Main Logo

Tuesday 15 November 2016

පඬියන් මාක්ට බය ද?

පඬියන් මාක්ට බය ද?

මාක් යනු වියනා කවයේ පුරෝගාමියෙක්. ඉන්ද්‍රියානුභූතවාදය (ඉංගිරිසියෙන් පොසිටිවිසම්) වියනා කවය ආශ්‍රිත ව නිර්මාණය වූවක්. මාක් බෞද්ධයකු මෙන් ජීවත් වූ බවත් කියනවා. මාක් දාර්ශනිකයකුට අමතර ව බටහිර භෞතික විද්‍යාඥයෙක්. මාක් ඉතා පැහැදිලි ව කියා සිටි දෙයක් තමයි බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප මගින් පමණක් විස්තර කළ යුතු බව. එය ඉන්ද්‍රියානුභූතවාදය සමග එකඟයි. ඔහු අවස්ථිති සමුද්දේශ රාමු පිළිගත්තේ නැහැ. නමුත් නිවුටන්ගේ ගතිකය මුළුමනින් ම මෙන් රඳා පවතින්නේ අවස්ථිති සමුද්දේශ රාමු මත. අප යමක් නිරීක්‍ෂණය කරන්නේ සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂ ව. කාමරයක දිගුවක් (විස්තීර්ණයක්) දුම්රිය මැදිරියක දිගුවක් ආදිය පමණක් නොව නිරීක්‍ෂකයාගේ ශරීරයේ දිගුවක් ද සමුද්දේශ රාමුවක් විය හැකියි.  සෑම නිරීක්‍ෂණයක් ම කිසිවකට (කිසිවකුට) සාපේක්‍ෂව කෙරෙන්නක්. නිරපේක්‍ෂ නිරීක්‍ෂණ නැහැ. නිව්ටන්ගේ ඊනියා නියම ද ලියන්නේ අවස්ථිති සමුද්දේශ රාමුවල. මාක්ට අනුව නම් නිව්ටෝනීය භෞතික විද්‍යාව ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. ඒත් බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ නැහැ. අපේ පඬියන් නම්, ඇතැම් හාමුදුරුවන් ද, මාක්ට බයේ බුදුදහම වුනත් ප්‍රතික්‍ෂෙප කරන්න සූදානම්. පුනබ්භවය, දෙවියන්, භූතයන්, අතිවිශාල බහුතරයකට පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඇතැම් ජාතිකවාදීන් ද ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරනවා. එවැනි ජාතිකවාදීන් නම් තවමත් එක කකුලක් මාක්ස්වාදයෙ තියාගෙන ඉන්නෙ. ඒත් මේ පඬියන් ඉන්ද්‍රිය ගෝචර නැතිවුනත් කම්කරු පංති විඥානයක් පිළිගන්නවා. පඬියන් එහෙම පිළිගත්තත් සුදු කම්කරුවන් අතිවිශාල බහුතරය කම්කරු පංති විඥානය බල්ලට දාලා මාක්ස්වාදීන් කියන විධියට අන්ත දක්‍ෂිණාංශිකයකු වූ ට්‍රම්ප්ට ඡන්දය දීලා! ලෝකය කියලා අප ගන්න එකේ තියෙන්නෙ ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර දේ පමණක් ද?

සියළු දැනුම් සාපේක්‍ෂයි. මගේ දැනුම මට සාපේක්‍ෂයි. ඔබේ දැනුම ඔබට සාපේක්‍ෂයි. මගේ දැනුම මගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. අවශ්‍ය නම් එය ෂඩායතනවලට හා සංස්කෘතියට සාපේක්‍ෂ යැයි කිව හැකියි. මේ කතන්දරෙත් සාපේක්‍ෂයි! අප පළමුවෙන් ම ඇති කරගන්නේ මා යන සංකල්පයයි. අද ඇතැම් බටහිරයන් කියන්නේ මා නිර්ණය කෙරෙන්නේ අනෙකා විසින් කියායි. මෙය පුහු කතාවක්. අනෙකා ඉන්නේ මගෙන් නිරපේක්‍ෂව ද? මේ මිනිසා හා සියල්ල මහා අනෙකා වන දෙවියන් වහන්සේගේ නිර්මාණ ලෙස සැලකෙන යුදෙවු ක්‍රිස්තියානි සංකල්පවලින් ගලා එන්නක්.  

