Main Logo

Thursday 10 November 2016

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය

ට්‍රම්ප් ජයග්‍රහණය කරලා. මා නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. ජයගත්තේ ඇමරිකන් එක්සත් රාජ්‍යවල ජාතිකත්වය. අද ලෝකයේ ඊනියා ජාත්‍යන්තරවාදය පරදවා ජාතිකත්වය නැවත වරක් පෙරට එනවා. හිලරි ක්ලින්ටන් නියෝජනය කෙළේ ඊනියා ජාත්‍යන්තරවාදය. ඊනියා ජාත්‍යන්තරවාදය පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තන විප්ලවයෙන් බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක්.

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කඩා වැටීම ආරම්භ වූයේ විසිවැනි සියවසේ තුන්වැනි දශකයේ පමණ. එය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අනිශ්චය මූලධර්මය හා ගර්ඩල් ප්‍රමේය මගින් සිදු වුනා. ක්වොන්ටම් භෞතික විද්‍යාව අසම්පූර්ණ ප්‍රවාදයක් ලෙසත් ගර්ඩල් ප්‍රමේයය අසම්පූර්ණ ප්‍රමේයයක් ලෙසත් හැඳින්වෙනවා. ඒ දෙකෙන් ම කියැවෙන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ බිහි වූ  නිශ්චිත බව දැන් නැති බවයි. යම් පද්ධතියක අපෝහනයෙන් ලබාගත නොහැකි  නිරීක්‍ෂණ ඇති බවයි එයින් දළ වශයෙන් කියැවෙන්නේ.  ඇරිස්ටෝටලීය න්‍යාය වලංගු නොවන පද්ධතීන් සමග අපට ගනුදෙනු කරන්න සිදුවෙනචා.

එහෙත් මෙයින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චිනාතනය කඩාවැටීමක් සිිදු වූ බව බටහිර බුද්ධිමතුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් මෙය කෙසේ නමුත් හරිගස්සන්න හදනවා. ඒත් අවුරුදු අසූවකට වැඩි කාලයක් දඟලාත් ඔවුන්ට කිසිවක් කරගන්නට බැරි වෙලා. මේ කඩා වැටීම දේශපාලන ලෝකයේ ජාත්‍යන්තරවාදය කඩා වැටීමක් බවට පත්වෙලා. ලෝකයේ තැනින් තැන ජාතිකත්වය මතුවෙලා. ලංකාවේ ජාතිකත්වය ඉදිරියට ඒමේ ප්‍රතිඵලයක් ලෙස නන්දිකඩාල් ජයග්‍රහණය ලබා ගත්තා. ඒ ජයග්‍රහණය බටහිර ජාත්‍යන්තරවාදය විසින් ආපසු හැරවීමට උත්සාහයක් ගැනෙනවා. රනිල් ජයග්‍රහණය කෙළේ එලෙසයි. එහෙත් දැන් නැවතත් ලංකාවේ ජාතිකත්වය ඉදිරියට ඇවිත්. ජාතිකත්වය පස්සට ගියේ අවුරුද්දකට පමණයි.

ඊනියා ජාත්‍යන්තරවාදය කඩා වැටෙන විට ලිබරල්වාදීන් හා මාක්ස්වාදීන් (ව්‍යාජ සමාජවාදීන්) එකතු වෙනවා. ට්‍රම්ප්ට විරුද්ධ වූයේ කේන්ද්‍රයෙන් වමට යැයි කියන හිලරි ක්ලින්ටන්ගේ පක්‍ෂය පමණක් නොවෙයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයේ ම සමහර ප්‍රධානීන් විරුද්ධ වුනා. ජනමාධ්‍ය සියල්ල ම මෙන් විරුද්ධ වුනා. ඔවුන් ට්‍රම්ප්ට විරුද්ධව මඩ ව්‍යාපාරයක් යැයි කිවහැකි ව්‍යාපාරයක් ගෙන ගියා. ජනමාධ්‍ය හා උගතුන් එක්ව පැවැත් වූ ජනමත විමසුම්වලින් කියැවුනේ හිලරි කාලින්ටන් ගව් ගණනකින් දිනන බවයි.

ඒ ජනමත විමසුම් අද බොරු වෙලා හරි පට්ටපල් බොරු වෙලා හරි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? එක්කෝ ඒ ජනමත විමසුම් වංචා සහගත ව ඉදිරිපත් කළ බොරු බවයි. නැත්නම් ඒ පදනම් වූ සංඛ්‍යාන ප්‍රවාද පට්ටපල් බොරු බවයි. ඒ දෙකෙන් මොකක් වුනත් එයින් කියැවෙන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා ඒ සමග බැඳුනු ආකල්ප, ඊනියා සදාචාරය, ප්‍රවාද අවලංගු වී ඇති බවයි.

