Main Logo

Sunday 6 November 2016

ඉන්දියාවේ මුස්ලිම් හා ලංකාවේ මුස්ලිම්

ඉන්දියාවේ මුස්ලිම් හා ලංකාවේ මුස්ලිම්


මුස්ලිමුන් ගැන කාලයකින් කතාකරන්න බැරි වුනා. මුස්ලිමුන් දහහතරවැනි සියවසේ මලබාරයෙන්, විශේෂයෙන් මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතාකරන ප්‍රදේශයකින්, ලී ඔරුවලින් හා වෙනත් මාර්ග යොදාගනිමින් ලංකාවට පැමිණ ඇති බව ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ.  මෙරට මුස්ලිම් ජනයා (මුවර් ජනයා) දෙමළ කතාකරන බව, ඔවුන්ගේ දෙමළ යාපනයේ දෙමළ බසින් සුළු වශයෙන් වුවත් වෙනස් බව, තේරුම් කිරීමට වෙනත් විකල්ප ප්‍රවාදයක් නැහැ.  මුස්ලිමුන්ට  විවිධ පළාත්වල දී දෙමළ ඉගෙනීමට දෙමළ කතාකරන ජනයා ලංකාවේ විසිරිලා සිටියේත් නැහැ. චෝල ආක්‍රමණයෙන් පසු මෙරට දෙමළ ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි වූ බවට සාක්‍ෂි ඇත්තේත් නැහැ. සමහරවිට ඇතැම් සිංහල බෞද්ධයන් එකල හින්දු ආගම වැළඳ ගන්න ඇති. පෘතුගීසි ආක්‍රමණයෙන් පසු සමහර සිංහල බෞද්ධයන් කතෝලික ආගම වැළඳ ගත්තා වගේ.  විජයබාහු රජු ඒ ප්‍රදේශවල හින්දු කෝවිල් හැදුව නම් ඒ ගැන පුදුම වෙන්නත් දෙයක් නැහැ. සිංහල බෞද්ධයන්ගෙ සහනශීලී බව එහෙමයි. අප වරින් වර ඝාතනය කළ බටහිරයන් අපට ඊනියා සංහිඳියාවක් උගන්වන්න අවශ්‍යතාවක් නැහැ.


යාපන විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් කියා ඇත්තේ දහතුන්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන නොතිබූ බවයි. ඒ කියන්නේ යාපනයේවත් දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැහැ කියන එක. දහතුන්වැනි සියවසේ පැමිණි ආර්යචක්‍රවර්තීන් සමග දෙමළ ජනයා යාපනයට පැමිණි බව නම් ඇත්ත. ආර්යචක්‍රවර්තීන් ඒමට පෙර ජාවා රටින් පැමිණි ජාවක චන්ද්‍රබාහු ටික කලක් යාපනය යටත් කරගෙන හිටියා. ඔහු බෞද්ධ රජෙක්. චාවාකච්චේරිය සිහි කරන්නේ මේ ජාවා සම්බන්ධය වෙන්න පුළුවන්. ආර්යචක්‍රවර්තීන් ගැන විවිධ මත තිබෙනවා. ඔවුන් පාන්ඩ්‍ය බවට මතයක් තිබෙනවා. දෙමළ කතාකරත් ඔවුන් සොලීන් නොවෙයි. එකල, දහතුන්වැනි සියවසේ දෙමළ අනන්‍යතාවක් තිබුණේ නැහැ. ආර්යචක්‍රවර්තීන්ගෙන් පසුවත් යාපනයේ බහුතරය සිංහලයන්. ක්වේරෝස් වාර්තාවල ඒ බව සඳහන් වෙනවා. මහාචාර්ය ටිකිරි අබේසිංහ හරි වෙන කවුරු හරි පෘතුගීසීන් එන විට යාපනයේ දෙමළ බහුතරයක් හිටි බව පෙන්වා දී නැහැ. ටිකිරි අබේසිංහ ක්වේරෝස් වාර්තාවලට හිනැහෙනවා ක්වේරෝස් හැම පඳුරක ම සිංහලයන් දුටු බව කියමින්.  ක්වේරෝස් එසේ කියන්නේ ඒ එසේ වූ නිසා. ඔහු ආර්යචක්‍රවර්තීන් සිංහල කියා හඳුන්වා දී නැහැ. හැම පඳුරක ම සිංහලයන් දුටුවා මිනිහා මාළිගාවේ සිංහලයකු දුටුවේ නැත්තේ ඇයි? අබේසිංහලාත් ඉතිහාසය ලිවුවෙ බටහිර ඇසකින්. මේවා ගැන අපි ඉඩ ලැබෙන පරිදි පසුව තවත් කතා කරමු. 