අවස්ථිති සමුද්දේශ රාමුව නිර්වචනය කරන්නේ කෙසේ ද? ඇතැම් කසිකබල් මහාචාර්යවරුන් හිතන් ඉන්නේ ඕනෑම දෙයක් නිර්වචනය කරලා පටන් ගන්න ඕන කියලා. මේ බක පණ්ඩිතයන් කියනවා දෙවියන් නිර්වචනය කරන්න කියලා. මෙච්චර කබල් පඬියන්ට මේ රටේ වැදගත් තැනක් හිමිවන්නෙ ඔවුන් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයෙ  නිවට සේවකයන් නිසා හා ජනමාධ්‍ය ද ඒ ආධිපත්‍යයට යට නිසා. දෙවියන් නිර්වචනය කරන්න ඕන නැහැ. දෙවියන් භූතයන් අමනුුෂ්‍යයන් දැකපු අය දකින අය මේ රටේ ඕන තරම් ඉන්නවා. වාසනාවකට ඔවුන් පඬියන් භූතයන් ලෙස දකින්නෙ නැහැ! ඒ දෙවියන් දැක ඇති අයගෙන්  අප  දෙවියන් ගැන දැනගන්නවා. බටහිර මානසික විද්‍යාවට අනුව නම් ඔවුන්ට මානසික රෝග තිබෙනවා. ඒත් බටහිර මානසික විද්‍යාවෙ දැන් හැම දෙයක් ම භ්‍රාන්තියක් ලෙස සැලකීමේ ප්‍රවනතාවක් තියෙනවා (2016 නොවැම්බර් 05 නිව් සයන්ටිස්ට් සඟරාවෙ කවරයෙ කතාව කියවන්න). ඊනියා යථාර්ථය ද භ්‍රාන්තියක්! 

අප පොඩි කාලෙ ඉගෙන ගත්තෙ නිර්වචන අහලා නොවෙයි. පුටුවක් නිර්වචනය කරන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවා ද? හිටියත් ඒ අයට කුඩා දරුවකුට පුටුව ගැන නිර්වචන යොදාගෙන කියලා දෙන්න පුළුවන් ද? මගේ ලොකු පුතා පොඩි කාලෙ බසයේ ආසනවලට කිවුවෙත් පුටු කියලා. වැඩිහිටියකු උඩැක්කිය වගේ තියෙන ආසන පළමු වරට හඳුනාගන්නේ නිර්චචන දැනගෙන ද (මගේ ලෝකය බලන්න)? දෙවියන් ඉන්න බව බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා. අප ඒ ගැන විශ්වාස කරනවා ද?  නැත්නම් මාක්ට බයවෙලා බුදු හාමුදුරුවො කිව්වත් විශ්වාස කරන්න එපා කියලා කියනවා ද? එහෙමත් නැත්නම් ඒ කතා පස්සෙ කාලෙක හදාගත්ත දේ කියලා කියනවා ද?  අප ඉගෙන ගන්නේ නිර්වචන ආශ්‍රයෙන් නො වෙයි. මේ බක පඬියන් දන්නෙ නැති වුනාට ඕනෑම ශාස්ත්‍රයක නිර්වචනය කිරීමට නොහැකි පද තියෙනවා. යම් පදයක් නිර්වචනය කරන්න සිද්ධ වෙන්නෙ වෙනත් වචනවලින්. එතකොට ඒ වචන නිර්වචනය කරන්නෙ කොහොම ද? මේකෙ කෙළවරක් නැහැ. ඒ නිසා ඕනෑම ශාස්ත්‍රයක් පටන්ගන්න වෙන්නෙ අනිර්ණායිත පදවලින්. ජ්‍යාමිතියෙ ලක්‍ෂ්‍යය කියන්නෙ අනිර්ණායිත පදයක්. පඬියකුට පුළුවන් නම් ලක්‍ෂ්‍යය යන්න නිර්වචනය කරන්න. ඒත් ජ්‍යාමිතිය ගොඩ නැගෙන්නෙ මෙවැනි අනිර්ණායිත පද මත. පඬියන් ජ්‍යාමිතිය ප්‍රතික්‍ෂෙප කරනවා ද? ඕනෑම ශාස්ත්‍රයක් එහෙමයි. ලංකාවෙ පඬියන්ට ශාස්ත්‍ර බැහැ. ඔවුන් මේවා ගැන දන්නෙත් නැහැ.

