Main Logo

Saturday 22 September 2012

ජාතිවාදය, ජාතිවාදී පක්‍ෂ හා මැතිවරණය

පසුගිය දා පැවති පළාත් සභා මැතිවරණයෙන් දෙනු ලැබූ පණිවුඩ කිහිපයකි. උතුරු මැද හා සබරගමු පළාත් සභාවල ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයට සිංහලයන්ගේ ඡන්දවලින් 60%ට වඩා ලැබී ඇත. එය ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්දවලට වඩා යම් ප්‍රමාණයක් අඩු ය. එයට හේතුව ප්‍රාදේශීය නායකයන්ගේ දුර්වලකම් හා ආණ්ඩුවේ දූෂණ හා නාස්තිය ය. එහෙත් තවමත් ජනතාව මහින්ද රාජප’’ක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා සිටින බව පැහැදිලි ය. ඒ මහතා බණ්ඩාරණායක මහත්ම මහත්මීන්ට ද වඩා මහජනයාට හා ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සමීප ය. චන්ද්‍රිකා හා විජය තම දෙමළ ජාතිවාදී සිංහල බෞද්ධ විරෝධී පවිටු අරමුණු සඳහා ශ්‍රී ල නි පක්‍ෂය ගසාකෑවා මිස ඔවුන්ගෙන් පක්‍ෂයට හෝ රටට හෝ වැඩක් නො සිදුවිය. පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුව ඉගෙනගත යුතු පාඩම නම් දූෂණය හා නාස්තිය නැතිකිරීමට වහා ක්‍රියා කළයුතු බව ය. එ ජා පක්‍ෂය ජාතිකත්වය කරා යොමු නොවුණහොත් ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණ කිරීමට නො හැකි ය. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො වේ. එය පක්‍ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

නැගෙනහිර පළාතේ මැතිවරණයේ දී දෙමළ ජාතික සංධානයට මෙන් ම මුස්ලිම් කොංග්‍රසයට ද තිබුණේ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිපත්තිය පමණකි. ඊනියා උගතුන්ට දෙමළ හා මුස්ලිම් ජාතිවාද නොපෙනෙයි. එහෙත් ඉහත සඳහන් පක්‍ෂ දෙකට ඇත්තේ ජාතිවාදය පමණකි. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී තරම් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදාගත් මැතිවරණයක් චෙල්වනායගම්ගෙන් පසුව තිබී නැත. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනතාව ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදයෙන් ඉවත්වීම අරඹා ඇත. මෙවර දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් යම් ප්‍රමාණයක් සංධානයට ඡන්දය දී ඇති බව පැහැදිලි ය. මෙරට සිටින සියළු ජනකොටස්වල ඡන්දය දිනාගත හැක්කේ සංධානයට හා එ ජා පක්‍ෂයට පමණකි. ඒ
පක්‍ෂ පමණක් රට පුරාම විහි දී ඇත. ඊනියා වාමාංශික යැයි කියාගන්නා පක්‍ෂවලට ජන පදනමක් නැත. ජ වි පෙට ඇත්තේ 3%ක ජන පදනමකි. එය ඉදිරියේ දී තවත් අඩුවනු ඇත. අද ජ වි පෙ ඇතුළු සියළු වාමාංශික පක්‍ෂ හා ඊනියා ලිබරල් මතධාරීහු බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ශ්‍රී ල නි පක්‍ෂය බටහිරයන්ගේ නියෝජිතයකු නොවන නමුදු ඔවුන්ට ද තවමත් ජාතික වූ ආර්ථික ප්‍රතිපත්තියක් නැත. ශ්‍රී ල නි ප වහාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යොමු විය යුතු ය. එහෙත් ඔවුන්ගේ නිදහසට කිවයුත්තේ අපට ද තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකසාගත හැකි වී නැති බව ය. එයට තවමත් හරහට ඇත්තේ ජනතාව බටහිර ක්‍රමයේ ඊනියා සංවර්ධනයක් හා ජීවන රටාවක් බලාපොරොත්තු වීම ය. ජාතික ආර්ථිකයක හා ජීවන ක්‍රමයක කෘෂි රසායනික පොහොර හා බටහිර විද්‍යාව තිබිය හැකි නො වේ. එහෙත් තවමත් මෙරට ඊනියා උගත්තු අග්ගඤ්ඤ සූත්‍රය වෙනුවට ඩාවින්ගේ පර්ණාමවාදය හා මහා පිපිරුම විශ්වාස කරති. ඇතැම් ජාතික චින්තකයෝ ද පුනබ්භවය විශ්වාස නොකරති.