ට්‍රම්ප්ට විරුද්ධව ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් වුනා. එසේ ඉදිරිපත් වුනේ හිලරිගේ ස්වාමි පුරුෂයා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයෙහි මොනිකා නම් සහායිකාවක් සමග කළ අනඟ රැඟුම්  අමතක කරමින්. ලංකාවේ මහින්ද රාජපක්‍ෂට හොරා හොරා කියමින් චෝදනා කළ අය කම්බ හොරුන් බව අද ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඒ තරමක් පමා වී තමයි. ඒත් දැන්වත් ඒ වටහා ගැනීම හොඳ ලකුණක්.

ට්‍රම්ප්ට විරුද්ධව ලිබරල්වාදීන් හා ඊනියා වාමාංශිකයන් එකතු වූ පරිදි ම ලංකවේ මහින්දට හා ජාතිකත්වයට එරෙහි ව ලාල් විජේනායකලා රනිල් සමග එකතු වෙලා. මෙය කඩා වැටෙන බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ලක්‍ෂණයක්. විජේනායකලා රනිල්ලා එකතු වී සිටින්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදයට අවශ්‍ය ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. ඒකාබද්ධ විපක්‍ෂය මේ ව්‍යවස්ථා සම්පාදනයෙන් ඈත්වන එක සුබයි.

ට්‍රම්ප්ට වැඩිපුර ඡන්දය දී ඇත්තේ සුදු ජාතිකයන්. ලංකාවේ මහින්දට වැඩිපුර ම ඡන්දය දුන්නේ සිංහල බෞද්ධයන්. මේ සමානකම් අප අමතක කළ යුතු නැහැ. සංධානයේ ඊනියා වාමාංශිකයන්ට කන් නොදී මහින්ද රාජපක්‍ෂ තව තවත් ජාතිකත්වයට කතා කෙළේ නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න තිබුණා. ට්‍රම්ප්ට සුදු කම්කරුවන් ද විශාල ප්‍රමාණයෙන් ඡන්දය දී තිබුණා. කෝ මේ මාක්ස්ගේ කම්කරු පංතිය. එයට පිටින් කම්කරු පංති විඥානය ගෙන යෑමට ලෙනින් කෙනකු නැද්ද? ලෙනිනුත් එසේ නොකළ විට ඔබාමාට එය කළ හැකි ද? කසිකබල් මාක්ස්වාදීන් ට්‍රම්ප් අති දක්‍ෂිණාංශිකයකු ලෙස වර්ග කරාවි. ඒ ඔවුනාගේ කිසිද්ක වලංගු නොවූ මාක්ස්වාදය අනුව.

ශිවාජිලිංගම් හිලරි වෙනුවෙන් පොල් ගැහුවා. මා කතා කරන්නේ හිලරි දෙමළ ජාතිවාදීන්ගෙන් ආධාර මුදල් ලබාගැනීමත් සමග එකතු කරලා. හිලරි බලයට පැමිණියා නම් දෙමළ ජාතිවාදීන්ට සිංහලයන්ට විරුද්ධ ව පොල් ගහන්නට තිබුණා. හිලරිගේ ඊනියා ජාත්‍යන්තරවාදී මානව අයිතිවාසිකම් විහිළුවක් බවට පත්වෙලා.හිලරි දිනුවානම් ඊනියා ජාත්‍යන්තරවාදය හේතුකොටගෙන රුසියාව සමග යුද්ධයකට පැටලෙන්න තිබුණා. පුටින් ට්‍රම්ප්ට සුබ පතලා. 

අද ලෝකයේ ජාතිකත්වය ගැන කතාකරන ප්‍රධාන පුද්ගලයන් පස්දෙනකු සිටිනවා. රුසියාවේ පුටින්, චීනයේ ජින්පින්, එක්සත් රාජ්‍යවල ට්‍රම්ප්, පිලිපීනයේ ඩුටර්ටෙ හා ලංකාවෙ මහින්ද. මේ පස්දෙනාට බිහිවෙමින් පවතින ලෝකයකට මග පෙන්වන පංච මහා පුරුෂයන් විය හැකියි. අපි බලන් ඉඳිමු.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/nalinkalaya



නලින් ද සිල්වා
2016 නොවැම්බර් 10