අප උත්සාහ කරමින් සිටින්නේ ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. එහෙත් අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ බව දැනගැනීමෙන් නො වේ. අපේ ප්‍රත්‍යක්‍ෂය නිවැරදි යැයි මෙයින් අදහස් නො කෙරෙයි. අපේ ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ (සංස්කාර) වෙයි. අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්කෘතිය විසින් සකස් කෙරී අපට ලබාදුන් සංකල්පයක් සහිත ඊනියා වස්තුවකි. එවැනි වස්තුවක් ඇතැයි සැලකීමට අපට සංස්කෘතියෙන් උගන්වනු ලැබ ඇත.
ක්වොන්ටම් අංශු අපට දෘශ්‍යමාන නො වෙයි. දෘශ්‍යමාන නොවෙයි යන්නෙන් මේ ලිපිවල දී පමණක් නොව අදාළ වෙනත් ලිපිවලදී ද අදහස් වන්නේ පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන බව ය. එයින් කිසිසේත් ම හුදෙක් ඇසට නොපෙනෙන බව පමණක් ගම්‍ය නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යැයි කී විට එය ඇසට නොපෙනනමුත් ඇඟට දැනේනේ යැයි කියන්නෝ වෙති. එහෙත් ඔවුහු ඊනියා ගුරුත්වාකර්ෂණය දැනේනේ කිනම් ඉන්ද්‍රියකට දැයි නො කියති.
ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යන්නෙන් එවැන්නක් ඉන්ද්‍රිය ගෝචර නොවේ ය යන්න අදහස් වන බව මගේ ලිපිවලට දේශපාලන පක්‍ෂ විසින් හා වෙනත් අය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිවල කමෙන්ට් නමින් හැඳින්වෙන පඬිමත දක්වන අය නොදන්නා බව පැහැදිලි ය. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. ඒ අය කළ යුත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි කාහටත් පැහැදිලි වන අයුරෙන් ප්‍රකාශ කිරීම ය. එසේ නැතිව තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කීමෙන් පලක් නොමැත.
පසුගිය දා නිරීක්‍ෂණය කරන ලදැයි කියැවෙන හිග්ස් බෝසෝනය ද දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දළ සේයා පටිවල ඇති වූ රේඛා මගින් හිග්ස් බෝසෝනය අර්ථදක්වා ඇත. හිග්ස් බෝසෝනය දුටු අයකු, එනම් පංචේන්ද්‍රියට ගෝචර කරගත් අයකු සර්න් පරීක්‍ෂණාගාරය ඇතුළු ලෝකයේ කිසි තැනක නැතත් මෙරට ඇතැම් පඬියන් කතාකරනුයේ තමන් හිග්ස් බෝසෝනය දුටු අයුරෙනි. ඔවුන් වැඩිම වුවහොත් කරන්නේ අද ලෝකයේ විඤ්ඤූන් බවට බලහත්කාරයෙන් බටහිරයන් විසින් පත්කෙරී තිබෙන බටහිර විද්‍යාඥයන්ගේ මත අතිමහත් විශ්වාසයකින් පුනරුච්චාරණය කිරීම පමණකි.
ඔවුන් තමන් මහත් උනන්දුවකින් කතාකරන අනුගමනය කරන්නේ යැයි කියන කාලාම සූත්‍රයෙහි පළමු කොටස අනුගමනය නො කරති. ඔවුහු තමන් නිරීක්‍ෂණය නොකර ම හිග්ස් බෝසෝනය ඇතැයි කියන්නේ වෙනත් අය කියා ඇති බැවින් මිස තමන් අනුගමනය කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුව හෝ ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නිසා හෝ නො වේ. ඔවුහු කාලාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස හැඳින්විය හැකි විස්තරයෙන්් කියැවෙන පරිදි එලොවටත් මෙලොවටත් වැඩදායක වන පරිදි විඤ්ඤූන් කරන කියන දැ කිරීමටත් නොකරන නොකියන දෑ නොකිරීමටත් පෙළඹ වී ඇතැයි කිසිවකුට සිතිය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නයක් වනුයේ ඔවුන්ගේ විඤ්ඤූන් වූ මේ බටහිර විද්‍යාඥයෝ හා වෙනත් බටහිර පඬිවරු එලොවටත් මෙලොවටත් වැඩදායක වන අයුරෙන් ක්‍රියා නො කිරීම ය.
අප උත්සාහ කරන්නේ අපට දෘශ්‍යමාන නොවන ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. දෘශ්‍යමාන නොවන අංශුවල චලිතය තේරුම් ගැනීම එක්විට ම අපහසු විය යුතු බැවින් අපි පළමුව පංචේන්ද්‍රියයන්ට ගෝචර වන වස්තුවල චලිතය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. එහෙත් අපට එය කළහැකි වනුයේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් මිස වෙනත් ක්‍රමයකට නො වේ. හුදු සංජානන කිසිවකු සම්බන්ධයෙන් ඇති නො වේ. අප වැනි පෘථග්ජනයන්ගේ සංජානන සංකල්පවලින් බැහැර නො වේ. අපට සංකල්පයක් නොමැති සංජානනයක් නැත.
