Main Logo

Monday 7 November 2016

බොරු හා පට්ටපල් බොරු


බොරු හා පට්ටපල් බොරු

අප දැනුම නිර්මාණය කරන්නේ, එනම් සංස්කරණය කරන්නේ අපේ අවිද්‍යාව නිසා. මෙහි අවිද්‍යාව කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම නොදැනීම. මුළු ලොව ම අපේ නිර්මාණයක්. එකිනෙකාගේ ලෝක වෙනස් වෙනවා. මගේ ලෝකය ඔබේ ලෝකයෙන් වෙනස්. මගේ ලෝකය නිර්මාණය කෙරෙන්නේ මා විසින්. එනම් නැති මා කෙනකු විසින්. නැති මා ඇති මා කෙනකු කිරීම තමයි පළමු නිර්මාණය. ඒ මගේ අවිද්‍යාව. මෙහි කාට හරි හිතෙන්න පුළුවන් අවිද්‍යාව නම් හේතුව නිසා දැනුම සංස්කරණය කරනවා කියා. එහෙත් මෙය කිව යුත්තේ අවිද්‍යාව වේ නම් සංස්කාර හටගනී ලෙස. අවිද්‍යාව නැත්නම් සංස්කාර හටගන්නේ නැහැ. අවිජ්ජා පච්චයා සංකාරා යන්න නැති මා සංස්කරණය කරන්නේ එලෙසයි.

අපට අපේ දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් දැනුම ලබාදෙනවා කියලා අප හිතනවා. ඒත් ඒ අය කියන දැනුම අප ලබාගන්නේ අපට ම ආවේණික ආකාරයකට. අප ලබාගන්නේ අප නිර්මාණය කරන දැනුමක් මිස වෙනත් අය ලබාදෙන දැනුමක් නො වෙයි. මා නිර්මාණය කරන දැනුම මට සාපේක්‍ෂයි. එනම් මගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංූස්කෘතියට සාපේක්‍ෂයි. මගේ මනසත් ඉන්ද්‍රිය පද්ධතියත් සංසාර ගමනෙන් ලුබුණු දේ. ගුරුවරුන් උගන්වන දේ අප ලබාගන්නේ, නිර්මාණය කරන්නේ සංසාකරණය කරන්නේ අපට සාපේක්‍ෂව. අප සියළු දෙනාම එකම දෙයක් නිර්මාණය කරගන්නේ නැහැ, එනම් සාමාන්‍යයෙන් කියන විධියට ලබාගන්නේ නැහැ. ගෝලයන් හැමදෙනාම ගුරුවරයා කියන දේ එකම විධියට ලබාගන්නේ නැහැ.

මේ දැනුම අප අසා ලබාගන්නවා විය හැකියි. එසේ නැත්නම් පොතකින් පතකින් ලබාගන්නවා විය හැකියි. පරම්පරාවෙන් ලබාගන්නවා විය හැකියි. මේ මොන ලබාගැනීමත් සංස්කරණ, එනම් නිර්මාණ. ඒ අපේ සංස්කරණ. මේ අතර තර්ක කිරීමෙනුත් දැනුම ලබාගන්නවා. තර්ක කරන්නේ මොනවා හරි පදනම් කරගෙන. මෙසේ කරන්නේ බොහෝ විට අප නිරීක්‍ෂණය කරන දේ තේරුම් ගැනීමට කියලා අප කියනවා. අප යම්කිසි දෙයක් උපකල්පනය කරලා යම් යම් නීති ටිකක් උපකල්පනය කරලා අනුමාන ලබාගන්නවා. ඒ ලබාගන්නා අනුමාන අර නිරීක්‍ෂණය කරන දේ සමග සංගත වෙනවා කියලා හිතනවිට, පේනවිට, අප කියනවා අප උපකල්පනය කරපු දේ හරි කියලා. මේ දැනුම අනුමානයෙන් ලබාගන්නා, එනම් සංස්කරණය කරන දැනුම.

ඒක එතරම් නරක නැහැ. ඒත් අර උපකල්පනය බොරුවක්. අර කලින් කී දැනුම් ද බොරු. අප සංස්කරණය කරන දේ බොරු. මා කියන සංකල්පයත් බොරු. ඒත් ඒ බොරු හා මේ අනුමාන බොරුව අතර වෙනසක් තියෙනවා. අනුමාන බොරුව කතන්දරයක් පමණයි.  අනුමාන බොරුවත් පංචෙන්ද්‍රියවලට ගෝචර නම් ඒකත් එච්චර ප්‍රශ්නයක් නොවෙයි.  ලංකාවේ හැමෝම වගේ මේ කතන්දර, නැත්නම් බොරු ගොතනවා. ආවා කල්ලිය කියා එකක් නිරීක්‍ෂණය කරලා තියෙනවා. ඒ ගැන එක එක්කෙනා විවිධ කතන්දර හදනවා. රාජිත වගේ ඇමතිවරුත් කතන්දර හදනවා. දේශපාලනඥයන් තමයි වැඩියෙන් ම කතන්දර හදන්නෙ. ඒත් මේ කතන්දරත් පංචේන්ද්‍රිය ගෝචරයි. රාජිතගෙ  කතන්දරේ එන ගෝඨාභය එනම් හිටපු ආරක්‍ෂක ලේකම් පංචෙන්ද්‍රිය ගෝචරයි. සමහර කතන්දර මනසෙන් මවාගන්න පුළුවන්. සිංහලයන්ට එවැනි කතන්දරත් හදන්න පුළුවන්. අපි අපාය ගැන දිව්‍ය ලෝකය ගැන කතන්දර දන්නවා. එවැනි කතන්දර අපට ප්‍රත්‍යක්‍ෂ නැහැ.

