Main Logo

Thursday 12 May 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 6

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 6
මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x මේ යෝජනාවලිය සංශෝධනය කෙරීමට ඔබ එකඟ නොවන්නේ මෙයින් සාමය ඇති නොවන බැවින් පමණක් ද ?


නැහැ. සාමය ඇති නොවනවා පමණක් නොවෙයි. මෙය අසාධාරණ විසඳුමක්. දෙමළ ජාතිවාදයට අවශ්‍ය වන්නේ දෙමළ රාජ්‍යයක්; තමිල් ඊළමක්. මේ යෝජනාවලියෙන් ආණ්ඩුව එයට උදව් වෙනවා. එය පනින රිළවුන්ට ඉනිමං බැඳීමක්. මේ යෝජනා සංශෝධනය කෙරීම යනු ඉණිමගේ හිණිපෙත්තක් දෙකක් කඩා දැමීම පමණයි. එයින් ඉණිමග අයින් කෙරෙන්නේ නැහැ. 

ප‍්‍රභාකරන් ගේ බාප්පලා හා මස්සිනාලා හැමදාමත් ක‍්‍රියා කළ ක‍්‍රමයක් තිබෙනවා. ඔවුන් තම අරමුණ, එනම් පෙඩරල් රාජ්‍යය හා තමිල් ඊළම ලබා ගන්නා තෙක් ඒ ඒ අවස්ථාවේ දී දේශපාලන තත්ත්වයන් උපයෝගී කරගනිමින් යෝජනා ඉදිරිපත් කරනවා. ඉන්පසු එයට සිංහල බහුතරය විරුද්ධ වූ විට ඔවුන් එය සංශෝධනය කරනවා. සිංහලයන් ද ඉන් සෑහීමකට පත් වෙනවා. ඊළඟ වටයේ දී දෙමළ ජාතිවාදීන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ ඔවුන් කලින් වටයේ දී නැවතුණු තැනින්. එනම් කලින් වතාවේ දී සංශෝධනය කර ඇති කරගත් එකඟතාවක් පදනම් කර ගනිමින් අලූත් වටයේ ඉල්ලීම් ඉදිරිපත් කර පසු ව ඒවා සංශෝධනය කර ඊළඟ වටය සඳහා පදනමක් දමා ගන්නවා. ඔවුන් කිසි විටෙකත් ඊළමත්, එහි පළමු අදියර වූ පෙඩරල් රාජ්‍යයත් අමතක කරන්නේ නැහැ. 

ආණ්ඩුවේ යෝජනාවලිය මොන අර්ථයෙන් විග‍්‍රහ කළත් පෙඩරල් රාජ්‍යයක් සඳහා වූ යෝජනා ක‍්‍රමයක්. එය ඊළමක් සඳහා තල්ලූ කරන යෝජනා ක‍්‍රමයක්. මෙම යෝජනා සංශෝධනය කෙරීම යනු ඊළම හා පෙඩරල් අහක දැමීමක් නොවෙයි. එය තහවුරු කෙරීමක් පමණයි. සංශෝධනය කර සම්මත කෙරෙන යෝජනාවලිය ඊළඟ වටයේ දී අදියර දෙකේ දෙමළ ජාතිවාදීන්ට හිණි පෙත්තක් වෙනවා. ඔවුන් ඊළඟ වටය පටන් ගන්නවා ඇත්තේ එතැනිනුයි. මේ යෝජනාවලිය ගෙන එන සමස්ත රාමුව ම වැරැුදියි. ආණ්ඩුවේ විසඳුම පෙඩරල් හා තමිල් ඊළාම් ඉලක්ක කරගෙන ගෙනෙන යෝජනාවලියක්. එය සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කළ යුතුයි. 

අනෙක් අතට මේ යෝජනාවලිය පදනම් වී ඇත්තේ පසුගිය වටයේ දෙමළ ජාතිවාදීන් දිනාගත් ඉල්ලීම් මතයි. පසුගිය වටයේ ඔවුන් ඉන්දීය බලපෑම් ද ඇතිව දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා දිනාගත්තා. මේ යෝජනාවලිය ඉන් ඔබ්බට යනවා. මේ යෝජනාවලිය අනුමත කෙරීම හෝ සංශෝධනය කෙරීම යනු දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අනුමත කෙරීමක්. එය එසේ නොවේ යැයි කීමට කිසිවකුටත් බැහැ. මට තේරුම් ගන්න බැරි දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභාවලට විරුද්ධ වූ ශ‍්‍රී. ල. නි. පක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙම යෝජනාවලියට කැමති වන්නේ කෙසේ ද යන්නයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභාවලට විරුද්ධ වූ කිසිම භික්ෂූන් වහන්සේ නමකට හෝ ගිහියකුට මෙම යෝජනාවලියේ ඇලපිල්ලකටවත් එකඟ වන්න බැහැ. 

x ශ‍්‍රී. ල. නි. ප. තම ප‍්‍රතිපත්ති වෙනස් කර නැද්ද ?

