Main Logo

Wednesday 2 November 2016

බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර නාටකය ඉවර ද?


බැඳුම්කර මගඩිය ගැන එක දිගට පස්වැනි දවසටත් කතාකරන්න වීම ගැන කණගාටු වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය අඩියක් පෙරට තබා අඩි දහයක් පස්සට ගෙන. ඊයේ මා කිව්වේ ඒකාබද්ධ විපක්‍ෂය නිවැරදි පාරට ඒමට උත්සාහ ගන්න බවක් පේනවා කියා. ඒත් උත්සාහය අවසන් වෙලා. රනිල් තව දුරටත් අගමැති විධියට කටයුතු කරාවි. ජ වි පෙ විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්‍ෂෙත් රනිල් රකිනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙ මන්ත්‍රීවරුන් පිරිසක් අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගෙ බෑණාට මෙන් ම රනිල්ට විරුද්ධවත් අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම ඉදිරියට ගිය එක හොඳයි කියලා මා ඊයේ කිවුවා. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා.

ඒ කියන්නෙ ඔවුන් අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසමට කළ පැමිණිල්ල අස්කර ගත් බව නොවෙයි. ඔවුන් එතරම් තදින් රනිල්ට විරුද්ධව ක්‍රියා කරන්නෙ නැති පාටයි. මා පිළිගන්නවා සාමාන්‍ය මහජනයාට මහා බැංකු බැඳුම්කර වංචාව කියන එක එතරම් තේරෙන්නෙ නැති බව. රත්තරන් අස්සයන් ගැන මාළිගා ගැන රේස් දුවන කාර් ගැන කියන කොට මහජනයාට තේරෙනවා. බැඳුම්කරේ විතරක් නොවෙයි බිලියන ගණනුත් මහජනයාට තේරෙන්නෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න පඬියන් ජනතාවට තේරෙන බසකින් බැඳුම්කර වංචාව ගැන කියනව වෙනුවට ඊනියා විද්වත් කමිටුවක් පත්කරන්න යනවා බැඳුම්කර වංචාවෙන් වෙච්ච පාඩුව හරියට ම නිගමනය කරන්න. බන්දුල ගුණවර්ධන හැමතිස්සෙ ම වැඩකට නැති බොරු ආර්ථික විද්‍යාවක් ගැන කතාකරනවා. භෞතික විද්‍යාවත් පට්ටපල් බොරු වෙච්ච වෙලාවෙ ආර්ථික විද්‍යාවක් ගැන කතාකරන්නෙ අහවල් දේකට ද? ලංකාවෙ මහා බැංකුවෙ කීර්තිනාමයට හානියක් වෙලා කියල බන්දුල කියන්නෙ. මේවා නිකම් පඬි කතා විතරයි.

දැන් හැමෝම කතා කරන්නෙ හඳුන්නෙත්ති වාර්තාව නීතිපතිට යැවීම ගැන. නීතිපති ඒ ගැන තීන්දුවක් දෙන එක අර සීමා නීර්ණ කමිටුවේ තීරණ එනවා වගේ වැඩක්. දන්නෙ නැත්නම් මුස්තාෆාගෙන් අහන්න. අප කුඩා කල ළමා ගීතයක් තිබුණා. මට ගීත කවි ගාථා පාඩම් හිටින්නේ නැහැ. මා දන්නෙ ජාතික ගීය හා ගාථා හා සූත්‍ර කිහිපයක් පමණයි. මට මතක හැටියට ඒ ගීතයෙ මුල් පද මෙැහමයි. මුස්තෆා මම මුස්තාෆා අරාබි දේශේ…… ….. නීතිපතිගෙ වාර්තාවෙන් පස්සෙලු අගමැතිට විරුද්ධ විශ්වාස භංගෙ ගේන්නෙ. ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂෙ හඳුන්නෙත්ති වාර්තාව ගැන විවාදයක් ඉල්ලලා. ලෙනින්ගෙ ප්‍රවාද වැරදි වුනත් ඔහු එංගලන්තෙ පාර්ලිමේන්තුව හැඳින්නුවෙ කතා සාප්පුවක් කියලා. අද මේ රටේ ජනමාධ්‍යකාරයො කරන්නෙ දියවන්නාවෙ කතා සාප්පුවෙ ෂොපිං යන එක.

විශ්වාස භංගෙ ගෙනාවත් මෛත්‍රිපාලගෙ ඇමතිවරු ඒකට විරුද්ධ වෙනවා. අමරවීර ඇමති ඊයෙ කිවුවෙ ඒකයි. අගමැති මහා බැංකු මංකොල්ලෙට සහභාගි වෙලා නැතැයි කියලා හඳුන්නෙත්ති  වාර්තාවෙන් කියැවෙන බව දැන් එක එක්කෙනා කියනවා. ඇතැම් පඬියන් කියන්නෙ බැඳුම්කර වංචාව උසාවියට ගියාට පස්සෙ රනිල්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරනව කියලා. නීතිපති ද  ඒහෙම කරන්නෙ.  හඳුන්නෙත්තිට ඕන කෙනකුට පාද සටහන් ලියන්න කියලා අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවට අගමැති ගැන කිවුව දේ සඳහන් කරන්න තිබුණා. ඩිව් ගුණසේකර වාර්තාව ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඊනීියා සදාචාරයක් නිසා ද? කතා සාප්පු සම්ප්‍රදායක් නිසා ද? ඩිව් ගුණසේකර වාර්තාව ප්‍රසිද්ධ කරන්න ඉල්ලලා මා ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහිල්ල මාස දහසයක් විතර වෙනවා. තාම නඩු  තීන්දුව නැහැ. ජනමාධ්‍යවල නිකමටවත් ඒ ගැන සඳහන් වුනෙ, වෙන්නෙ නැහැ. ජනමාධ්‍යවලට ඒ නඩුව වැදගත් නැහැ.

වැට් බද්දට විරුද්ධව පෙළපාලි ගිය ඒකාබද්ධ විපක්‍ෂෙට බැඳුම්කර මගඩියට විරුද්ධව පාර්ලිමේන්තුවෙන් පිටත මොකුත් කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ දෙතුන් දෙනකු ජනමාධ්‍ය වීරයො වෙලා. හැමදාම ඒ අය ව අප රූපවාහිනියෙ දකිනවා. කැමරාව ඉදිරියේ බොරු පඬි කතා කියන එක විතරයි ඔවුන් කරන්නෙ. ජනමාධ්‍ය ඒ කතා ප්‍රචාරය කරන්නෙ හරියට ලෝක ඉතිහාසෙ කියවෙච්ච ප්‍රබුද්ධ ම කතාව හැටියට සලකලා. අද මේ ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ ජ වි පෙරමුණට අමතර ව ඒකාබද්ධ විපක්‍ෂෙ ද කියලා අහන්න වෙනවා. රනිල්ටයි ආණ්ඩුවටයි දෙයියන්ගෙ ම පිහිටයි.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 නොවැම්බර් 02