Main Logo

Friday 11 November 2016

මගේ ලෝකය සම්මන්ත්‍රණය

මගේ ලෝකය සම්මන්ත්‍රණය


මගේ ලෝකයට අවුරුදු තිහක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයට බොහෝ දෙනකු සහභාගි වී සිටියා. ඔවුන් පැමිණියේ කුමකට ද කියා මට තේරෙන්නේ නැහැ. ඇතැම් විට මහින්ද රාජපක්‍ෂ පැමිණෙන බව සඳහන් වූ නිසා ඔවුන් පැමිණෙන්න ඇති. සාමාන්‍යයෙන් අපේ සම්මන්ත්‍රණයකට විසිපස්දෙනකුට වඩා සහභාගි වන්නේ නැහැ. ඒත් එදින පන්සීයයකට වැඩි පිරිසක් සහභාගි වුනා. ඔවුන් ඇතැම් අවස්ථාවල අත්පොළොසන් දුන්නා. ඔවුන් කී දෙනකුට මගේ ලෝකයෙන් කියැවෙන්නේ කුමක් ද කියා තේරුම් ගියා ද කියා කියන්න බැහැ. සම්මන්ත්‍රණය ජනමාධ්‍යයේ වාර්තා වී ඇති ආකාරයෙන් හා ලැබුණු ප්‍රතිචාර අනුව නම් පැහැදිලි වන්නේ ඔවුන්ට මගේ ලෝකය ගැන අබමල් රේණුවකවත් තේරුමක් නැති බවයි. ඒ අනුව  කණගාටුවෙන් නමුත් කිවයුත්තේ සම්මන්ත්‍රණය අතිශයින් ම අසාර්ථක බවයි.

දෙවියන්ගේ දැනුම ගැන විවිධ කතා පළවෙනවා.  ඉන්ද්‍රියානුභූතවාදීන්ට දෙවියන් නැහැ. සම්මන්ත්‍රණය අවසන් වූ පසු ඒ ශාලාවේ දී ම මා හමු වූ එක්තරා නීති ශිෂ්‍යයකු හා උපාධි අපේක්‍ෂයකු කිවුවේ දෙවියන් නොමැති බවයි. මා ඔහුගෙන් ගුරුත්වාකර්ෂණය තිබේ දැයි ඇසූ විට ඔහු කීවේ ඒ ඇති බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ දෙවියන් නොපෙනෙන බවත් එහෙත් ගුරුත්වාකර්ෂණය පෙනෙන බවත්. යමක් අතහැරිය විට එය වැටෙන බව පෙනෙන බවත් එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය නිසා බවත් ඔහු කීවා. මේ ඉන්ද්‍රියානුභූවාදය මත පදනම් වී ඊනියා හේතුවක් ඇතැයි සිතමින් කියන කතාවක්. යමක් වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා බව අයින්ස්ටයින් කියා ඇති බව ඔහු දන්නේ නැහැ. නිවුටන් ද අයින්ස්ටයින් ද කියා ඇත්තේ කතන්දර බවත් ඊනියා හේතු නැති බවත් ඔහුට තේරුම් කර දෙන්න බැහැ. එහෙත් මගේ ලෝකයට අදාළ ප්‍රශ්නයක් ඔහු ඇසුවා. අවාසනාවකට මාධ්‍යයට ඒ ගැන කිසිම වැටහීමක් නැහැ.

සම්මන්ත්‍රණයේ දී මා කළ කතාව දෙරණට වැටහී නැහැ. ඔවුන් වඩාත් සැලකීල්ලක් යොමු කර තිබුණේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් හා මහින්ද රාජපක්‍ෂ ලිපි ගොනු (ෆයිල)් ගැන කරපු කතාවලට. මගේ කතාවට එතරම් තැනක් දී තිබුණේ නැහැ. මා ට්‍රම්ප් ගැන කී දෙයක් පමණක් හයයි තිහට ප්‍රචාරය කර තිබුණා. දොළහයි තිහේ මගේ කතාවට කිසිම තැනක් දී නැහැ. ඒ සියල්ල් සන්දර්භයෙන් පිට. මගේ ලෝකයේ මුලික තේමාව දැනුම පිළිබඳවයි. එහෙත් මාධ්‍යවල ප්‍රචාරය වන්නේ අදාළ නොවන දේ. මාධ්‍යවල ඉන්නේ ප්‍රබුද්ධයන්. මා ට්‍රම්ප් ගැන ජාතිකත්වය මත පදනම් ව කී කිසිදෙයක් ඔවුන් වාර්තා කෙළේ නැහැ. එසේ නොකළත් ඔවුන් ට්‍රම්ප්ගේ ජාතිකත්වය ගැන පසුව ජාතික හෙළ උරුමය කියන දෙයට තැනක් ලබා දුන්නා.  මා කියන දෙයට ප්‍රවෘත්ති වටිනාකමක් නැති වුවත් ඒ දෙය ම වෙන අයකු කී විට එයට ප්‍රවෘත්ති වටිනාකමක් ලැබෙනවා. මා මාධ්‍යවේදීනාට කිසිසේත් ම වැදගත් පුද්ගලයකු නොවන බව මා කලක සිට දන්නවා.