නැහැ. මා ශ‍්‍රී. ල. නි. පක්ෂ මන්ත‍්‍රීවරුන් ගෙන් හා සාමාජිකයන් ගෙන් අහනවා එම පක්ෂය පළාත් සභා හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂයේ ප‍්‍රතිපත්ති වෙනස් කෙළේ කවදා ද කියා. ඒ සඳහා සම්මේලනයක් පැවැත්වූවා ද ? ශ‍්‍රී. ල. නි. ප. පළමු පළාත් සභා මැතිවරණය වර්ජනය කළා. මෙවරත් ඔවුන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ පළාත් සභා අහෝසි කෙරීමේ පදනමිනුයි. ඔවුන් කියා සිටියේ පළාත් සභා අහෝසි කෙරීම සඳහා තමන්ට ඡුන්දය දෙන ලෙසයි. 

ශ‍්‍රී. ල. නි. පක්ෂයේ ප‍්‍රතිපත්තිය වෙනස් කෙළේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ඇය ඉතාමත් ඒකාධිපති ආකාරයකින් පක්ෂයේ ප‍්‍රතිපත්ති වෙනස් කර තිබෙනවා. ඇය නම් එදත් අදත් පළාත් සභාවලට පක්ෂයි. සිදු වී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ ප‍්‍රතිපත්තියට ශ‍්‍රී. ල. නි. පක්ෂය එකඟ වී ඇති බවක් කුමන්ත‍්‍රණකාරී ව පෙන්වීමයි. මෙහි දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පිටුපස විකල්ප පුවත්පත්, රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය ආයතන ඇතුළු සකලවිධ විජාතික බලවේග පෙළ ගැසී සිටිනවා. 

x ඔබ යෝජනාවලියට විකල්පයක් ඉදිරිපත් කරන්නේ ද ? 

විකල්පයක් ඉදිරිපත් කළ යුත්තේ ප‍්‍රශ්නයකට දී ඇති විසඳුම වැරැුදි යයි සිතන්නේ නම් පමණයි. එහෙත් මෙහි දී ප‍්‍රශ්නය වනුයේ, ප‍්‍රශ්නය ම වැරැුදි වීමයි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම අසාධාරණයක් සිදු වී නැහැ. එබැවින් මෙතැන ආණ්ඩුව කියන ආකාරයේ ප‍්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව කියන ආකාරයේ ප‍්‍රශ්නයක් නැත්නම් විකල්පයක් තබා කිසි ම විසඳුමක් අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් විකල්ප විසඳුම් ඉදිරිපත් කෙරීමේ අවශ්‍යතාවයක් කෙසේ වත් පැන නගින්නේ නෑ. 


ආණ්ඩුව කිසි ම විටෙකත් සමස්ත ප‍්‍රශ්නය සංයුක්ත ව ඉදිරිපත් කර මේ විසඳුම නිසා මේ මේ කොටස් සංයුක්ත ව මෙසේ විසඳෙන්නේ යැයි පැහැදිලි කර දී නැහැ. ආණ්ඩුව විසින් ප‍්‍රථමයෙන් කළ යුත්තේ ඔය කියන අසාධාරණකම් මොනවා දැයි පැහැදිලි ව, සංයුක්ත ව, එකින් එක විස්තර කෙරීමයි. ඉන්පසු ඒ ඒ අසාධාරණය මේ මේ ආකාරයෙන් විසඳෙන බව යෝජනාවලිය ආශ‍්‍රයෙන් පෙන්වා දීමයි. එහෙත් ආණ්ඩුව එසේ කරන්නේ නැහැ. ආණ්ඩුව තබා ඔවුන් වටේ සිටින පණ්ඩිතයන්වත් එය කරන්නේ නැහැ. එයට හේතුව ඔවුන්ට එසේ කළ නොහැකි වීමයි. එසේ කළ නොහැක්කේ එවැනි ප‍්‍රශ්නයක් නොමැති වීම නිසයි.  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.  



නලින් ද සිල්වා

2016 මැයි 12