පංචේන්ද්‍රියයන්ට ගෝචරවන වස්තුවල චලිතය අවකාශය, කාලය, විස්ථාපනය ආදී සංකල්ප උපයෝගි කරගනිමින් අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමු. එහෙත් එහි දී අපට වස්තුවක් අවකාශයේ පිහිටි ස්ථාන දෙකක් අතර චලනය වීමේ දී නොයෙකුත් උපකල්පන කිරීමට සිදුවිය. විශේෂයෙන් ම වස්තුවක සීමාකාරී අවස්ථාවක් වූ අංශුවක චලිතය සාකච්ඡා කිරීමේ දී අවකාශය හිඩැස්වලින් තොරවූ සන්තතික භූතාර්ථයක් ලෙස සැලකීමට අපට සිිදු විය. භෞතික වූ අවකාශයක් ඇති බවත් එය සන්තතික බවත් පමණක් නොව එම භෞතික අවකාශය ගණිතමය අවකාශයක් වූ යුක්ලීඩීය අවකාශයට සමාන බවත් (භෞතික අවකාශය හා ත්‍රිමාන යුක්ලීඩීය අවකාශය අතර එකට එක අනුරූපිතයක් ඇති බවත්) උපකල්පනය කළෙමු.
මේ සියල්ල උපකල්පන වෙයි. ඒ උපකල්පන නොමැතිව අපට අංශුවක චලිතය තේරුම් ගත නො හැකි ය. එහෙත් එය තේරුම් ගැනීමක් ද යන ප්‍රශ්නය පැන නගින්නේ එය උපකල්පන මත රුඳී ඇති බැවිනි. අප කරන්නේ යම් උපකල්පන මත පදනම් වෙමින් ආකෘති ගොඩ නැගීම ය. භෞතික අවකාශය ද අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපි ඊනියා භෞතික අවකාශයක් නිර්මාණය කරමු. එහෙත් එසේ කරන්නේ ගණිතමය යුක්ලීඩීය ත්‍රිමාන අවකාශය මත පදනම් වෙමිනි. ගණිතමය යුක්ලීඩීය අවකාශය කිසිසේත්ම පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් එය සමග එකට එක අනුරූපිතයක් ඇතැයි සැලකෙන භෞතික අවකාශයක් ද ඒකමාන වූ කාලයක් ද අපි නිර්මාණය කරගන්නෙමු.
කාලය සම්බන්ධයෙන් ද කිවයුත්තේ එය ද අවකාශයක් ලෙස ගැනෙන බව ය. එය ඒකමාන ගණිතමය අවකාශයක් සමග එකට එක අනුරූපිතයක් සාදන්නේ යැයි උපකල්පනය කෙරෙයි. කාලය පිලිබඳ අප දන්නේ යැයි සිතන බොහෝ දෑ මේ ගණිතමය අවකාශයෙන් ගලා එයි. අප ගන්නා ගණිතමය ඒකමාන අවකාශය සන්තතික ය. එහි හිඩැස් නැත. අපට භෞතික අවකාශයෙහි මෙන් ම කාලයෙහි ද අතරමැද ස්ථාන හෝ ලක්‍ෂ්‍ය ක්‍ෂණ හෝ පන්නා යා හැකි නො වේ. ලක්‍ෂ්‍ය ක්‍ෂණයක් ලෙස මෙහි දී අර්ථ දැක්වෙන්නේ කාල අන්තරයක් ශූන්‍ය කරා එළඹීමේ සීමාව ය. එය වස්තුවක පරිමාව ශූන්‍ය කරා එළඹීමේ දී අංශුව ලැබෙන්නාක් මෙනි. මේ කාල අවකාශය ඇතැම් සංස්කෘතිවල ගණිතමය සරල රේඛාවක් ලෙස ගැණිනි. (අවශ්‍ය නම් ස්වඡෙදනයක් නොවන වක්‍ර රේඛාවක් ලෙස ද ගත හැකි ය. වක්‍ර රේඛාව තමන් ඡෙදනය නොකළ යුතු ය. එය සන්තතික වක්‍රයකි.)
කිනම් සංස්කෘතියක වුව ද යැයි කිව හැකි තරමට මිනිසුන් කාලය මනින්නේ අද තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙන සංඛ්‍යා ආශ්‍රය කරමිනි. අපි එක් සිද්ධියක සිට තවත් සිද්ධියකට ගත වී ඇති කාලය තත්පර දහයක් යැයි කියමු. එසේත් නැත්නම් අවුරුදු පහක් යැයි කියමු. පහ, දහය ආදිය තාත්වික සංඛ්‍යා වෙයි. සංකීර්ණ සංඛ්‍යාවලින් කාලය මනින සංස්කෘතියක් ඉතිහාසයේ කිසි දිනෙකවත් තිබූ බවට සාක්‍ෂියක් නැත.
