Main Logo

Tuesday 8 November 2016

ජනමාධ්‍ය පාලනය

ජනමාධ්‍ය පාලනය

අගමැති නැවතත් ජනමාධ්‍යයට තර්ජනය කරලා. ඔහු කියාවි ඒ තර්ජනයක් නොවෙයි කියලා. ඒත් ජනමාධ්‍යවේදීන්ට පදය වෙනස් කරන්න කියලා කියන්නෙ හොඳකට නො වෙයි. ඔහු නොකියා කියන කතාව ඉතා පැහැදිලියි. තමන්ගේ පැත්තට නාවොත් ජනමාධ්‍යවේදීන්ට වෙන දේ බලාගනිමු කියනව වගේ දෙයක් ඔහු කියන්නෙ.


ඉතා පැහැදිලිව මහා බැංකු කොල්ලය ගැන මාධ්‍යවල පළවෙන පුවත් හා විශ්ලේ’ෂණ රනිල්ගෙ සතුටට හේතු වෙන්නෙ නැහැ. ජනමාධ්‍ය පාලනය කිරීමට ඔහු දත්මිටි කනවා. ඒත් ඔහුට එය තවමත් කරගන්න බැරිවුනා. සීඑන්එස් නාළිකාව තහනම් කිරීම පිිළබඳ දැන් නඩුවක් තියෙනවා. අනෙක් මාධ්‍ය ආයතන ද තහනම් කිරීමට හේතුවක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ. රනිල් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය නියෝජනය කරන තැනැත්තා. ඔහු අමරදේවගේ අවමංගල්‍යයේදීත් ඒ බව මැනවින් ප්‍රදර්ශනය කළා. ඔහු අමරදේවගේ සම්ප්‍රදාය ගැන කතාකිරීමට පටන් ගත්තේ දේවාර් සූරියසේනගෙන්. දේවාර් සූරියසේන දේශප්‍රේමී සංගීතඥයෙක්. ඒත් ජේම්ස් පීරිස්ගේ පුතකු ලෙස ඔහුට උරුම වූ සම්ප්‍රදායක් තිබුණා.

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තරම් සටකපට සංස්කෘතියක් ලෝකයේ ඇති වී නැහැ. අනෙක් සංස්කෘතීන්වල තරම් විවෘත භාවයක් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නැහැ. විශේෂයෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය එකක් කියමින් තවත් එකක් කිරීමට සමත්. අනෙක් සංස්කෘතීන් සම්පුර්ණයෙන් ම විවෘත ය කියලා මා කියන්නෙ නැහැ. බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ කියන දේට වඩා වෙනත් දේ සිදුවෙනවා.

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවට ලැබෙන සහනය කුමක් ද? ලංකාවේ පමණක් නොව ඇමරිකා එක්සත් රාජ්‍ය හා එංගලන්තය කියන ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන රටවල් දෙකේත් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද? අවුරුදු කිහිපයකට වරක් තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට කොංග්‍රසයට සෙනෙට් සභාවට යවන්න පුළුවන්. ඊට පස්සෙ ජනතාවට ඇති බලය කුමක් ද?

මැතිවරණවලට ඉදිරිපත්වීමේ දී ඒ සඳහා විශාල අරමුදල් තිබිය යුතුයි. අද පැවැත්වෙන ජනාධිපතිවරණයට ක්ලින්ටන් හා ට්‍රම්ප් කොතරම් මුදලක් වියදම් කරනවා ද? සාමාන්‍ය අයකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ද? ඇමරිකන් එක්සත් රාජ්‍යවල ඇති ජනමා්‍ය නිදහස කුමක් ද? සාමාන්‍ය අයකුට නිව්යෝක් ටයිම්ස් පත්‍රයෙහි අදහසක් පළකර ගත හැකි ද? එරට ඊනියා කතාකිරීමේ හා ලිවීමේ නිදහස පොතේ තියෙනවා. ඒත් එය ප්‍රායෝගික තලයේ පාලනය කරන්නේ කොහොම ද කියලා ඒ අය දන්නවා.

චොම්ස්කිගේ පොත් ලක්‍ෂ ගණනින් විකිණෙනවා වෙන්න පුළුවන්. ස්වදේශික ඇමරිකානුවන්ගේ පොත් ද ඒ විධියට ම අලෙවි වෙනවා. ස්වදේශික ඇමරිකානුන් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ අදහස් සමාජයට යන්නේ නැහැ. චොම්ස්කි ගැන දන්න කී දෙනකු ඒ රටේ ඉන්නවා ද? ස්වදේශික ඇමරිකානු උගතුන්ගේ අදහස් ගැන දන්නේ කී දෙනා ද? කස්තනේදා කතාකරන දොන් ජුවාන්ගේ ඉගැන්වීම් ගැන දන්නේ කී දෙනා ද? ඔවුන්ගේ අදහස්වලට සමාජයේ ඉඩ ඇති බවක් පේන්න තියෙනවා. ඒත් ඒ අදහස් සමාජයට යන්නේ නැහැ.

ලංකාවේ කිස්තියානි සංස්කෘතියට ආධිපත්‍යය තිබුණත් බටහිර රටවල ආකාරයට ව්‍යාජ නිදහසක් දීමට තවම හැකි වී නැහැ. ඒ කියන්නෙ ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති කරගෙන ගැනීමට මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයන්ට හැකි වී නැහැ. ඒ නිසා ඔවුන්ට ඉතා නග්නව ම  ජනමාධ්‍ය පාලනය කිරීමට සිදුවෙනවා. රනිල් අද සූදානම් වන්නෙ නග්නව ජනමාධ්‍ය පාලනය කිරීමට. ඔහු දැන් කිහිප වරක් ම පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත ජනමාධ්‍යයට තර්ජනය කරලා තියෙනවා.

ඒ හැම තැනක ම ඔහු කියන්නෙ ඉස්සර වගේ දැන් සුදු වෑන් එවන්නෙ නැහැ කියලා. ඉස්සර සුදු වැන්වලින් උස්සපු ජනමාධවේදීන් කවු ද කියා ඔහු කියන්නේ නැහැ. එකල ඔහු පාරාලිමේන්තුවේ දී කියා සිටියේ ලසන්ත වික්‍රමතුංගගේ ගාතනය ගැන සරත් ෆොන්සේකාට ඇඟිල්ල දික්කළ හැකි බවයි. අද සරත් ෆොන්සේකාට ඔහු ඇඟිලි දික්කරන්නේ නැහැ. ඒත් පාර්ලිමේන්තුවේ දී බටහිර පන්නයේ විහිළුවක් කරලා ඔහු දැන් සරත් ෆොන්සේකා දෙසට බෙල්ල දික්කරලා බලනවා වෙල් විදානෙ හිනාවෙනව ද කියලා.

ඉංගිරිිසියෙ වයිට් ලයිස් කියලා කියමනක් තියෙනවා. ඒ සුළු නෙවැදගත් බොරු වෙන්නත් පුළුවන්. ඇත්ත විකෘත කරන ඇත්තෙන් වෙන් වූ යන තේරුමකුත් එහි තියෙනවා. වයිට් ලයිස්වලට අප සුදු බොරු කියලා කිවුවොත් එදා කොහොම වුනත් අද ඕන තරම් සුදු බොරු තියෙනවා. මේ සුදු බොරු සුදු වෑන්වලට වඩා භායානකයි.  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/nalinkalaya



නලින් ද සිල්වා
2016 ජූනි 08