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නියඟය හා වර්ජන මධ්‍යයේ ය. ඉසෙඩ් ලකුණු විභාග හා ඊනියා අධ්‍යාපන අරබුදයක් ගැන කියන ලද ආණ්ඩු විරෝධී කතා මධ්‍යයේ ය. තමන් මහා විශාරදයන් යැයි සිතාගෙන සිටින සරසවි ඇදුරන්ගේ උද්ඝොෂණ හා රැළි මධ්‍යයෙහි ය. එහෙත් මේ එකකින්වත් ජනතා මතය වෙනස් කිරීමට නොහැකි වී ඇත. බහුතර ජනතාවට උපාධි නැතිකම නිසාදෝ ඔවුන්ට පුස්සන් හඳුනාගැනීමේ හැකියාව ඇත. සරසවි ඇදුරන් පළාත් සභාමැතිවරණයේ දී තම ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සහභාගි නොවූයේ තම තරම තේරුම් ගෙන ඇති නිසා දැයි නො දනිමි. පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු සරසවි ඇදුරෝ ඊරියගොල්ල මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහිව මැතිවරණ ව්‍යාපාරවල නිරත වූහ. වත්මන් සරසවි ඇදුරන් ඊනියා 6% වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණි නම් ඔවුන්ට අත්වන ඉරණම ඉතා පැහැදිලි ය. මෙරට සරසවිවලට ඇති අධිපතිවාදී බලය නොවන්නට හා විකල්ප අධ්‍යාපන ආයතන නොමැතිවීම නොවන්නට දෙමව්පියන් තම දරුවන් සරසවිවලට නොඑවනු ඇත. සරසවි ඇදුරන්ගේ තරම තවමත් මෙරට ජනතාව හඳුනාාගෙන නැත. ඔවුහු නිර්මාණශීලී නො වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් පුරසාරම් කීවත් විශ්වවි්‍යාලවලට ඇතුළත් වී ඇත්තේ තුන්වැනි වතාවෙහි ය. ආචාර්ය උපාධි නොමැත්තෝ එමට සිටිති. තමන් විශේෂිත පුද්ගලයන් ලෙස සැලකිය යුතු යැයි කරුණු ඉදිරිපත් කරන මහාචාර්යවරයා මෙන් ම ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීහු ද දෙවැනි පන්තියේ ඉහළ ශ්‍රේණීයේ උපාධිවත් නැති ආචාර්යවරුන් ගැන දනිති. ජනතාව සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් තුට්ටුවකටවත් ගණන් නොගන්නා බව පැහැදිලි ය. සම්මේලනය ඒ බව ඉක්මණින් වටහාගත යුතු ය .

ශ්‍රී ල නි ප සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර තහවුරු වී ඇත. තවමත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවුවත් ආණ්ඩුවේ චන්ද්‍රිකාවාදීන් විශාල පිරිසක් සිටියත් ශ්‍රි ල නි ප නායකත්වයට යම් ජාතිකත්වයක් ඇත. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ආණ්ඩුව, විශේෂයෙන් ම ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියේ ය. අදත් ඒ බලපෑම් ඇත. විශේෂයෙන් ම පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල දීම සම්බන්ධයෙන් ඒ බලපෑම් ඇත. උතුරු මැද හා සබරගමුව පළාත්වල පමණක් නොව නැගෙනහිර පළාතේ ද සංධානය ජයග්‍රහණය කළේ මේ බලපෑම් මැද ය. දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඉතා පහත් මට්ටමින් පිළිවෙළින් දෙමළ හා මුස්ලිම් ජාතිවාදය යොදා ගනිද්දීත් සංධානය නැගෙනහිර පළාත් සභාව ද ජයග්‍රහණ්‍ර කළේ ය. එය සියළු විරෝධතා මැද ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය. ශ්‍රී ල නිප ඇතැම් නායකයන්ගේ වැරදි තීන්දු නොවන්නට සංධානයට ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කය ද ජයග්‍රහණය කරන්නට තිබිණි. පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය ජාතිවාදී නායකයන්ට මිස සාමාන්‍ය මුස්ලිම් හා දෙමළ ජනයාට නො චේ. ආණ්ඩුවේ වාමාංශික ඇමති ත්‍රිත්වයට හා චන්ද්‍රිකාගේ ඇමතිවරුන්ට ඒ පණිවුඩය නැගෙනහිර පළාතේ ජනයාගෙන් ලැබී ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාට බටහිරයන්ගේ මෙන් ම ඇතැම් ඇමතිවරුන්ගේ ද බලපෑම්වලට එරෙහිව නැගී සිටීමේ ශක්තිය ඇත. ඒ බලපෑම් හමුවෙහි ජනතාවගෙන් අතිමහත් බහුතරය ඒ මහතා සමග සිටින බව පළාත් සභා මැතිවරණයෙන් කියැවෙයි.

