Main Logo

Wednesday 25 May 2016

දෙමළ ජාතිවාදියා විග්නේෂ්වරන් පමණක් නො වේ

දෙමළ ජාතිවාදියා විග්නේෂ්වරන් පමණක් නො වේ

සමුගනිමි හා මහින්ද ඔබ යන මග වැරදියි යන ලිපිවලින් මා ඉතා පැහැදිලිව කියා සිටියේ මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දීමෙන් වළකින බව යි. මෙයින් අදහස් කරන්නේ 2005 සිට 2015 හෝ ඉන් පසුව හෝ දක්වා මා මහින්දට පෞද්ගලික ව හමු වී උපදෙස් දුන් බවක් නො වෙයි. 2005 සිට අද දක්වා මට මහින්ද හත්අට වතාවකට වඩා හමු වී නැහැ. උපදෙස් දීම යනුවෙන් අදහස් කෙළේ මගේ ලිපි මගින් කළයුත්ත හා නොකළයුත්ත ප්‍රකාශ කිරීමයි. පසුගිය සතියේ සිට  එලෙස  උපදෙස් දීමත් මා නවතා දැම්මා. එයට හේතුව මහින්දවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්වත් ඒ කිසිවකට සවන් නොදීමයි. මහින්ද දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙළේ මා කී නිසා නොවෙයි. එය ජනතාවගේ ඉල්ලීම වූවා.  මා උපදෙස් දීම නැවැත්වුවත්  දේශපාලන විචාර ලිපි හා සිංහල බෞද්ධ දැනුම ගොඩනැගීම ගැන ලිපි ලිවීම නැවැත්තුවේ නැහැ.


ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ජෙනීවා ගොස් ඊනියා අන්තර්ජාතික පාර්ලිමේන්තුව හමුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයට පිළිගැනීමක් ලැබුණේ නැහැ. එලෙස පිළිගැනීමක් නොලැබෙන බව අප කලින් ම දැන සිටියා. ඇතැම් උගතුන් ද තවමත් සිතන්නේ බටහිරයන් දෙමළ ජාතිවාදීන්ට ආධාර කරන්නේ කරුණු හරිහැටි අවබෝධ කරගෙන නැති නිසා බවයි. දෙමළ ජාතිවාදය නමින් ප්‍රශ්නයක් ඇතිකරපු බටහිරයන් කරුණු නොදන්නවා නො වෙයි. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජාතිවාදය යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමයි. එනම් සිංහල බුද්ධාගම නැති කිරීමයි. බටහිරයන් අතරත් ඇ එ ජනපදයේ ඩෙමොක්‍රටික් පක්‍ෂයත් එංගලන්තයේ ලේබර් පක්‍ෂයත් වෙනත් රටවල එවැනි පක්‍ෂත් දෙමළ ජාතිවාදයට වඩාත් හිතවත්. 

සිංහල බුද්ධාගමක් ගැන කී විට ඇතැම් උගතුන් කෝප වෙනවා. ඔවුන්ට අනුව ඇත්තේ එක බුද්ධාගමයි. මොවුන් බුද්ධාගම හා බුදුදහම අතර වෙනසවත් දන්නේ නැහැ. ඔවුන් බුද්ධාගම යනුවෙන් අදහස් කරන්නේ බුදුදහමයි. එහෙත් ලෝකයේ බුදුදහම් ද එකකට වඩා තිබෙනවා. මේ උගතුන් මහායාන, හීනයාන, ථෙරවාද ගැනවත් අසා නැද්ද? බුදුන්වහන්සේ දෙසූ බුදුදහම දැනසිටියේ උන්වහන්සේ ම පමණයි. රහතන් වහන්සේලා නිවන් පසක් කරගෙන සිටියත් බුදුන්වහන්සේ මෙන් බුදුදහම අවබෝධ කරගෙන සිටියේ නැහැ. මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ මුල සෙවීමට යෑම එයට එක් උදාහරණයක් පමණයි. සියළු රහතන් වහන්සේ එක පමණට බුදුදහම අවබෝධ කරගෙන සිටියේ නම් බුදුන්වහන්සේ ප්‍රඥාවෙන් වැඩිම රහතන් වහන්සේ ලෙස සැරියුත් මහා රහතන් වහන්සේ නම් කරන්නේ නැහැ.

