Main Logo

Wednesday 18 May 2016

මහින්ද ඔබ යන මග වැරදියි

මහින්ද ඔබ යන මග වැරදියි

අද ඔබටත් මටත් සකල සිංහල ජනතාවටමත් ලංකාවේ වාසය කරන සියල්ලන්ටමත් මෑත ඉතිහාසයේ වැදගත් ම දිනයයි. එහෙත් ඒ නොපිළිගන්නා සිංහල පඬියන් ද සිංහල නොවන වැඩි පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුයි. ඒ ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිරයන්ගේ මතවාදවලට ගොදුරු වී සිටින බැවින්. අද ඉන්දියාව ද බටහිර මතවාදවලට ගොදුරු වී සිටිනවා. ඉන්දියාව යනුවෙන් රටක් ඉංගිරිසින් පැමිණීමට පෙර නොතිබුණත් ඒ භූමියේ අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ ජනතාව ද බටහිර ආසියාවෙන් පැමිණි මතවාදවලට ගොදුරු වී තිබෙනවා. ඒ නිසා ඒ ගැන පුදුම වීමට දෙයකුත් නැහැ. විජයගේ කාලයේ සිට ඇතැම් විට රාමගේ කාලයේ සිට ලංකාවට විවිධ වකවානුවල ආක්‍රමණ සිදු වී තිබෙනවා. ඉතිහාසය ගැන පඬියන් කියන කතාවලට වෙනස් කතාවක් මට තිබෙනවා. මූල සිංහලයන් බෞද්ධයන් වී ඇත්තේ විජය පැමිණීමටත් පෙර. රාමලාගේ විජයලාගේ සියළු දේශපාලන හා සංස්කෘතික ආක්‍රමණ අබිමුව ඔවුන්ගේ රට අබිමුව වූ අපේ රට අඩුම තරමෙන් අවුරුදු තුන්දහසකට වඩා තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන තිබෙනවා. එය කියුබාව ඇමරිකා එක්සත් ජනපදය අබිමුව තම අනන්‍යතාව හා ස්වාධීනත්වය රැකගෙන සිටිනවාට වඩා අති ශ්‍රෙෂ්ඨයි. 


මේ අනන්‍යතාව හා ස්වාධීනත්වය ඉතා මෑතක අප රැකගත්තේ ඔබේ දේශපාලන නායකත්වයෙන්. මේ නිවට ආණ්ඩුවට ඔබත් අද දිනයත් වැදගත් නොවූවාට අපට ඒ වැදගත්. 2009 මැයි 18වැනි දා ඔබේ දේශපාලන නායකත්වයෙන් ඔබේ සොහොයුරු ගෝඨාභයගේ මග පෙන්වීමෙන්් අපේ වීරෝදාර රණවිරුවන් ලබාගත් ජයග්‍රහණය හුදු සංදර්ශනයක් පවත්වා අමතක කිරීමට නිවට ආණ්ඩුවේ පරගැති නායකයන් ක්‍රියා කරන්නේ දෙමළ ජාතිවාදීන්ට රාමනාදන්ගේ හා අරුණාශලම්ගේ මුණුබුරු විග්නේස්වරන්ගේ නායකත්වයෙන් ඊනියා ජනසංහාරයක් සැමරීමට ඉඩ දීමෙන්. නිවටයන් යටතේ සේවය කරන නිවට රජකු වූ අයකු මෙහි පැවතියේ රටවල් දෙකක් අතර යුද්ධයක් නොවන බවත් ඒ සැමරීමට දෙයක් නොවන බවත් කියා තිබෙනු මා දැක්කා. එය රටවල් දෙකක් අතර වූ යුද්ධයක් නොවන බව ඔබත් මාත් දන්නවා. මෙහි සිවිල් යුද්ධයක්වත් තිබුණේ නැහැ. එබැවින් යුද්ධාපරාධ ගැන කතාකිරීම ම වැරදි බව නිවටයන්ට තේරෙන්නේ නැහැ.  