බ්ලේක්ලා ද නවනීදම්පිල්ලෙලා ද මනමෝහන්සිංලාද කරුණානිධිලා ද ආණ්ඩුව හා ජනතාවගෙන් බහුතරය අතර ඇති සම්බන්ධය තේරුම් ගත්තත් නැතත් දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය ඒ බව තේරුම් ගත යුතු ය. මෙරට ජාතිවාදය ඇත්තේ ඇතැම් දෙමළ හා මුස්ලිම් නායකයන් අතර ය. සාමාන්‍ය දෙමළ ජනතාව ජාතිවාදය දෙසට තල්ලු කරන්නට උත්සාහ ගත්තේ චෙල්වනායගම් ය. එහෙත් පොන්නම්බලම් රාමනාදන්ගේ කාලයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ සිටියහ. මුස්ලිම් ජනයා ජාතිවාදයට යොමු කළේ අෂ්රොෆ් ය. ඔවුහු බලයට පැමිණීමට හා රට බෙදීම සඳහා ජාතිවාදය යොදාගත්හ. සිංහලයෝ ජාතිවාදී නොවූහ. කතෝලික පෘතුගීසීන්ගෙන් මුස්ලිම් ජනයා ආරක්‍ෂාකර ඔවුන් වත්මන් නැගෙනහිර පළාතේ හා කන්ද උඩරට පදිංචි කළෝ සිංහල බෞද්ධ රජවරු ය. පසුව කතෝලිකයන් ලන්දේසි රෙපරමාදුවරුන්ගෙන ආරක්‍ෂාකර උඩරට පෙදෙස්වල පදිංචි කළෝත් සිංහල බෞද්ධ රජවරු ය. 1506 සිට ම යුරෝපීය ආක්‍රමණවලට විරුද්ධව සටන්කළෝ සිංහලයෝ ය. සංකිලි පමණක් පෘතුගීසීන්ට එරෙහිව සටන් ලර ඇත. එහෙත් ඔහු කතෝලිකයන්ට ද බෞද්ධයන්ට ද අමානුෂික වධහිංසා පැමින වූ කෘර පුද්ගලයෙක් විය.

ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළේ සිංහලයන් පමණකි. 1817-18, 1848 නිදහස් සටන් පමණක් නොව ඉන්පසුව ඇති වූ පංචමහා වාද, අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ද සිංහල භාෂා ව්‍යාපාරය ද ඉංගිරිසින්ට එරෙහිව කරන ලද සටන් විය. ඒවා නිදහස් සටන් ලෙස නොපෙනේනේ පෙත්සම් මගින් තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසින් බව පෙන්වා එමගින් ඉංගිරිසි රජු යටතේ සීමිත බලතල ඉල්ලූ පිරිසක් නිදහස් සටන මෙහෙයවූවන් ලෙස දකින්නන්ට පමණ ය. ඔවුන්ට එසේ දැකීමට පුරුදු කර ඇත්තේ ඉංගිරිසින් ම වීම මෙහි විශේෂත්වය ය. සිංහලයන් අදත් සටන් කරන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ය. විශ්‍රාම ගැනීමෙන් පසු ජාතික ව්‍යාපාරයට එක්වීමට උත්සාහ කරන දන්ත චෛද්‍ය මහාචාර්යවරයකුට නොතේරුණ ද අපි බටහිර නූතනත්වයට මෙන් ඊනියා පශ්චාත්නූතනවාදයට ද එරෙහි වෙමු. අප ආභාසය ලබන්නේ තිථි නැතිව උප්පාද භංගය ගැන කියන ථෙරවාදයෙන් මිස පශ්චාත්නූතනවාදයකින් නො වේ. මේ පුහු මහාචාර්යවරුන් ගැන එතරම් තැකීමක් කිරීමට ද අනවශ්‍ය ය. එහෙත් අප ඔවුන් ගැන ද කතාකරන්නේ ජනතාවට අපේ ස්”ථාවරය පැහැදිලි කිරීම අවශ්‍ය බැවින් ය.

