Main Logo

Tuesday 10 May 2016

ආගමේ වගතුග

ආගමේ වගතුග

බුද්ධාගම යන්න වැරදි ව්‍යවහාරයක් වුවත් අපට අද එය පමණක් නොව ඕල්කට් බුද්ධාගම, තම්බයියා බුද්ධාගම, විද්‍යාත්මක බුදධාගම ආදී සංකල්ප ද යොදාගැනීමට සිදු වී ඇත. එසේ යොදා ගැනීමේ දී අපි ආගම යන්නට අර්ථකථනයක් දෙමු. දැනුම යනු අවසානයේ දී අපේ අර්ථකථන (නිර්වචන), සංකල්ප, ප්‍රවාද ආදිය යි. දැනුම යනු අපේ සංස්කරණයක් පමණකි. හැකි අයුරෙන් අනෙක් දැනුම් සමග සංගත අර්ථකථන දීමට අප උත්සාහ ගත යුතු ය.  බුද්ධාගම ගැන කතාකිරීමට පෙර අපි මෙහි දී ආගම යන්නෙහි වගතුග සොයා බලමු.


පසුගිය අප්‍රේල් 30 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවට සදාචාර වස්තුව (Morality Tale ) නමින් ලිපියක් ලියන නිකලස් බෝමාර්ඩ් නම් පරිණාමීය (evolutionary) මනෝවිද්‍යාඥයකු සදාචාරය උගන්වන ආගම් පරිණාමයෙන් තේරුම් ගත හැකි යැයි ද එබැවින් ඒ ආගම්වල වැටීම ද එලෙස තේරුම් ගත හැකි බව පවසයි. ඔහුට අනුව ක්‍රිස්තියානියට පෙර ආගම් බොහෝමයක් සදාචාරයට වැදගත් අගයක් දී නැත . ඔහු ක්‍රිස්තියානි ආගම සලකන්නේ දැනට අවුරුදු දෙදහසකට පමණ පෙර ඇති වූ නව රැල්ලක කොටසක් ලෙස ය. බටහිර සම්ප්‍රදායේ හැදී වැඩී ඇති ඔහුට වේද හා ආගම් ගැන දැනුමක් නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් ආචාර ධර්ම යන්න ආගමක ප්‍රධාන අංගයක් ලෙස සැලකිය හැකි ය. ඇතැමුනට අනුව බුද්ධාගම යනු ආගමකට වඩා ආචාර ධර්ම පද්ධතියකි. බුදුන්වහන්සේ ආචාර ධර්ම ද දේශනා කර ඇති බව පැහැදිලි ය. එහෙත් උන්වහන්සේ දේශනා කර ඇත්තේ එපමණක් නො වේ. 

ආගම යන්න සංස්කෘත වචනයක් යැයි කියැවෙයි. එහි තේරුම වෙතට පැමිණීම යන්න ය. ගම යනු ගමන යන්න ද ආ ප්‍රත්‍යය වෙතට යන්න ද දනවයි. ආගම යනු සම්ප්‍රදාය වන අතර මේ වෙතට පැමිණීම යනු සම්ප්‍රදායෙන් තමන් වෙත පැමිණීම යන්න ය. ආගම යන වචනයෙහි සිංහල ස්වරූපයක් (ගතියක්) ඇතැයි ද සිතෙයි. කෙසේ වෙතත් ඒ අර්ථයෙන් නම් බුදුදහම ආගමක් විය නො හැකි ය. පරම්පරාවෙන්, සම්ප්‍රදායෙන් ආ පමණින් ම යමක් නොපිළිගත යුතු යැයි කාලාම සූත්‍රයෙන් ඉගැන්වෙයි. ආගම් අප වෙතට පැමිණෙයි. එහෙත් ධර්මය එසේ නො වේ. ඒ එහි පස්සික ය. අපට ධර්මය වෙතට ඇවිත් බැලීමට බුදුන්වහන්සේ දේශනා කර ඇත. ආගම අප වෙතට පැමිණෙන අතර අපි ධර්මය වෙත ගොස් බලමු. 

ආගම් හා වේද අතර සමානකම් මෙන් ම අසමානකම් ද ඇතැයි කියැවෙයි. වේදය යනු දැනුම ය. මූලික වශයෙන් වේද කොටස් හතරකි. කවුරුත් පාහේ අසා ඇති පරිදි ඒ චතුර්වේදය ලෙස හැඳින්වෙයි. ආගම් ද දළ වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ වෛෂ්ණව, ශෛව හා ශක්ත යනුවෙනු. ආගම් ග්‍රන්ථ සංස්කෘත හා දෙමළ වැනි ද්‍රවිඩ භාෂාවලින් වෙයි. ශක්ත ආගම් තන්ත්‍ර යනුවෙන් ද හැඳින්වෙයි. ආගම්වල යෝග ක්‍රම හා කෝවිල් තැනීම ගැන උපදෙස් වෙයි. එමෙන් ඒ ග්‍රන්ථවල දාර්ශනික මතිමතාන්තර ද වෙයි. ද්වෛතය, අද්වෛතය ආදිය එකී ග්‍රන්ථවල සාකව්ඡා වෙයි. ඇතැමුනට අනුව ආගම් වේදයට පටහැණි අතර තවත් සමහරුන්ට අනුව ආගම්වල ඇත්තේ වේදයේ අරටුව ය. 

