Main Logo

Wednesday 23 November 2016

ප්‍රශ්නය නන්දිකඩාල් කලපුවේ විසඳා ඉවරයි.

ප්‍රශ්නය නන්දිකඩාල් කලපුවේ විසඳා ඉවරයි.

අනුකමිටු වාර්තා හය ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළාට පස්සෙ නව ව්‍යවස්ථා කතාව ආයෙත් මතුවෙලා. ඉතා පැහැදිිලිව රනිල් - සම්බන්ධන් - ජයම්පති උත්සාහ කරන්නෙ බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන් සහසන්ධීය රාජ්‍යයක් ඇති කරන්න. ව්‍යවස්ථාවෙ ඒකීය කියන වචනෙ මුලින් තිබුනට වැඩක් නැහැ. ඇතුලෙ සහසන්ධීය නම්. එය හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් වගේ වැඩක්. එහෙමත් නැත්නම් බුදු සරණයි කියලා ලොරියෙ ඉස්සරහ ලියලා මරන්න හරක් ගෙනියනව වගේ වැඩක්. 1949 චෙල්වනායගම් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටෙවුවෙ ඊනියා ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් ඇති කරනවා කියලා. ඔහුගෙ ප්‍රතිපත්තිය වුනෙ දැන් ටිකක් පස්සෙ හුඟක් කියන එක. අද වෙන කොට රනිල් -සම්බන්ධන් - ජයම්පති සන්ධීයත් පසුකරගෙන සහසන්ධීය තත්වයකට ගිහිල්ල. මේ අතුරු වාර්තාවල ඉඩම් බලතල, පොලිස් බලතල පළාත්සභාවලට දෙන්න නිර්දේශ කරලා. සමගාමි ලැයිස්තුව අයින් කරලා පළාත්සභාවලට ඒ බලතල දෙන්න නිර්දේශ කරලා. ජනාධිපතිට පළාත්සභා විසුරුවා හැරීමට තිබූ බලයට අභියෝග කරලා. ජී එල් පීරිසුත් සමගාමි ලැයිස්තුව ඉවත් කරන්න කියලා යෝජනා කරලා තිබුණා. එයා මහින්දත් එක්ක චීනයට යන එක එක අතකින් හොඳයි. මහින්ද නැති වෙලාවෙ  වෙලාවෙ අවුල් කරන්න ඉඩ තිබුණා. ඒත් අනෙක් පැත්තෙන් චීනයට ගිහින් මොනව කරයි ද දන්නෙ නැහැ. චීන ජනාධිපතිත් මහින්දත් ලෝකයේ ඉන්න ජාතිකත්ව ප්‍රධානීන් පස් දෙනාගෙන් දෙදෙනකු. ඒත් ජී එල්ට ඇති ජාතිකත්වයක් නැහැ.

ඒත් අප මේ ව්‍යවස්ථා ගැන නැවත නැවත සාකච්ඡා කරන්න ඕන ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ජනතාව එක්සත් ජාතික පෙරමුණට වරමක් දීලා නැහැ. ඔවුන්ට ජාතික හෙළ උරුමයෙ මන්ත්‍රීවරුත් ඇතුළුව ඉන්නෙ මන්ත්‍රීවරු 105 දෙනකු පමණයි. ඒක තුනෙන් දෙකකට නොව සාමාන්‍ය බහුතරයකටත්, ඒ කියන්නෙ 113 දෙනකුටත්  අඩුයි. අද ඔවුන් බලයෙ ඉන්න දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යොදා ගෙන මෛත්‍රිපාලගෙ අවතාර එක්ක ඊනියා ජාතික ආණ්ඩුවක් හදලා. සංධානය මැතිවරණයට ඉදිරිපත් වුනෙ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මිසක් නව  ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න නොවෙයි. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන ජනාධිපති බලතල සම්බන්ධයෙන් හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න. 2012 මහින්ද රාජපක්‍ෂ ඒ දෙවැනි කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවකුත් ගෙනැල්ල තිබුණා. ඒක නැවතත් ගේන්න ඕන. මෛත්‍රිපාල හරියට ම අවුරුදු දෙකකට ඉස්සර මැරුව ශ්‍රී ල නි පක්‍ෂයේ කියා ගන්න මැති ඇමතිවරුන්ට නව ව්‍යවස්ථාවකට එකඟ වෙන්න කොහොමටත් බැහැ. ඔවුන්ගෙ සංධාන මැතිවරණ ප්‍රකාශයෙ එහෙම දෙයක් තිබුණෙ නැහැ.