අද මෙරට ඇති සිංහල බෞද්ධ අධිපතිවාදයක් ගැන ඊනියා උගත්තු බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරමින් කියති. මෙරට ලිබරල් හා මාක්ස්වාදී මත දරන්නන් දන්නේ බටහිර දැනුමට හූමිටි තබමින් ඒ නැවත ප්‍රචාරය කිරීමට ය. පට්ටපල් බොරුවක් වූ බටහිර දැනුම වෙනුවට අපි ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට උත්සාහ කරමු. මෙරට ඇත්තේ සිංහල බෞද්ධ අධිපතිවාදයක් නොව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයකි. දෙමළ ජාතිවාදය ද බටහිරයන් විසින් ඇතිකරනු ලැබ පෝෂණය කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. නැතිනම් අඩුම තරමෙන් දුර්වල කිරීමට ය. අපි දෙමළ ජාතිවාදයටව ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධිපතිවාදයට ද එරෙහිව සටන් කරමු. සරසවි ඇදුරන්ගේ සටන ද ඊනියා අධ්‍යයනික වසන්තයක් මගින් අරාබි වසන්තයක් ඇතිකිරීම සඳහා ය. ඔවුන් මෙහෙයවනු ලබන්නේ එ ජා ප හා ජ වි පෙ මගිනි. බටහිර නූතනත්වවාදී, පශ්චාත්නූතනවාදී හා පශ්චාත්මාක්ස්වදී අදහස්වලින් මෙහෙයවෙන සරසවි ඇදුරන් වැටුප් වැඩිකිරීම නමැති කැරට් අලය පෙන්වා බොරු 6%ක් ගැන කතාකරමින් වර්ජ’’නවලට මෙහෙයවීම අසීරු කරුණක් නොවන්නේ ඔවුන් උගතුන් විය හැකි නමුදු බුද්ධිමතුන් නොවන බැවිනි. ශ්‍රි ල නි ප එදා ද මුස්ලිම් ජනතාවගේ ඡන්දය දිනාගැනීමට සමත්විය. දෙමළ ජාතිවාදය පසුපස යමින් අෂ්රොෆ් මුස්ලිම් ජාතිවාදයක් ඇති නොකරන්නට ශ්‍රි ල නිප මේ වන විට මුස්ලිම් ජනයා අතරය ම් ප්‍රමාණයකට තහවුරු වීමට තිබිණි. අද සංධානයට දෙමළ ජනයාගේ ද ඡන්දය ලැබෙයි. ඒ සියළු සිංහල විරෝධීන් පළාත්සභාවලට තව තවත් බලය ඉල්ලද්දී ය. පළාත්සභාවලට තවත් බලය අවශ්‍ය නොවන බව නැගෙනහිර පළාතේ ජනතාව ද කියා ඇත. අද කළ යුත්තේ හැකිනම් පළාත්සභා අහෝසි කිරීම ය. අද අවශ්‍ය දේශපාලනඥයන්ට නොව ජනතාවට තම එදිනෙදා කටයුතු කරගත හැකි ආකාරයට පරිපාලන බලතල බෙදාහැරීම ය. එය බටහිර ක්‍රමයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ගම්සභාවලින් නොව වරිග සභා ආකෘතියේ සභාවලින් කරගත යුතු ය.