දෙමළ මුස්ලිම් බෙදීම
දහනවවැනි සියවසේ මුල මෙරට මුස්ලිම් අනන්‍යතාවක් හෝ දෙමළ අනන්‍යතාවක් හෝ තිබුණේ නැහැ. මෙරට සිංහල ජාතික අනන්‍යතාවක් නම් තිබුණා. ඉංගිරිසින් සිංහල ජාතික අනන්‍යතාව උඩරට සිංහල හා පහතරට සිංහල යනුවෙන් බෙදීමට උත්සාහ කළා. ඇතැම් සිංහලයන් ද එයට හසුවුනා. විශේෂයෙන් ම සිංහල නායකයන් එසේ සිතුවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ආපසු පැමිණි බණාඩාරනායක මහතා ද මුල් කාලයේ දී උඩරට සිංහල හා පහතරට සිංහල යනුවෙන් සිතුවා. එහෙත් ඉතා ඉක්මණින් ම සුද්දන් ඉගැන් වූ ක්‍රමයට නොසිතන්නට එතුමාට හැකි වුනා. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පැමිණි විගස එතුමා ෆෙඩරල් ක්‍රමයක් ගැන ද කතාකළා. ඒ පොන්නම්බලම් අරුණාශලම්ලා අනුගමනය කරමින්. අරණාශලම් හින්දු මහා සභාවක් පිහිටුවා ගෙන තිබුණා. බණ්ඩාරනායක මහතා සුද්දන් උගන්වා තිබූ ක්‍රමයක් අනුගමනය කරමින් මෙරටට දළ වශයෙන් ජනවර්ග මත පදනම් වූ ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කළා. එහි උඩරට සිංහලයන්ට හා පහතරට සිංහලයන්ට වෙන වෙන ම පාලන ඒකක යෝජනා කර තිබුණා.
නලින් ද සිල්වා
අද සමහරුන් තම පඬි බව පෙන්වන්නට ෆෙඩරල් ක්‍රමයක් මුලින් ම යෝජනා කෙළේ බණ්ඩාරනායක මහතා කියා කියනවා. මට මතක හැටියට රාජිත සේනාරත්න කියලා තිබුණේ තම පක්‍ෂයේ නිර්මාතෘවරයා ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කර තිබූ බවයි. ඔහු එතුමා අනුගමනය කරන බව ද කියා තිබුණා. බණ්ඩාරනායක මහතා තම දේශපාලනයේ ළදරු අවධියේ සුද්දන් අනුව කල්පනා කරමින් කී දෙයක් ඇතැම් පඬියන් සෘෂි භාෂිතයක් මෙන් යොදාගන්නේ තම හෙළුව වසා ගැනීමටයි. මෙහි දී මේ පඬියන් අමතක කරන කරුණක් තිබෙනවා. ඒ බණ්ඩාරනායක මහතා දේශපාලන වශයෙන් පරිණත වෙත්ම සුද්දන්ගෙන් ලබාගත් අදහස් අත්හැර දැමූ බව. ඒ අනුව එතුමා ෆෙඩරල් අත්හැරියා. එපමණක් නොව උඩරට පහතරට සිංහල භේදය ද අත්හැරියා. බණ්ඩාරනායක මහතා තම දේශපාලනය ආරම්භයේ දී ප්‍රකාශ කළ ෆෙඩරල් කතාව පිලිගන්නා පඬියන් එතුමා එකල කී උඩරට පහතරට භේදය ද පිළිගන්නවා ද? මේ කබරගොයා තලගොයා කරගැනීමේ කතාවක් පමණයි.
දහනවවැනි සියවසේ අවසන් භාගය වන තුරුම මෙරට දෙමළ අනන්‍යතාවක් තිබුණේ නැහැ. අප කලින් කියා ඇති පරිදි ඉන්දියාව කියන රට ඇතිවුනේ සුද්දන් ඒමෙන් පසුව. රනිල් වික්‍රමසිංහ බුදුදහම ඉන්දියාවෙන් පැමිණි බව කියන විට ඔහුගේ නොදැනුවත්කම පමණයි ප්‍රකාශ වන්නේ. බුදුදහම පාඨලීපුත්‍රයෙහි අශෝකගෙන් ලැබුණු බව කිවා නම් එහි යමක් ගැබ් වෙනවා. ඒ කොහොම වෙතත් සිදුහත් කුමරු ශාක්‍ය වාංශිකයකු මිස ඉන්දියානුවකු නො වෙයි. ඉන්ද්ියාවක් නොතිබු කලක ඉන්දියානුවකු සිටිය නොහැකියි. ලන්දේසීන් මෙරට වෙල්ලාල ජනයා ගෙනාවේත් ඉන්දියාවෙන් නොවෙයි. ඔවුන් ගෙන එනු ලැබුයේ කෝරමණාඩල වෙරළෙන්, හෙවත් චෝලමණ්ඩල වෙරළෙන්. ඒ වෙල්ලාලයන්ට ඉන්දියානු අනන්‍යතාවක්වත් දෙමළ අනන්‍යතාවක්වත් තිබුණේ නැහැ. ඔවුන් දෙමළ කතාකරන වෙල්ලාලයන් පමණක් වූවා. පසු කලක ඉංගිරිසින් ඔවුන් හැඳින්වූයේ මලබාර්වරුන් ලෙසයි. දහහතරවැනි සියවසේ මලබාර ප්‍රදේශයෙන් මෙහි පැමිණි මුස්ලිමුන් කතාකෙළේත් දෙමළ නමුත් මලයාලම් මිශ්‍රණයක් සමග. ඔවුන්ට හා වෙල්ලාලයන් සියල්ලන්ට ඉංගිරිසින් මලබාර්වරුන් කියන්න ඇති.