කොහොමටත් මේ බලය විමධ්‍යගත කරන්නෙ මොන ප්‍රශ්නයක් විසඳන්න ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසාම පමණක් ඇති ප්‍රශ්නයක් නැහැ. දෙමළ ජනයාගෙ නිජභූමියක් ලංකාවෙ ඇත්තෙත් නැහැ. ඒක තියෙන්නෙ තමිල්නාඩුවෙ හා කේරළයෙ. නිජභූමියට බලය විමෟ්‍යගත කරනවා කියන්නෙ නැති එකකට, ඉංගිරිසින් විසින් ඉරි ඇඳ 1889 දි වෙන්කරපු පළාත් දෙකකට, බලය විමධ්‍යගත කිරීමක්. මේ විසඳන්න යන්නෙ ඉංගිරිසින් විසින් ඇතිකරන ලද දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය. ඒත් ඒක නන්දිකඩාල් කලපුවෙ දි විසඳලා ඉවරයි.  මේ ප්‍රශ්නය ඉංගිරිසින් දේශපාලන වශයෙන් බෞතීස්ම කෙළෙ 1833 තරම් ඈතක දි. එය ක්‍රමයෙන් විකාශය වුනා. රාමනාදන්ලා අරුණාශලම්ලා ජී ජී පොන්නම්බලම්ලා චෙල්වනායගම්ලා අමිර්තලිංගම්ලා මගින් මේ විකාශය සිදුවුනා. 1976 වඩුකොඩෙයි සම්මේලනයෙ දි ඔවුන් ඊනියා නිජභූමිය ස්වයංනිර්ණ අයිතිය ආදිය  යෝජනා හැටියට ගෙනල්ල සම්මත කර ගත්තා. ප්‍රභාකරන් ආයුධ අතට ගත්තෙ චෙල්වනායගම්ලා ඊනියා සාකච්ඡාවෙන් දිනාගන්න බැරි වෙච්ච සිංහල විරෝධී සිංහල සංස්කෘතියට හා ඉතිහාසයට නිසි තැන නොදෙන දෙමළ ජාතිවාදී ඉල්ලීම් අවි ආයුධවලින් දිනා ගන්න. ප්‍රභාකරන් චෙල්වනායගම්ගෙ දේශපාලන මුණුබුරෙක්. ඒත් ලේ නෑකමක් නැහැ. චෙල්වනායගම් පැවත එන්නෙ 1650න් පස්සෙ ලන්දේසීන් ලංකාවට කෝරමණ්ඩළ වෙරළෙන් ගෙනා වෙල්ලාලයන්ගෙන්. ප්‍රභාකරන් දහහතරවැනි සියවසේ පමණ චේර දේශයෙන් පැමිණි මලබාර්වරුන්ගෙන් පැවත එන්නෙක්. ප්‍රභාකරන් වැනි නම් වත්මන් තමිල්නාඩුවෙ නැහැ. කරන්ලා කාර්ලා ඉන්නෙ අද ඉන්දියවෙ බටහිර වෙරළෙ මිසක් නැගෙනහිර තමිල්නාඩුවෙ නොවෙයි. ටෙන්ඩුල්කාර් ඉන්නෙත් බටහිර වෙරළෙ මුම්බායිහි.  

ලේ නෑකමක් නැති වුනත් ප්‍රභාකරන් ආයුධ අතට ගත්තෙ සම්බන්ධන්ලා චෙල්වනායගම්ලා රාමනාදන්ලා ආදීන් වෙනුවෙන්. කොටි සංවිධානය දෙමළ ජාතිවාදී දෙමළ ජාතික සංධානයෙ අවිගත් දෙමළ ත්‍රස්තවාදය. 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවෙ පැරැද්දෙව්වෙ ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පමණක් නොවෙයි. සම්බන්ධන්ලාගෙ, විග්නේස්වරන්ලගෙ, සුමන්තිරන්ලාගෙ, සිද්ධාර්ථන්ලාගෙ දෙමළ ජාතිවාදයත් පැරුද්දෙව්වා. ඒක දේශපාලන විසඳුමක්. හමුදා මෙහෙයුම්වලින් ලැබෙන්නෙත් දේශපාලන විසඳුම්. දැන් ඉංගිරිසින් ඇතිකරපු දෙමළ ජාතිවාදි ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් දීල ඉවරයි. ඒ දේශපලන විසඳුම අනෙකක් නොවෙයි දෙමළ ජාතිවාදයෙ සිංහලයන්ගෙ ඉතිහාසයට ගරු නොකරන අසාධාරණ බලය විමධ්‍යගත කිරීම ඉල්ලීම දෙන්නෙ නැහැ කියන එක.  තවත් කතා අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් ගේන්න ජනවරමක්වත් අවශ්‍යතාවක්වත් නැහැ. විසඳුමක් දීල තියෙන ප්‍රශ්නයක් නැවත මතුකරන්න බැහැ. බැරි වෙලාවත් ප්‍රභාකරන් දිනුව නම් මොකක් ද ඇතිවන තත්වය. උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රටක් හා රාජ්‍යයක් බිහි කරනවා. එවිට සිංහල ජාතිකවාදීන්ට ගිහිල්ල කියන්න පුළුවන්ද ඊළම හා ඉතිරි කොටස් එකතු කරලා නැවත ලංකාව ඇතිකිරීමට සාකච්ඡා කරමු කියලා.

විසඳපු ප්‍රශ්නයක් ගැන නැවත කතා අවශ්‍ය නැහැ. හිට්ලර් පැරදුනාට පස්සෙ නට්සිවාදීන්ට චර්චිල් එක්ක නැවත සාකච්ඡා කරන්න ඉඩ දුන්නෙත් නැගැ. නට්සිවාදීන් සමරන්න ඉඩ දුන්නෙත් නැහැ. මේ නිවට ආණ්ඩුව බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට දෙමළ ජාතිවාදීන්ට බලය විමධ්‍යගත කරන්න හදනවා. එය කිසිම දේශපාලනයකට එකඟ නැහැ. එහි ඇත්තේ නිවට නියාළුකම පමණයි. කොහොමටත් දෙමළ ජනයාට මේ රටේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. තිබුණෙ ඉංගිරිසින් ඇති කරපු දෙමළ ජාතිවාදය පමණයි. ඒක නන්දිකඩාල් කලපුවෙ ගිල්ලවන්න රණවිරුවන් සමත් වුනා. ඒ ගෝඨාභයගෙ මනා කළමනාකාරීත්වයෙන් හා මහින්දගේ දේශපාලන නායකත්වයෙන්. ඒක දේශපාලන විසඳුමක්.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 23