එහෙත් මේ නිවටයන් නොදන්නා එහෙත් ඔබ හොඳාකාරව ම දන්නා දෙයක් තමයි එහි දී ඉන්දියාවත් එංගලන්තය ඇතුළු බටහිර රටවලුත් කරන ලද බලපෑම්. එය එක්තරා අතකින් ගත්කල පෙරකලාසි යුද්ධයක්. නීතිඥයකු වූ ඔබට පෙරකලාසි යන්න අමුතුවෙන් කියා දිය යුතු නැහැ. කොහොමටත් මා ඔබට කිසිවක් කියා දීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔබ මා කියන දෙයක් අහන්නේ නැති බව මා දන්නවා. ඉන්දියාව හා විශේෂයෙන් ම එංගලන්තය අපට එරෙහිව, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව, සටන් කෙළේ දෙමළ ජාතිවාදයේ විකාශයක් වූ දෙමළ ත්‍රස්තවාදය යොදා ගනිමින්. එයට ලංකාවේ සිටින විවිධ ආගමික නායකයන් ඇතුුළු සිංහල බෞද්ධ විරෝධීන් සහාය දුන්නා. ඔබ එය පරාජය කීරීමට දේශපාලන නායකත්වය දුන්නා. ඔබේ ජයග්‍රහණය සම කළ හැක්කේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ ජයග්‍රහහණයට බව මා අවුරුදු හතකට පෙර ම කිවුවා. මේ රටේ අහිංසක ජනතාව ඔබට රජු යැයි කීවේ නිකම් ම නො වෙයි. නිවට ආණ්ඩුවත් ඔවුන්ගේ ස්වාමියා වූ එංගලන්තයත් අපේ ජයග්‍රහණය සමරන්නේ නැතිව විග්නේස්වරන්ට හා ප්‍රභාකරනගේ මස්සිනා වූ ශිවාජිලිංගම්ට ඊනියා ජනසංහාරයක් සැමරීමට ඉඩ දුන්නත් දෙවැනි ලෝක යුද්ධය යැයි කියන්නෙහි ජයග්‍රහණය සැමරීමට එංගලන්තයත් අනෙක් ඊනියා මිත්‍ර රටවලුත් සහභාගිවන්නේ නට්සිවාදීන්ට ඒ සැමරීමට කිසිම ඉඩක් නොතබමින්. එංගලන්තය එදා රාමනාදන් හා අරුණාශලම් යොදාගත් ආකාරයට අද ඔවුන්ගේ මුණුබුරු විග්නේස්වරන් යොදා ගන්නවා. 

ඔබ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් නමුත් දෙමළ ජාතිවාදය පරාජය කෙළේ නැහැ. එංගලන්තයේ අනුග්‍රහයෙන් ඉන්දියාව අප මත පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමට ඔබ එදා පියවර ගත්තේ නැහැ. එහෙත් මා ඔබට එයට දොස් කියන්නේ නැහැ. එදා ඒ කළ යුතු යැයි ඔබට කිසිවකු කී බවක් මට මතක නැහැ. එමෙන් ම ඒ අහෝසි කළ යුත්තේ ඇයි ද යන්න නිරවුල් ව පෙන්වා දීමට අප කිසිවකු එදා සමත් වූයේ නැහැ. අප කාහටත් නුවණ පෑදුනේ කලක් ගතවීමෙනුයි.  

එංගලන්තය ඇතුළු බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ඔබ මළවුන් අතරට යැවීමටයි. මා බටහිරයන්ගේ විවිධ වසන්ත ගැන ඒ දිනවල කිවුවා. ඔවුන් ඔබේ මිතුරන් වූ ද ඔබ මෙන් ම බටහිරයන් හමුවේ කොන්ද කෙළින් තබාගෙන ක්‍රියා කළාවූ ද අරාබි නායකයන් ඝාතනය කළා. ඔබට ඒ දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැහැ. ඒ වෙනුවට මේ රටේ අහිංසක ජනතාව රවටා මැතිවරණවලින් පරාජය කර ඔබ ගෙදර යැවීමට ඔවුන් සැලසුම් කළා. ඔබ පසුගිය දා උගන්ඩාවේ දී සිදු වූ කලබැගෑනිය දැක ගන්නට ඇති. ඒ පිටුපස බටහිරයන් සිටින බව ඔබේ මිතුරන් ඔබට කියන්නට ඇති. අප රටෙහි දී ඔවුන් කෙළේ රනිල් ලවා තමන් රනිල්ට කියා දුන් ආකාරයට ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමයි. එහෙත් ඇංග්ලිකන් සංස්කෘතියේ රනිල්ට ඒ කිරීමට බැරි බැවින් ඒ සඳහා ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂයට ද්‍රෝහි වූ මෛත්‍රිපාල යොදා ගත්තා. එය එක්තරා ආකාරයකින් රාවණට විරුද්ධව විභීෂණ යොදාගත්තා වැන්නක්. සිරියාව අසුරයන්ගේ භූමිය. ඉරාකයේ හා සිරියාවේ කොටස් පැරණි මෙසපොතේමියාවට අයත් වූවා. ඇතැම් අරාබි නායකයන්ට හා ඔබට විරුද්ධ ව මේ කෙරෙන්නේ එක්තරා ආකාරයක සුර අසුර යුද්ධයක් දැයි මට හිතෙනවා.  සූර අසුර යුද්ධ ගැන පමණක් නොව ෂියා සුන්නි ගැටුම් ගැනත් මා මුහුණු පොතේ ලිවීමට බලාපොරොත්තු වෙනවා. ඔබ මගේ මුහුණු පොත කියවන්නේ නැති බව මා දන්නචා. ඔබ වඩා කැමති අසන්නට මිස කියවීමට නොවන බව මා දන්නවා. මා ඔබට ඒ ගැන දොස් කියන්නේ නැහැ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප බණ ඇසීමට පුරුදු වූ ජාතියක්. අනෙක් ආගම්වල කෙසේ වෙතත් අපේ හාමුදුරුවන් පොතක්් දිග ඇරගෙන දහම් දෙසන්නේ නැහැ.