වේදයේ හා ආගම්වල වැඳුම් පිදුම් ක්‍රම අතර වෙනස්කම් වේ යැයි සඳහන් වෙයි. වෛදික යාඥාවලට පිළිම සිද්ධස්ථාන ආදිය අවශ්‍ය නොවන අතර ආගමික පූජාවිධිවලට පිළිම සිද්ධස්ථාන ආදිය අවශ්‍ය වෙයි. පිළිම අවශ්‍ය නොවීම මගින් වේදය, මැද පෙරදිග යුදෙවු ආගමට, ඉස්ලාම් ආගමට, මාටින් ලූතර්ලාගේ ක්‍රිස්තියානි ආගමට නෑකමක් දක්වන බව කිව හැකි ය. කෙසේ වෙතත් වේදය, විශේෂයෙන් ම සෘග්වේදය පැරණි ඉරානයේ බිහි වූ සරතුස්ත්‍ර ආගමේ අවෙස්තාවට සමාන කමක් දක්වන්නේ යැයි කියැවෙයි. එහෙත් ඒ එක්තරා ආකාරයක පැටලීමක් සමග ය. සරතුස්ත්‍ර ආගමේ අසුරයකු වූ අහුරාමස්දා වේදයට එනවිට ඒ නමින් නොවූවත් සුරයෙක් වෙයි. අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ උතුරට වේදය මැද පෙරදිග ආභාසයක් සහිත ව ඉරානයෙන් පැමිණ ඇති බවත් ආගම දකුණට සමහරවිට ලංකාවෙන් ගොස් ඇති බවත් සිතීමට හැකි ය. කෙසේ වෙතත් අවුරූදු දහස් ගණනක් තිස්සේ වේදය හා ආගම් මිශ්‍ර වී ඇති බව පැහැදිලි ය. මේ සියල්ල පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළ යුතු ය. 

අද ආගම යන්න ඉංගිරිසි රිලිජන් යන්නෙහි පරිවර්තනයක් ලෙස ද සැලකෙයි. රිලිජන් යන්න ලතින් රෙලිගියෝ යන්නෙන් බිඳී ඇතැයි කියැවෙයි. රිලිජන් යන්නෙන් ශුද්ධත්වයට, දෙවියන්ට ඇති ගෞරවය, මිනිසුන් හා දෙවියන් අතර ඇති බැඳීම ආදිය නිරූපණය කරන්නේ යැයි කියැවෙයි. ඒ අරුතින් ද බුදුදහම ආගමක් නො වෙයි. බුදුදහම ආගමක් ද නැද්ද යන වැඩකට නැති වාදය මේ රිලිජන් යන්න වටා ගොඩනැගී ඇති බව පැහැදිලි ය

මේ අතර ඇතැමුන් චීනය ප්‍රධාන රටවල ඇති ආගම් ගැන ද කතාකර ඇත. තාඕ දහම මුල්කරගෙන ඇති ආගම් ලෙස ඒ හැඳින්වෙයි. එයට කුන්ෆූ දහම ද බොහෝ විට මහායාන බුදුදහම ද මිශ්‍ර වී ඇත. චීනයේ ඇත්තේ ජීවන ක්‍රමයක් යැයි කීමට ද ඉඩ ඇත. අපට අප්‍රිකානු ආගම් ද අමතක කිරීමට නො හැකි ය. 

මේ සියල්ල මැද ඇතැම් බටහිර උගතුන් පවසන්නේ වත්මන් රිලිජන් යන්න දහහත්වැනි සියවසෙන් පසු ව බිහි වූ සංකල්පයක් බව ය. එය ප්‍රොතෙස්තන්ත ආගම සමග ඇතිවූවක් ලෙස දැකීමට ඔවුහු කැමති වෙති. ඕල්කට්තුමාට තිබෙන්නට ඇත්තේ මේ ප්‍රොතෙස්තන්ත අදහස යැයි කීමට නොහැකි ය. ඔහු ප්‍රොතෙස්තන්ත වුවත් ආගම පිළිබඳ වත්මන් ප්‍රොතෙස්තන්ත සංකල්පය ඇත්තේ ඊනියා උගතුන් අතර ය. ඕල්කට්තුමාට බටහිර මනසක් තිබූ නමුත් අඩුම තරමෙන් බ්ලැවට්ස්කි මැතිණියගෙන් වෙනත් ආගම් ගැන ද අදහසක් ලැබී තිබුණු බව නිසැක ය.   


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 10