එක ම බුදුදහමක් ගැන කතාකරන්නේ වාස්තවික යථාර්ථයක් ගැන විශ්වාස කරන උගතුන්. ඔවුන් දැනුම සාපේක්‍ෂ බව පිළිගන්නේ නැහැ. දැනුම සාපේක්‍ෂ බව නොපිළිගැනීමත් සාපේක්‍ෂ බවක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන එක් එක් අයට ඇත්තේ එක් එක් දැනුම්. ඒ පිළිබඳ මගේ දැනුම ගැන මා ලියනවා. එයින් අදහස් කරන්නේ මා අඩුම තරමෙන් සෝවාන් ඵලයට පැමිණ ඇති බවක් නො වේ. යමකුට ත්‍රිලක්‍ෂණ, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පදාය ගැන ලියන්න සෝවාන් ඵලයටවත් පැමිණිය යුතු නම් බටහිර උගතුන් පැල් බැඳගෙන ඒ ගැන ලියන්නේ ඔවුන් සෝවාන් නිසා දැයි අසන්නට සිද්ධ වෙනවා. එහෙත් සිංහල බෞද්ධ යැයි කියන උගතුන් බටහිරයකුගෙන් කිසිදාක ඔහු සෝවාන් දැයි අසන්නේවත් ඔහු සෝවාන් ඵලයට පැමිණ ඇතැයි කියමින් නින්දා කරන්නේවත් නැහැ. මෙයින් කියන්නේ සෝවාන් ඵලයට පැමිණීම නින්දාවට ලක්විය විය යුතු කරුණක් නොවන බව ඒ ඊනියා උගතුන්ට මුලින් ම කිව යුතුයි. මොවුන්ට සුද්දන්ට තවමත් ඉතා ඉහළින් සලකනවා!

එය පැත්තකින් තබන්න. දෙමළ ජාතිවාදය ගැන අප එකිනෙකා දරන්නේ එක එක අදහස්. මා දෙමළ ජාතිවාදය ගැන දන්නේ විකාශය වන දෙයක් ලෙස. එය ආරම්භ කෙළේත් පවත්වා ගෙන යන්නේත් එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්. ඉන්දියාව 1947න් පසු දෙමළ ජාතිවාදයට ආධාර කරනවා. මේ විකාශය සිංහලයන්ට, එනම් සිංහලයන්ගෙන් බහුතරයකට, අවබෝධ කරගැනීමට බැරි වූ නිසා අද අප නැවතත් සන්ධීය හෙවත් ෆෙඩරල් ගැන කතා කරනචා. විග්නේස්වරන් ගැන එහෙමත් නැත්නම් නැගෙනහිර පළාතේ මහඇමති ගැන කතා කරනවා. අද උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරුන් එහි මහඇමතිවරුන්ට බයයි. ආණ්ඩුකාරයන් කියන්නේ ජනාධිපතිගේ නියෝජිතයන්. ජනාධිපති බය නැත්තේ කාට ද කියන ප්‍රශ්නය ඇසීමට සිදුවෙනවා. ඔහුගේ රාජපක්‍ෂ වෛරය බටහිර රටවල් හා ඉන්දියාව සිංහල බුද්ධාගමට විරුද්ධව යොදා ගන්නවා. ගංවතුරෙන් කම්පා නොවුණු විපක්‍ෂ නායකයකු, මහාඇමතිවරුන් අද අපට සිටිනවා. 

විග්නේෂ්වරන් කියන්නේ පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම් සහෝදරයන්ගේ ඥාති සහෝදරයකුගේ මුණුබුරකුට. එය ලේ නෑකමක් පමණක් නොවෙයි.  විග්නේෂ්වරන් කියන්නෙ රාමනාදන් සීයලා පටන්ගත් දෙමළ ජාතිවාදී  දේශපාලනයේත් මුණුබුරෙක්. විග්නේෂ්වරන් මෙන් ම ප්‍රභාකරන් ද රාමනාදන්ලාගේ දේශපාලන මුණුබුරෙක්. විග්නේෂ්වරන් ප්‍රභාකරන්ගේ දේශපාලන මස්සිනා කෙනෙක්.  විග්නේෂ්වරන් තවමත් ආයුධ අතට ගෙන නැහැ. එහෙත් ඔහු දෙමළ ජාතිවාදයෙක්. ඔහු පමණක් නෙවෙයි, රාමනාදන් හා අරණාශලම් ද දෙමළ ජාතිවාදීන්.

අදත් ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් බොහෝ දෙනකු රාමනාදන්ලා දෙමළ ජාතිවාදීන් ලෙස පිලිගන්නේ නැහැ. ඔවුන් අද ව්‍යවස්ථා සම්පාදනයට ආණ්ඩුවත් එක්ක එකතුවෙලා. ඊනියා ව්‍යවස්ථාව සිංහල බෞද්ධ විරෝධී එකක් වේවි. එදාට ඒකාබද්ධ විපක්‍ෂය ද පැත්තකින්  තබා ජනතාවට සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් පරදවන්න වේවි. ඒත් ඒ ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණය තීන්දු කළහොත්. ඒකීය වචනයකින් ව්‍යවස්ථාව සරසා ජනමත විචාරණයක් නැතිව නීතියේ කණින් රිංගීමට ආණ්ඩුව කටයුතු කරන්න ඉඩ තිබෙනවා. මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කෙළේ අධිකරණය ඉදිරියට නොයා සිටීමට වීමට විශාල ඉඩක් තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මේ අනතුර දකින්නේ නැහැ.  

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා 

2016 මැයි 25