චලිතය ගැන යමක් දැන සිටි සියල්ලන් ඉහත සඳහන් ආකාරයෙන් සිතුවේ දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන්ට ගණිතමය අවකාශ පිළිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අඩුම තරමෙන් යුක්ලීඩීය ජ්‍යාමිතිය සකස් කළ ග්‍රීකයන්ට වුව ද ඒ දැනුම නො තිබුණි. එහෙත් ඒ බොහෝ දෙනා අවකාශය ගැන සිතුවේ හිඩැස් නොමැති භූතාර්ථයක් ලෙස ය. එලෙස ම කාලය පිළිබඳ රේඛීය සංකල්පයක් තිබූ සංස්කෘතිවල කාලය ද ක්‍රමයෙන් වැඩිවන්නක් ලෙස සැලකිණි.
එහෙත් කාලය ගැන එලෙස නොසිතූ සංස්කෘතීන් ද විය. ඔවුන්ගේ කාලය එක්කෝ සර්පිලාකාර විය. එසේත් නැත්නම් වෘත්තාකාර හෝ වෙනත් සංවෘත කාලයක් විය. සංවෘත කාලයක් පිළිබඳ සංකල්පය ඇතිවන්නේ චක්‍රීය චින්තනයක ය. සිංහල බෟද්ධයන්ට ඇත්තේ චක්‍රීය චින්තනයකි. සංසාරයක් ගැන අප සිතන්නේ ද එක්තරා ආකාරයකින් සංවෘත කාලයක් හෝ සර්පිලාකාර කාලයක් හෝ ආශ්‍රයෙනි.
අද බොහෝ දෙනා කතාකරන මායාවරුන්ගේ දින දර්ශනය සංවෘත කාලයක් ඇසුරෙන් නිර්මාණය කරගෙන ඇතැයි සිතිය හැකි ය. ඔවුන් 2012 දී ලෝකය විනාශ වන බව නොව ලෝකය නැවත තම මාර්ගය දිගේ ගමන් අරඹන බව සිතුවා වන්නට හැකි ය. චක්‍රීිය චින්තනයක එසේ සිතීම අරුමයක් නො වේ. ලෝකයේ එක් යුගයක් අවසාන වී තවත් යුගයක් ආරම්භ කිරීම 2012 දී සිදුවන්නේ යැයි ඔවුන්ට සිතෙන්නට ඇත. එබැවින් 2012න් පසුව දින දර්ශනය දිගින් දිගට ගලායෑමට සැලැස්වීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොතිබෙන්නට ඇත.
වෛදික සංස්කෘතියෙහි ද එක් එක් යුග ඇත. අද ඇත්තේ කලියුගය යැයි කියනු ලැබේ. බෞද්ධයෝ ද ලෝකය ප්‍රසාරණය වී පසුව සංකෝචනය වන්නේ යැයි ද නැවතත් ප්‍රසාරණය වන්නේ යැයි ද ආදී වශයෙන් ගනිති. ඒ ඒ කල්පවල දී බුදුන් වහන්සේලා පහළ වන බවත් නැවතත් ධර්මය දේශනා කරන බවත් බෞද්ධයෝ දනිති. ඒ ක්‍රියාවලිය චක්‍රීය වෙයි. එක් කල්පයක දී එක් බුදුන් වහන්සේ නමක් පමණක් පහළ වන්නේ යැයි නොසිතිය යුතු ය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුන් වහන්සේලා පස්නමක් පහළ වෙති. මේ කල්පය භද්‍ර හෙවත් යහපත් වන්නේ එබැවිනි.
එහෙත් බුදුන් වහන්සේ නමක් පහළ නොවන කල්ප ද තිබිය හැකි ය. එමෙන් ම බුදුන් වහන්සේලා දෙනමක් අතර ධර්මය නැති වී යන කාල ද වෙයි. එවැනි කාල අබුද්දස්ස කාල ලෙස බෞද්ධයන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් ඕනෑම කල්පයක් වෙනත් කල්පයක පිටපතක් නොවන බව ය. එනම් කල්ප අතර එකට එක අනුරූපිතයක් ද නැත. මේ සියල්ලෙන් අපට කියන්නේ කාලය විවෘත රේඛීය වශයෙන් ගන්නා සංස්කෘතීන් හැර තවත් සංස්කෘතීන් ද ඇති බව ය.
මායාවරුන්ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක් සිිදුවන බවක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කාලය විවෘත ඒක රේඛීය වීම ය. එහි කාලයට ආරම්භයක් ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේඛීය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදුවිණි යැයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.
බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනයට අවසානයක් ඇත්නම් එයින් කියැවෙන්නේ ඉන්පසු ලෝකයක් නැති බව ය. සරල රේඛා ඛණ්ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට ද අගක් මුලක් ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක් නොකියැවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසානය ලෙස ගත්හ. විවෘත ඒක රේඛීය චින්තනයක් ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියැවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්කෘතියෙහි සිතන ආකාරයට අනෙක් සංස්කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡභාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම්වත් නිහතමානී නො වෙති.