Main Logo

Thursday 17 November 2016

සාහිත්‍යය කන්න ද?

සාහිත්‍යය කන්න ද?

සාහිත්‍යය කන්න ද කියා ඇසුවේ ජේ ආර් ජයවර්ධනයි. ඒ ඔහු ජනාධිපති ව සිටින සමයෙහි දී. ඔහු විද්‍යාව කන්න ද කියා ඇසුවේ නැහැ. තාක්‍ෂණය කන්න ද කියා කොහොමටත් ඇසුවේ නැහැ. විද්‍යා හා තාක්‍ෂණික කටයුතු සඳහා ඇමතිවරයකු සිටිනවා. ඒත් කලා කටයුතු ආදි සියල්ල සඳහා ඇත්තේ එක් සංස්කෘතික ඇමතිවරයකු පමණයි. විද්‍යාව හා තාක්‍ෂණය සංස්කෘතික කටයුතු නො වේ ද?  ඒත් සාහිත්‍ය කලා ශිල්ප ආදිය පමණක් සංස්කෘතික කටයුතු ලෙස සැලකෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල බව සංස්කෘතික ඇමති ඇතුළු කවුරුත් දන්නවා. 

අප පාසල් යන්නේ කලාකරුවන් වීමට නො වෙයි. ඉඳ හිට එකකු දෙන්නකු කැමැත්ත නිසා කලාව හදාරනවා වන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා උත්සාහ කරන්නේ බටහිර වෛද්‍යවරුන්, බටහිර ඉංජිනේරුවන්, බටහිර කළමනාකරුවන් වීමටයි. කලාතුරකින් අයකුට බටහිර විද්‍යාඥයකු වීමේ අදහස ඇතිවෙනවා. සිංහල වෙදමහතකු වෙදහාමිනේ කෙනකු වීමට යමකු පෙළඹෙන්නේ කලාතුරකින්. බටහිර ඉංජිනේරුවන් බටහිර වෛද්‍යවරුන් වීමට අදාළ පීඨවලට ඇතුල්වීමට නොහැකි අය බටහිර විද්‍යාඥයන් දේශීය වෛද්‍යවරුන් වීමට විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා. පැහැදිලි ව ම පාඨමාලාවල ධුරාවලියක් තිබෙනවා. එහි උඩින් ම ඇත්තේ බටහිර ඉංජිනේරු බටහිර වෛද්‍ය ආදී තාක්‍ෂණික පාඨමාලායි.

පහළොස්වැනි සියවසට පෙර මෙවැනි අධ්‍යාපන ක්‍රමයක්වත් ධුරාවලියක්වත් බොහෝ රටවල තිබුණේ නැහැ. එකල සමාජයේ වැදගත් තැනක් තිබුණේ කලාකරුවන්ට, සංගීතඥයන්ට ආදීන්ට. බටහිර මේ සියල්ල උඩු යටිකුරු වෙන්න පටන්ගත්තේ පහළොස්වැනි සියවසෙන් පසුව. සෞන්දර්ය අධ්‍යාපනයට වඩා බටහිර විද්‍යාවට තැන ලැබුණා. ඒ සමග තාක්‍ෂණයටත් වැදගත් තැනක් ලැබුණා. එංගලන්තයේ තිබූ ගිල්ඩ් නමින් හැඳින්වූණු ශ්‍රෙණි අධ්‍යාපනය විශ්වවිද්‍යාලයීය තත්වයට උසස් කෙරුණා. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආයතනයක් වන ඉම්පීරියල් කොලේජ් මේ සඳහා හොඳම උදාහරණය. එහි විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කළමනාකරණය සඳහා පීඨ තිබුණත් ශාස්ත්‍ර පීඨයක් නැහැ. ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයත් තරමක් මේ ආකෘතියේ.

අද වන විට තොරතුරු තාක්‍ෂණය ඉහළින් ම සිටිනවා. තොරතුරු තාක්‍ෂණය, කෘත්‍රිම බුද්ධිය අද ඉතා වැදගත්. බටහිර විද්‍යාව, ගණිතය, රූපික න්‍යාය ආදී සියල්ල අද තොරතුරු තාක්‍ෂණය පිටුපස. හැබැයි මේ විෂය හා කෘත්‍රිම බුද්ධිය අතර විශාල වෙනස්කමක් තිබෙනවා. කෘත්‍රිම බුද්ධියේ බටහිර විද්‍යාවේ මෙන් ප්‍රවාද (තියරි) නැහැ. මේ සම්බන්ධයෙන් අප කලින් ද කියා තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 29 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ ද මේ පිළිබඳ ලිපියක් පළ වූවා. ඒ ඊනියා නූතනත්වය සමග බටහිර විද්‍යාව ද කඩා වැටෙන බව පෙන්වීමක්. එහෙත් සමාජයීය විද්‍යාවන්ට (සෝෂල් සයන්ස්) මේ පිළිබඳ තේරුමක් නැහැ. ඔවුන් තවමත් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් පසුපස යනවා. ඒ සඳහා ඊනියා පර්යේෂණ විධික්‍රම ද ඉදිරිපත් කරනවා. ඒ විධික්‍රම විවිධ දර්ශන මත පදනම් වන බව කියනවා. ඉන්දියානුභූතවාදය, පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය, ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, පශ්චත් නූතනවාදය, විචරාත්මක ප්‍රවදය (ක්‍රිටිකල් තියරි), සාපේක්‍ෂතාවාදය ආදී වචන මේ සම්බන්ධයෙන් කියැවෙනවා. සමාජයීය විද්‍යාවන් පසුපස සාහිත්‍ය කලා යනවා.