ඉංගිරිසින් සිංහල අවුරුද්දට නිවාඩු දෙන විට එය හැඳින්වූයේ සිංහල හා හින්දු අවුරුද්ද නමින් මිස සිංහල හා දෙමළ අවුරුද්ද ලෙස නොවේ. මෑතක් වන තුරුම ඉංගිරිසින් අනුව යමින් අවුරුද්ද හඳුන්වනු ලැබුයේ සිංහල හා හින්දු කියායි. එය පඬියන් සිංහල හා දෙමළ අවුරුද්ද කෙළේ ඉතා මෑතක. එයින් ද කියැවෙන්නේ දහනවවැනි සියවස අගත් මෙරට දෙමළ අනන්‍යතාවක් නොතිබූ බවයි. එසේ වූ කල 1833 දී ව්‍යවස්ථා සභාවට සිංහලයන් වෙනුවෙන් එක් අයකුත් දෙමළ ජනයා වෙනුවෙන් එක් අයකුත් බර්ගර්වරුන් වෙනුවෙන් එක් අයකුත් යනුවෙන් නිල නොවන මන්ත්‍රින් පත්කෙළේ ය යන කතාව වැරදියි. මාත් එය කල්පනාවට ගත්තේ නැහැ. පසුගිය දා පැවති සම්මන්ත්‍රණයේදීත් මා පැවසුවේ ව්‍යවස්ථා සභාවට දෙමළ ජනයා වෙනුවෙන් එක් අයකු පත්කළ බවයි.
ව්‍යවස්ථා සභාවට ඒසේ මන්තීවරයකු පත්කර ඇත්තේ දෙමළ කතාකරන ජනයා වෙනුවෙන්. ඒ බව පැහැදිලි වන්නේ මුස්ලිම්වරුන් වෙනුවෙන් නියෝජිතයකු පත්නොකළ බැවින්. එහෙත් දහනවවැනි සියවසේ අගභාගය වන විට ඉංගිරිසින් මෙරට ජනයා වෙනත් අයුරකින් වර්ග කරන්න ගත්තා. ඉන්දියාවේ දෙමළ අනන්‍යතාව තහවුරු වූ පසු මෙරට ද දෙමළ අනන්‍යතාවක් ඇති වූවා. 1871 දී පවත්වන ලද ප්‍රථම සංගණනයේ දී සිංහල, දෙමළ, මුවර් “යනුවෙන් සඳහන් වුනා. ඉංගිරිසියෙන් ඒ වර්ගවලට රේස් යන්න යෙදුනා. මෙයින් පසු මුවර් මුස්ලිම්වරුන් තම අනන්‍යතාව ගැන උද්ඝෝෂණ කළා. ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිමුන් වෙනුවෙන් වෙන ම නියෝජිතයකු පත්කළ යුතු යැයි අබ්දුල් අසීස් වැනි නායකයන් කියා හිටියා. එහෙත් මෙහි දී ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයකු වූ පොන්නම්බලම් රාමනාදන් පැවසුවේ තමා දෙමළ කතාකරන ජනයා නියෝජනය කරන බවත් මුස්ලිමුන්ට වෙන ම නියෝජිතයකු පත් නොකළ යුතු බවත්. මෙයිනුත් පැවසෙන්නේ 1833 දී මෙරට දෙමළ නමින් වාර්ගික අනන්‍යතාවක් නොතිබූ බවයි. එය රාමනාදන් ම දහනවවැනි සියවසේ අග භාගයේදීත් පිළිගෙන තිබීම වැදගත්.
එහෙත් මුස්ලිම් නායකයන් දිගින් දිගට ම උද්ඝෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංගිරිසින් 1889 දී ඔවුන්ට ද නියෝජිතයකු ලබාදුන්නා. මෙරට මුස්ලිමුන්ට ආගමික අනන්‍යතාව හැරෙන්න වෙනත් අනන්‍යතාවක් කිසිදා තිබුණේ නැහැ. ඔවුන් දෙමළ මුස්ලිමුන් නොව දෙමළ කතාකරන මුස්ලිමුන් පමණක් වූවා. කෙසේ වෙතත් ඉංගිරිසින් 1889 දී ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන් සංඛ්‍යාව අට දක්වා වැඩි කළා. යුරෝපීයයන් තුන් දෙනකු, උඩරට සිංහල එක් අයකු, පහතරට සිංහල එක් අයකු, දෙමළ එක් අයකු, මුස්ලිම් එක් අයකු හා බර්ගර් එක් අයකු ලෙස ඒ ගැණුනා. ඉංගිරිසින් කෙළේ සිංහලයන් බෙදීමත්, දෙමළ කතාකරන ජනයා දෙමළ හා මුස්ලිම් යනුවෙන් බෙදීමත්. එය එක් පැත්තකින් ඔවුන්ගේ බෙදා පාලනය කිරීම ඉදිරියට ගෙන යෑමක්. එහෙත් එහි දී ද සමස්තයක් ලෙස සිංහලයන්ට හා දෙමළ කතාකරන ජනයාට ලැබුණේ සමාන නියෝජනත්වයක්. බණ්ඩාරනායක මහතාට බලපෑවේ ඉංගිරිසින්ගේ මේ බෙදීම. එහෙත් බණ්ඩාරනායක මහතා මේ බෙදීම පැත්තකට දමා පසුව සිංහල මහා සභාව පිහිටෙවුවා. අෂ්රොෆ් දේශපාලනයට පැමිණෙන තෙක් මුස්ලිම් හා දෙමළ දේශපාලන වෙන වෙන ම ගමන් කළා.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 14