මේ හැම කතන්දරයක් ම බොරුවක්. මා කියලා කෙනකු ඉන්නවා කියනවා වගේ ම බොරුවක්. ඉන් සමහර ඒවා ප්‍රත්‍යක්‍ෂ. තවත් ඒවා, දිව්‍ය ලෝකය වගේ ඒවා, අපට මනසෙන් මවාගන්න පුළුවන්. ඒවා ප්‍රත්‍යක්‍ෂ නොවෙයි. හැබැයි සමහරුන්ට, ආධ්‍යාාත්මික ව දියුණු අයට ඒවත් මනසින් දකින්න පුළුවන්. ඒවා ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ. ප්‍රත්‍යක්‍ෂ වුනත් නැතත් ඒ සියල්ල අපේ නිර්මාණ, සංස්කරණ. මේ සියල්ල සංයුක්ත කතන්දර. සංයුක්ත බොරු. අවිද්‍යාව ඇති විට හටගන්න බොරු.

මේ සංයුක්ත සංකල්පවලට, කතන්දරවලට අමතරව තවත් සංකල්ප ප්‍රවාද තියෙනවා මනසින් මවාගන්න බැරි. අනන්තය අපට මනසින් මවාගන්න බැහැ. ඇතැම් දෙවිවරුන්ට, භූතයන්ට ඒ හැකිවෙන්න පුළුවන්. ඒත් කිසිම මිනිසකුට බැහැ. ඒ කිට්ටුවට ආවා නම් ඒ රාමනුජන් විතරයි. ඒ නමක්කාල් දෙවඟනගෙ පිහිටෙන්. රාමනුජන් බටහිර අර්ථයෙන් ගණිතඥයෙක් නොවෙයි. අනන්තය තියා සරල රේඛා ඛණ්ඩයක්වත් අපට මනසින් මවාගන්න බැහැ. පුළුවන් නම් දිගක් පමණක් ඇති සරල රේඛා ඛණ්ඩයක් මනසින් මවාගන්න. මේවා වියුක්ත සංකල්ප. ඒවත් අපේ නිර්මාණ පමණයි. ඒවා පට්ටපල් බොරු.

සියළු කපුටන් මනසින් මවාගන්න පුළුවන් ද? ඒත් අප සියළු කපුටන් කළුපාට කියා කියනවා. ඒ අගත අනගත සියළු කපුටන් ගැන. සියළු වස්තු ගැන කතාකරන විට උද්ගමනයක් වෙනවා. උද්ගමනයට ඉංගිරිසියෙන් ඉන්ඩක්ෂන් කියලා කියනවා දැන් මේ මනසින් මවාගන්න බැරි .වියුක්ත දේ තේරුම් ගන්න අපි වියුක්ත කතන්දර ගොතනවා. ඒවත් පට්ටපල් බොරු. දුටු නොදුටු සියළු වස්තු පොළොවට වැටෙනවා කියලා උද්ගමනයක් හදාගෙන ඊට පස්සෙ අපි ඒක තේරුම් ගන්න කියලා ගුරුත්වාකර්ෂණය කියලා පංචෙන්ද්‍රිය ගෝචර නැති මනසින් මවාගන්න බැරි කතන්දරයක් ගොතනවා. ඒක පට්ටපල් බොරුවක් කිව්වම තරහෙන් වෙන වෙන කතන්දර ගොතනවා.  ඒ විතරක් නොවෙයි සියළු වස්තු පොළොවට වැටෙන්න හේතුව ගුරුත්වාකර්ෂණය කියලත් කියනවා. ඒත් හේතුව කියන සංකල්පයත් මනසින් තනාගත් එකක් බව අමතක කරනවා. හේතු හොයන එක බටහිරයන්ගෙ වැඩක්. මේ ඊනියා හේතු සංස්කරණය කරන්නෙ  අනපෝහනයෙන්. ඒකට ඉංගිරිසියෙන් ඇබ්ඩක්ෂන් කියලා කියනවා. සංයුක්ත හේතු බොරු. වියුක්ත හේතු පට්ටපල් බොරු. බුදුදහමේ කියන්නෙ ඒ ඇත්නම් මේ හටගනී ඒ නැත්නම් මේ හට නොගනී කියලයි. එච්චරයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/nalinkalaya


නලින් ද සිල්වා
2016 නොැම්බර් 07