මෙහි දී වැදගත් දෙයක් මතක් වෙනවා. බටහිර සමාජවිද්‍යාව (සෝෂලොජි) මුල් වරට ඉදිරිපත් වූ අවස්ථාවේ දී බටහිර උගතුන් ඇසුවේ නවකතා තිබිය දී සමාජවිද්‍යාවක් කුමකට ද කියා. නවකතාවලින් කෙරුණේත් ඊනියා සමාජ අධ්‍යයනයක්. අදත් සමහර සාහිත්‍යකරුවන් නවකතාවෙන් සමාජය විවරණය විය යුතු යැයි කියන්නේ මේ අර්ථයෙන්. ඔවුන්ට බොරු යථාර්ථවාදයක් ද තිබෙනවා.  එහෙත් සමාජවිද්‍යාව ක්‍රමයෙන් බටහිර ලෝකයේ සමාජය ගැන අධ්‍යයනය කරන ක්‍ෂෙත්‍රය බවට පත්වූවා. ඉහත සඳහන් ඉන්දිදයානුභූතවාදය ආදිය වඩා වැදගත් වන්නේ සමාජවිද්‍යාවේ. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට නවකතාව හා සමාජවිද්‍යාව දෙක වෙන් කළ යුතුයි. ඒ එහි වෙන් කිරීම ප්‍රධාන අංගයක් නිසා. මිලාන් කුන්දේර්ා නවකතාව සමාජවිද්‍යාවෙන් වෙන් කර එහි භාෂා රීතිය ආදිය ගැන කතා කළා. එවිට නවකතාව ඇත්තේ සමාජවිද්‍යාවට පසුපසින්.

මේ පිළිවෙළින් බටහිර රූපික න්‍යාය, ගණිතය, ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ආදිය පිටුපස අනෙක් විද්‍යා හා ශාස්ත්‍ර  පෙළ ගැසෙන ආකාරය. බටහිර තාක්‍ෂණය අදඉහළට ම ඇවිත්. එහි විද්‍යාව සමග සම්බන්ධයක් තිබෙන නමුත් විද්‍යාව පසුපස යන්නේ නැහැ. එය අද ප්‍රවාද නැති තැනකට තල්ලු වෙලා සිටින්නේ ඊනියා නූතනත්වයට අභියෝග කරමින්. බටහිර භෞතික විද්‍යාව පසුපස ගිය සමාජයීය විද්‍යාවන්ට සමාජය “ තේරුම් ගැනීම” සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැහැ. බටහිර ආර්ථික විද්‍යාවට කළ හැක්කේ කුමක් ද? අපේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දීමට බටහිර ආර්ථික විද්‍යාවට පුළුවන් ද? දේශපාලනඥයන් එයට ප්‍රධාන වරදකරුවා නො වෙයි. ආර්ථිකය පවත්වාගෙන යන්නේ (කඩා වැටෙන්නේ) ආර්ථික විද්‍යා ප්‍රවාදවලින්වත්, ඊනියා නියමවලින්වත් නො වෙයි. සාහිත්‍ය නොවෙයි, ආර්ථික විද්‍යාව සමාජවිද්‍යාව ඇතුළු සමාජයීය විද්‍යවන් කන්න ද කියලා ජේ ආර් ඇහුවෙ නැති එක ගැන සමාජයීය විද්‍යාඥයන් සතුටු ද? පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාවත් දැන් බංකොළොත්. ඒ පසු පස ගිය සමාජයීය විද්‍යාවන් ඊටත් වඩා බංකොළොත්. ඔවන්ට අද පශ්චාත් වචනය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. පශ්චාත් ඉන්දිය්‍රානුභූතවාදයට වෙනත් පදයක් හදාගන්න බැරි තරමට ඔවුන් බංකොළොත්. මේ පඬියන් තමයි අපෙන් දෙවියන් ඉන්නවද කියලා අහන්නෙ.





නලින් ද සිල්වා
2016 නොවැම්බර් 17