මා ට්‍රම්ප් ගැන කීවේ ජාතිකත්වය අවධාරණය කරමින් ඊනියා නූතනත්වයේ හෙවත් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකය කඩාවැටෙන බව කියමින්. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ඊනියා ජාත්‍යන්තරවාදයත් ඒ පදනම් වී ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චිනාතනයත් කඩා වැටීම පටන් ගත්තේ පසුගිය සියවසේ තුන්වැනි දශකයේ ක්වොන්ටම් යාන්ත්‍රිකය හා ගර්ඩ්ල් ප්‍රමේයය සමග බවත් මා කී දේ ඊනියා ප්‍රබුද්ධයන්ට වැටහෙන්නේ නැහැ. මගේ ලෝකය කෘතියෙන්වත් ඒ හා සම්බන්ධ පැවැත් වූ සම්මන්ත්‍රණයෙන්වත් එතරම් ඵලක් වී නැහැ. සමහරුන් අහන්නේ ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ ක්‍රිස්තියානි අය නොවේ ද කියා. ඔව්  ඔවුන්ගේ රටේ ජාතික චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. එය සිංහල බෞද්ධ විය යුතු යැයි කිසිවකු විශ්වාස කරන්නේ නම් ඔහුට මගේ දේශනය අබමල් රේණුවක්වත් වැටහී නැහැ. මෙයට එක් හේතුවක් වී ඇත්තේ ගුණදාස අමරසේකර මහතා රුසියන් විප්ලවය ගැන විජාතිකයකු ලියූ ලිපියක තිබූ නැෂනල් තෝට් යන්න ජාතික චින්තනය ලෙස පරිවර්තනය කර  ප්‍රචාරය කිරීම. මා සම්මන්ත්‍රණයේ දී කියා සිටි පරිදි මගේ ලෝකයේ ඇත්තේ චින්තනය යන සංකල්පය මිස ජාතික චින්තනය කියන ලිහිල් අදහස නොවෙයි. එහෙත් මා සම්මන්ත්‍රණයේ දී කියා සිටියේ මා චින්තනය යන සංකල්පය යට කර ජාතික චින්තනය යන අදහසට තැන දුන් බවයි. මා යම් ජාතියක ජනවර්ගයක චින්තනය ඒ ජාතියේ හෝ ජනවර්ගයේ හෝ ජාතික චින්තනය ලෙස මුලදී ම හැඳින් වූ බවත් චින්තනය යන සංකල්පය යටපත් කළ බවත් සම්මන්ත්‍රණයේ දී මා කියා සිටියා. මේ චින්තනය හා ජාතික චින්තනය අතර කතාව සමාජයට ගිහින් නැහැ. ඇමරිකා එක්සත් රාජ්‍යවල චින්තනය ගීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වන අතර ඔවුන්ගෙ සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. මා ඔවුන්ගේ සංස්කෘතියට පක්‍ෂත් නැහැ, විරුද්ධත නැහැ. මගේ විරුද්ධත්වය ඔවුන්ගේ චින්තනය හා සංස්කෘතිය ලෝකයේ අධිපතිවාදී චින්තනය හා සංස්කෘතිය බවට පත්කිරීම ගැනයි.

මේ අතර එක් අයකු තම මුහුණු පොත් ගිණුමේ කියා ඇත්තේ මා 2014 දී මහින්ද දිනයි ද නැත්ද යන්න දැනගැනීමට ඔහු හමු වූ බවයි. මා මහින්ද දිනනවාද නැද්ද යන්න දැනගැනීමට කිසිම ජ්‍යොතිෂවේදියකු හෝ දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි කිසිවකු  හෝ හමු වී නැහැ. කණ්ඩායම් තුනක් ඔවුන්ගේ වුවමනාවට මා හමු වී රටට වෙන විපත දැක මහින්ද පරාජය වන බව මට කී බව නම් ඇත්තයි. දෙවියන්ගෙන් ලබාගන්නා දැනුම ගැන පසුව කතාකරනානම්. එය අහවල් තරඟයෙන් දිනන්නේ මොන අශ්වයා ද කියා දැනගැනීමක් නොවෙයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/nalinkalaya


නලින් ද සිල්වා
2016 නොවැම්බර් 11