රාමලා (වාල්මිකී) රාවණ භීෂකයකු ලෙස හැඳුන්වූවා. විභිෂණ යන නම රාමලා දැමූ එකක් විය යුතුයි. සදාම් හුසේන් ද බටහිර ජනමාධ්‍යවලට අනුව භීෂකයෙක්. ඔබත් බටහිරයන්ට හා ඔවුන්ගේ ලංකාවේ හෙංචයියලාට අනුව භීෂකයෙක්. මෛත්‍රිපාල විභීෂණ ද? සිරිස්නලාගේ විභීෂණය ගැන දැනගැනීමට පොළොන්නරුවට යා යුතු බව ඔබ මට වඩා හොඳින් දන්නවා. රනිල්ගේ විභීෂණය පාර්ලිමේන්තුවේ රඟ දැක්වෙනවා. කෙසේ වෙතත් ඔබේ ඊනියා භීෂණයට එරෙහිව මෛත්‍රීපාලට නමක් තැබීමට වාල්මිකී කෙනකු අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් මෛත්‍රීපාල යන්න මෛත්‍රිය පාලනය කර වෛරය වපුරන වෛරීදාස යන අදහස දෙනවා වන්නට පුළුවන්. මෛත්‍රිපාල ඔබෙනුත් ඔබේ සොහොයුරු බැසිල් ගෙනුත් පළි ගැනීමට ගොස් ජාතිය ම අනතුරේ හෙළනවා. බැසිල්ට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ද කටයුතු කරන බව ඔබ දන්නවා.

ඔබේ උපදේශකයන් ජනාධිපතිවරණයේදීවත් පසුව මැතිවරණයේදීවත් නිවැරදි සටන් පාඨ යොදා ගත්තේ නැහැ. ඔබට ජයග්‍රහණය තිබුනේත් තිබෙන්නේත් ජාතිකවාදී මාවතේ පමණයි. ඔබේ උපදේශකයන් ජාතිකත්වය මුළුමනින් ම අමතක කළා. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රුපවාහිනියට තබා අපේ දේ රැකගන්නේ යැයි කියන දෙරණටවත් ජාතිකත්වයට තැනක් දීමට මතක් වූයේ නැහැ. මෙය ඊනියා යුද්ධයක් විකිණීමක් නො වෙයි. විකිණීම (මාර්කට් කිරීම) යන්න බටහිර සංකල්පයක්. සිංහලයන් අදත් ගැමුණු රජු සිහිකරන්නේ ඔහු යුද්ධය විකුණූ නිසා ද? බටහිර කසිකබල් සංකල්පවලට හසුවීමේ විපාකය සිංහලයන්ට විඳින්නට සිදුවේ ද? ඔබට ඡන්ද ඇත්තේ සිංහලයන් අතරයි. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතරයි. ඔබේ කසිකබල් උපදේශකයන් විදග්ධ වීම සඳහා ඒ බව අමතක කළා. එහෙත් සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඔබට ඡන්දය දුන්නා. කෙසේ වෙතත් ඔබ ඔබේත් අපේත් ජයග්‍රහණය හෙට දිනයේ කුරුණැගල දී සැමරීම ගැන මා සතුටු වෙනවා. 