අවස්ථිති සමුද්දේශ රාමු නිර්වචනය කරන්න බැහැ. පාසලේ දී බොරු නිර්වචන දෙනව තමයි. ඒත් ඈත ඈත තියෙන තාරකා ගැන අවබෝධයක් නැතිව ඈත තියෙන තාරකාවලට සාපේක්‍ෂව නිසල ව ඇති සමුද්දේශ රාමු ගැන කියන එකේ තේරුම මොකක් ද? එහෙමත් නැත්නම් කිසිවක් නැති සමුද්දේශ රාමු කියන එකේ තේරුම මොකක් ද? කිසිවක් නැති සමුද්දේශ රාමුවක සිට නිරීක්‍ෂණය කරන්නේ කෙසේ ද? නිරීක්‍ෂකයකු ඇති සමුද්දේශ රාමුවක් අවස්ථිති සමුද්දේශ රාමුවක් වෙන්න බැහැ. කිසිවකු නැති රාමුවක නිරීක්‍ෂණය කරන්නේ කවු ද?

මාක් කියා සිටියේ අවස්ථිති සමුද්දේශ රාමු වැනි පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්ප බටහිර භෞතික විද්‍යාවේ යොදා නොගත යුතුු බවයි. ඔහු නිරීක්‍ෂණය කළ නොහැකි පරමාණු යොදා ගැනීමටත් විරුද්ධ වුනා. තරුණ අයින්ස්ටයින්ට මේ අදහස් බලපෑවා. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩ නැගුවේ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු නැතිව! පොළොවට පොල් වැටෙන බවට හේතුව ඊනියා ගුරුත්වාකර්ෂණය වන්නේ ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවලට සාපේක්‍ෂව. අවස්ථිති සමුද්දේශ රාමු නැති නම් ගුරුත්වාකර්ෂණය අවශ්‍ය නැහැ. අයින්ස්ටයින්ගෙ ප්‍රවාදයෙ ගුරුත්වාකර්ෂණය නැහැ. ඔහුට පොල් වැටෙන්නෙ අවකාශ කාලයෙ වක්‍රතාව නිසා.

අයින්ස්ටයින්ට සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩ නැගීමේ දී මාක් කරුවක්, සැරයටියක වූවා පමණයි. මාක් ඉන්ද්‍රියානුභූතවාදියකු වූ අතර අයින්සටයින් යථාර්ථවාදියකු වුනා. අයින්ස්ටයින් පසු කලෙක ක්වොන්ටම් භෞතිකවාදය යථාර්ථවාදී නොවේ ය කියා පිළිගත්තේ නැහැ. ඔහු ක්වොන්ටම් භෞතිකය අසම්පුර්ණ ප්‍රවාදයක් ලෙස සැලකුවා. ගර්ඩ්ල්ට අනුව රූපික න්‍යාය අසම්පූර්ණයි. පඬියන් දන්නා ඉටිගෙඩියක් නැහැ. මා නම් හිතන්නේ මාක් අසම්පූර්ණ බෞද්ධයකු කියායි. පඬියන් මාක්ට බය වුනාට සිංහල බෞද්ධයන් ඔහුට බය විය යුතු නැහැ.




මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
https://www1.kalaya.org


නලින් ද සිල්වා
2016 නොවැම්බර් 15