Main Logo

Friday 25 November 2016

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

ජාතික රාජ්‍ය, ජාත්‍යන්තරය හා ජාතිකත්වය

අද ඊනියා විද්වතුන්ට ජාතිකත්වය ප්‍රශ්නයක් වෙලා. ලෝකයේ  බලවත් රටවල් වන එක්සත් රාජ්‍ය, රුසියාව, චීනය, එංගලන්තය, ජාතිකත්වයට යොමු වෙලා. ලංකාව ජාතිකත්වයට යොමු වුනේ ඒ සියල්ලන්ට කලින්. ලංකාවෙ සිංහල ජාතිය ඇතිවෙන්න පටන් ගත්තෙ පණ්ඩුකාභය කාලෙ. එය පරිසමාප්තියට පත්වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලයෙ. එතුමන් මෙරට සිංහල ජාතියත් ඒ හා බැඳුණු රාජ්‍යයත් පමණක් නොව එයට සමයත් (ආගමත්) එකතු කළා. අප රට ජාතිය ආගම ගැන කතා කරන්නෙ එබැවින්. ධර්මපාලතුමා කෙළෙත් මේ රට ජාතිය ආගම අවධාරණය කිරීම. අපට  හෙට ආගම එකතු කරන්න අවශ්‍ය නැහැ. ආගම එකතු වුනෙ ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ. ලොවේ පැරණි ම ජාතීන් දෙකෙන් එකක් සිංහල. අනෙක චීන ජාතිය. බටහිර රටවල දැන් තමයි ජාතිකත්වය මතුවෙන්නෙ.  මෙරට කසිකබල් විද්වතුන්ට බටහිර නැගී එන ජාතිකත්වය තේරුම් ගැනීමට බැහැ. ඔවුන්ට ඒ සඳහා බටහිරින් ප්‍රවාදයක් එවලා නැහැ. එයට හේතුව බටහිරටත් ඒ ගැන ප්‍රවාදයක් නැතිවීම. මෙරට පඬියන්ගෙන්  සමහරු ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන්. මාක්ස්වාදයෙන් මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි බව දැන් මැදි වියේ හෝ මහළු වියේ හෝ පසුවන මේ පුහු පඬියන්ට තාමත් තේරුම් ගන්න බැරි වෙලා. ඔවුන් නිකම් වයසට හා කනත්තට යනවා පමණයි.

මොවුන් කියන්න දන්න එකම දේ ධනවාදය කඩා වැටෙන බව. ධනවාදය කඩා වැටෙනව නම් ඊට පස්සෙ මාක්ස්වාදීන්ගෙ කම්කරු පංතියේ ඊනියා ආඥාදායකත්වය ඇතිවෙනව ද? රුසියාවේ (පැරණි සෝවියට් දේශයේ) ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය කඩන් වැටිලා තරමක් කල්. අද පුටින් එහි ජාතිකත්වය පතුරවනවා. ට්‍රම්ප්්ට වැඩිය ඡන්දෙ දුන්නෙ සුදු කම්කරුවො. ලෙනින්වාදීන්ට තවමත් බැරි වුනා ද අර කම්කරු පංති විඥානය එක්සත් රාජ්‍යවල සුදු කම්කරුවන්ට ගෙනියන්න. රුසියාවෙත් චීනයේත් ඊනියා කම්කරු පංති විඥානයක් නැති වෙලේ අනෙක් රටවල කම්කරු පංති විඥාන කොහෙන් ද? ට්‍රම්ප් ඇතිකරන්න යන්නෙ කම්කරු පංති ආඥාදායකත්වයක් නොවන බව පඬියන්ට වුනත් තේරෙනවා.

ධනවාදය කඩා වැටුනට පස්සෙ ලෝකෙ විනාශ වෙයි ද? පඬියන් ඒකට මොකුත් කියන්නෙ නැහැ. කියන්න දේකුත් නැහැ. එක්තරා උගතකු කියා තිබුණ විධියට සාර් රාජ්‍යය කඩා වැටීමෙන් පස්සෙ රුසියාවෙ ඇතිවුනෙ රුසියන් නැෂනල් තෝට් හෙවත් ගුණදාස අමරසේකර මහතා පරිවර්තනය කරපු ආකාරයට රුසියන් ජාතික චින්තනය මුල් කරගත් රාජ්‍යයක් කියලා මා විශ්වාස කරන්නෙ නැහැ. එහි ඇති වුනෙ ලෙනින්වාදී රාජ්‍යයක්. ඒක මාක්ස්වාදී රාජ්‍යයක් නොවෙයි. එය රාජ්‍ය ධනවාදයක්. ලෙනින්, විශේෂයෙන් ම ස්ටැලින් කෙළේ රුසියාවට (සෝවියට් දේශයට) අවශ්‍ය වෙලා තිබුණු ප්‍රාග්ධනය රැස්කිරීමට රාජ්‍යය මැදිහත් කිරීම. ප්‍රාග්ධනය රැස්කිරීම බටහිර රටවල පෞද්ගලිකව සිද්ධ වුනා. රුසියාවෙ රාජ්‍යය මැදිහත්ව කෙරුණා. රුසියාවෙ එසේ කිරීමට නම් ග්‍රීක ඔතොඩොක්ස් චින්තනය බලපෑවා. එහි පෞද්ගලිකත්වය නොව සාමූහිකත්වයක් තිබෙනවා. කතෝලික චින්තනයෙත් සාමූහිකත්වය තියෙනවා. ඒත් ග්‍රීක යුදෙචු ක්‍රිස්තියානි චින්තනයෙ තියෙන්නෙ පෞද්ගලිකත්වය. මාක්ස්වාදය කතෝලික චින්තනය මත පදනම් වූවක්.

