව ට්‍රම්ප්ට කිව යුතුයි.

පහත සඳහන් පළමු සබැඳියෙන් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශක වන බැනන් ජාතිකත්වය ගැන කියන දේ දැනගත හැකියි. ඒ අදහස් මා කියන දේ ම නොවූවත් එහි එක්තරා ආකාරයක දෝංකාරයක්. දෙවැනි සබැඳිය ජාත්‍යන්තරවාදී ඔබාමා බිහිවන ජාතිකත්වයට  විරුද්ධව කරන ප්‍රකාශයක්.



http://www.newyorker.com/news/news-desk/steve-bannon-will-lead-trumps-white-house?intcid=mod-latest&mbid=social_facebookhttp://www.newyorker.com/news/news-desk/steve-bannon-will-lead-trumps-white-house?intcid=mod-latest&mbid=social_facebookhttp://www.newyorker.com/news/news-desk/steve-bannon-will-lead-trumps-white-house?intcid=mod-latest&mbid=social_facebook


http://www.msn.com/en-us/news/world/obama-warns-against-%E2%80%98a-crude-sort-of-nationalism%E2%80%99-taking-root-in-the-us/ar-AAkkgDl?li=BBmkt5R&ocid=spartandhp


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
https://www1.kalaya.org


නලින් ද සිල්වා
2016 11 16