මෙරටට පැමිණි මුස්ලිමුන් ඉන් පසුව පැමිණි පෘතුගීසීන්ගේ තාඩන පීඩනවලට මර්දනයට හසු වූවා. සිංහල රජවරුන්, විශේෂයෙන් සෙනරත් රජු, ඔවුන් පෘතුගීසීන්ගෙන් ගලවාගෙන වත්මන් නැගෙනහිර පළාතේ, එනම් රුහුණු රටේ, පදිංචි කෙරුවා. එමෙන් ම මුස්ලිමුන් කන්ද උඩරට හාරිස්පත්තුව වැනි ප්‍රදේශවලත් පදිංචි කෙරුවා. ඇතැම් මුස්ලිමුන්ට සිංහල වාසගම් තිබෙනවා. ඒ සිංහල පියවරුන්ගෙන් හා මුස්ලිම් මව්වරුන්ගෙන් පැවත එන්නන් හෝ සිංහල රජවරුන්ගෙන් සිංහල වාසගම් ලැබූ අය විය යුතුයි. සමහරවිට කාරියකරවන වැනි නම් කාරියප්පර් යනුවෙන් දෙමළට හැඩගැසී තිබෙනවා. මුස්ලිමුන්ට දැන් තිබෙන තත්වය යටතේ සිංහල ඉගෙනගත හැකියි. එවිට ඔවුන් සිංහල කතාකරන මුස්ලිමුන් වේවි. එහෙත් ඊබ්‍රාහිම් කුලතංුග වැනි නම් ඇති අය ගැන අප ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් සිංහල මුස්ලිම් ලෙස බොරුවට පෙනී සිටීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ සිංහල වාසගමක් තිබේ ද කියා පරීක්‍ෂා කළ හැකියි.

ඉන්දියාවේ මුස්ලිමුන් හා ලංකාවේ මුස්ලිමුන් අතර වෙනසක් දැන් තියෙනවා. අද ඉන්දියාවේ දෙමළ මුස්ලිම් මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් අනන්‍යතා තියෙනවා. මේ අනන්‍යතාව භාෂාව මත පදනම් වී දහනවවැනි සියවසේ ඇතිවුණු එකක්. පනහේ දශකයේ ප්‍රාන්තවලට බෙදීමෙන් පසුව තීව්‍ර වුනා.  දහනවවැනි සියවසට පෙර එවැනි අනන්‍යතා ජනවර්ගවලට තිබුණේ නැහැ.  ඉංගිරිසින් පැමීණීමට පෙර තිබුණේ රජවංශය මත පදනම් වූ වාංශික රාජ්‍ය මිස ජනවාර්ගික අනන්‍යතා නොවෙයි. මෞර්ය රාජ්‍ය හා මූගල් රාජ්‍ය වුනත් විශාල වුනත් වාංශික රාජ්‍ය. ඉන්දියාවක් නොතිබූ කලක ජනවාර්ගික අනන්‍යතා තිබුණේ නැහැ. ඉංගිරිසින් ඉන්දියාව කියා රටක් ඇති කළාට පසු ඒ ඒ භාෂා කතාකරන අයගේ ජනවාර්ගික අනන්‍යතා ඉංගිරිසි උගත් අයගේ මැදිහත් වීමෙන් ඇතිවුණා. දෙමළ ජනවාර්ගික අනන්‍යතාව දහනවවැනි සියවසේ දෙමළ කතෝලික පූජකවරුන්ගේ මුල් වීමෙන් ඇතිවූවක්. ඉන්දියාවත්, ඉන්දියාවේ ජනවාර්ගික අනන්‍යතාත් ඉංගිරිසින්ගෙන් පසුව ඇති වූ දේ.

ඉන්දියාවේ එසේ දෙමළ මුස්ලිම් මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් ජනවාර්ගික අනන්‍යතා පසුව ඇති වුනත් ලංකාවේ ඇතිවුනේ නැහැ. දහහතරවැනි සියවසේ ලංකාවට පැමිණි මුස්ලිම් ජනයාට තිබුණේ මුස්ලිම් අනන්‍යතාවක් පමණයි. මූස්ලිමුන් මෙරටට පැමිණෙන විට මෙරට තිබුණේ සිංහල ජාතික අනන්‍යතාවක් හා වැදි ජනයාගේ අනන්‍යතාවක් පමණයි. මුස්ලිමුන් ඉන් පිටත සිටි නිසා ඔවුන් සිංහල මුස්ලිම්වත් වැදි මුස්ලිම්වත් වූයේ නැහැ. මෙරට එකල දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසා ඔවුන් දෙමළ මුස්ලිම් වූයේත් නැහැ. මුස්ලිම් ජනයාට දෙමළ මුස්ලිම් අනන්‍යතාවක් නැති වීමෙන් පෙන්නුම් කෙරෙන්නේත් මෙරට දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් ඉතා මෑතක් වන තුරුම නොතිබූ බවයි. මෙරට දෙමළ ජනවාර්ගික  අනන්‍යතාවක් ඇති වුනේ ඉන්දියාවේ එසේ ඇති වී අවුරුදු සියයකට පමණ පසුව දහනවවැනි සියවසේ අගභාගයේ දී . එහි දී මුස්ලිමුන් ක්‍රියා කළ අන්දම අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරමු. පෙර ලිපි පහත සඳහන් සබැඳිය ඔස්සේ කියවන්න පුළුවන්.

https://www.facebook.com/nalinkalaya/posts/322590104787055     




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www1.kalaya.org



නලින් ද සිල්වා
2016 නොවැම්බර් 06