බටහිර යුරෝපයේ ජාතික රාජ්‍ය ඇති වුනේ ඉතා මෑත කාලෙක. එයට පෙර එහි තිබුණෙ වැඩවසම් රාජ්‍ය. ඒ වැඩවසම් රාජ්‍යවල දේශ සීමා ලකුණු වෙලා තිබුණෙ නැහැ. රජ්ජුරුවන්ගේ දූ කුමාරිගෙ දෑවැද්දට ඇතැම් විට රාජ්‍යයෙන් කොටසකුත් ලැබුණා. ජාතික රාජ්‍යවල ජාතියක් නැහැ. එහි ඇත්තෙ නෛතික ජාතියක්. එය ඇඟට නෙදැනෙන කෘත්‍රීම ජාතියක්. ඒක හරියට ඊනියා පංති විඥානය වගේ. ඇඟට දැනෙන්නෙ නැහැ.  බටහිර යුරෝපයේ හා අනෙක් බටහිර රටවල තවමත් ජාතිකත්වය ඇති වෙමින් පවතිනවා. එය ඊනියා ආර්ථික ප්‍රශ්න නිසා ඇති වෙන එකක් නොවෙයි. ඒ ජාතිය කියන්නෙ මොකක්ද කියන එක හඳුනාගැනීමේ ක්‍රියාවලියක්.

අපේ ජාතිකත්වය ඇතිවෙලා අවුරුදු දෙදහකට වැඩියි. ඉන්දියාවෙත් තවමත් ජාතියක් නැහැ. එහි ඇත්තේත් නෛතිකව ඇතිකරන ලද ඉන්දියාව නම් රාජ්‍යයක නෛතික ජාතියක් පමණයි. අද එය එකතු වී තිබෙන්නේ ක්‍රිකට් හා හින්දි චිත්‍රපටිවලින් පමණයි. ඉන්දියාවෙ විදේශ ප්‍රතිපත්තිය සකස් වන්නෙ කේරළයෙ බ්‍රාහ්මණ වාංශිකයන් අතින්. ඉන්දියාව එක විධියකට ගත්තම යුරෝපා සංගමය වගේ. අද එය තමන් වටේ සිටින රටවල් තම සංගමයට එකතු කිරීමේ වෑයමක යෙදී සිටිනවා.
බටහිර යුරෝපයේ වැඩවසම් රාජ්‍යවල චින්තනය වූයේ කතෝලික චින්තනය. පහළොස්වැනි සිය වසේ එය කඩා වැටීම ඇරඹුණා. ඒ සමග පාප් වහන්ෙසේගන් කැඩී රාජ්‍ය ඇති වෙන්න පටන් ගත්තා. ඒවාට ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ඒ වෙන් වීම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වුනා. එහෙත් ඒ පසුපස ඊනියා ජාත්‍යන්තරවාදයකුත් තිබුණා. මාක්ස්වාදයටත් ඒ ජාත්‍යන්තරවාදය තිබුණා. ලෝකයේ කම්කරුවනි එක්වව් වගේ ව්‍යාජ සටන් පාඨ ගොඩ නැගුණේ ඒ නිසා. මාක්ස්වාදී ජාත්‍යන්තරය නම් ස්ටැලින් එක්ක කඩා වැටුණා. ට්‍රොට්ස්කිට ඒ ගැන ඉවක් තිබුණා. ඔහු ඒත් ජාත්‍යන්තරය ගැන තවදුරටත් විශ්වාස කළා. ඒ නිසා හතරවැනි ජාත්‍යන්තරය කියලා සංවිධානයක් ඇති කළා. ට්‍රොට්ස්කිගෙ මරණයත් සමග හතරවැනි ජාත්‍යන්තරය හතරට කැඩුණා. අද හතරවැනි ජාත්‍යන්තරයවත් ලෙනින්ගෙ තුන්වැනි ජාත්‍යන්තරයවත් නැහැ

බටහිර ලිබරල් ජාත්‍යන්තරවාදය නම් ඊයෙ පෙරේදා වෙනකම් තිබුණා. ඒත් එය දැන් කඩා වැටෙමින් පවතිනවා. ඒ වෙනුවට බටහිර ප්‍රථම වතාවට ජාතිකත්වය මතු වෙනවා. ඒ ජාතිකත්වය ඊනියා ජාතික රාජ්‍ය සමග පටලවා ගන්න එපා. බ්‍රෙක්සිට්. ට්‍රම්ප් නිරූපණය කරන්නේ  නැගී එන ජාතිකත්වය මිස ජාතික රාජ්‍යවල ඊනියා ජාතිකත්වයක් නොවෙයි. අපට ජාතිකත්වය සම්බන්ධයෙන් බටහිරින් ගන්න දෙයක් නැහැ. අප ලොවේ පැරණිම ජාති දෙකෙන් එකක්. චීනයට නැති ආගම කියන එකත් අපේ රාජ්‍යය සමග බැඳී තිබෙනවා. ඒ සිංහල බෞද්ධ රාජ්‍යයයි. එය ගොඩ නැගුණේ ධනපති විප්ලවයට, කාර්මික විප්ලවයට, ප්‍රංශ විප්ලවයට අවුරුදු දෙදහකට පමණ පෙර. අද අපේ කටයුත්ත වී ඇත්තේ දෙමළ මුස්ලිම් සංස්කෘතික අනන්‍යතා රකිමින් ඒ ජනවර්ග ජාතියට ඇතුල් කිරීමයි. එයට හරහට සිටින්නේ බටහිර රටවල් හා ඔවුන්ගෙන් නඩත්තු වෙන පඬියන්.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 25