සිංහලයන්ගේ අභාග්‍යමත් ම දවසක් වූ 2015 ජනවාරි අටවැනි දා ඔබේ පරාජයෙන් පසු ඔබ ළඟ ඉතිරි වූයේ කී දෙනා ද? ඔබ ම අප සමග වරක් පැවසූ පරිදි පරාජයෙන් පසු ඇතැමුන් අඩුම තරමෙන් දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගැනීමට ඔබට නො හැකි වූවා. ඒ කවුරුන් දැයි මා මතක් කළ යුතු නැහැ. එහෙත් ඔවුන් අද ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්. මෛත්‍රිපාල විසින් වෙඩි තබනු ලැබූ ශී්‍ර ල නි පක්‍ෂයේ බොහෝ් නායකයන් එදා ඝාතකයා පසුපස ම ගියා. ඔබ එයට බියවූවා. පක්‍ෂයේ සභාපතිකම මෛත්‍රීපාලට දුන්නා. එය ඔබ කළ ලොකු ම මෝඩ කම. ඔබ තව සති දෙකක් ඉවසා සිටියා නම් ඔබට පණ අදිමින් සිටි ශ්‍රී ල නි ප ගොඩ ගැනීමට තිබුණා. එහෙත් දැන් ඒ පක්‍ෂය මියගොස්. එයට පණ දීමට බැහැ. 

මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂ මළකුණ කරා ගසා ගෙන යන්නට හදනවා. ඔහු දැනටමත් එ ජා පක්‍ෂයේ සිරකරුවෙක්. එහෙත් ඔහු පසුපස ඉන්දියාවත් එංගලන්තයත් සිටිනවා. ඒ රනිල්ට විරුද්ධව නොව ඔබට විරුද්ධව රනිල් සඳහා යි. ජාතික ආණ්ඩුව යන්න ව්‍යාජ සංකල්පයක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ ම ව්‍යාජ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම. ඔබේ කණ්ඩායමේ අය ඒ සංශෝධනයට ඡන්දය දීමෙන් කෙළේ වරදක්. අද ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පාපකර්මයට හවුල්වන්නේ කාගේ වුවමනාවකට ද? ඒ ව්‍යවස්ථාව සම්මත වුවහොත් ඔබට කිසි දිනෙක බලයට පත්වීමට හැකි නොවනු පමණක් නොව රට බෙදා ලංකාව නමින් අද ඇති රට ඉන්දියාවේ යම් ආකාරයක ප්‍රාන්ත දෙකක් බවට පත්වීමේ අවදානම තිබෙනවා. ප්‍රාන්ත දෙකෙන් එක් කොටසක් තමිල්නාඩුවේ කොටසක් බවට අවසානයේ දී පත්වේවි. එසේ වුවහොත් රාමලා අවසානයේ දී ජයගනු ඇති. තවමත් කෙටුම්පත් කෙරී නැති ව්‍යවස්ථාවක් ගැන එසේ කියන්නේ කෙසේ දැයි මාක්ස්වාදී හා ලිබරල්වාදී පඬියන් ප්‍රශ්න කරනු ඇති. ගොනා හැරෙන්නේ කුමකට දැයි දැනගැනීමට අංජනම් එළි බැලීමට අවශ්‍ය නැහැ. කච්චතිවු දූපතේ ගොඩනැගිලි තැනීමට ජයලලිතාගෙන් අවසර ගැනීමට අවශ්‍ය ද? මේ නිවට ආණ්ඩුව යටතේ තමන්ට අයහපත් තවත් බොහෝ දේ සිිදුවිය හැකි බව සාමාන්‍ය සිංහල කතෝලිකයන්ට අවබෝධ කරගැනීමට හැකි නම් එය රටට යහපතක් වනු ඇත. කාදිනල්ලා ඇතුළු නායක පූජකවරුන් කවුද යන්න බොහෝ බෞද්ධයන් නම් දැනගෙන බොහෝ කල්.   

ඔබට ශ්‍රී ල නි ප මළකුණවත් ලැබෙන්නේ නැහැ. මෛත්‍රිපාලවත්  බර්ටිගේ පුත් දුමින්දවත් ඔබට එය කිසි දිනෙක දෙන්නේ නැහැ. දුමින්ද මළකුණේ නාමික ව ලේකම් වූයේ නිකම් ම නො වේ. ඔවුන්ට අවශ්‍ය වුවත් ඔබට මළකුණ දීමට එංගලන්තයත් ඉන්දියාවත් ඉඩ දෙන්නේ නැහැ. පසුගිය දා මෛත්‍රිපාල එංගලන්තයට හා ඉන්දියාවට ගියේ ආගමික උත්සවවලට සහභාගි වීමට නොවෙයි. ඔහුට කැමරන් හා මෝදි උපදෙස් දී ඇත්තේ ඔබට කෙසේවත් මළකුණ භාර නොදෙන ලෙසයි. ජාතිකත්වයක් නැති ශ්‍රී ල නි පක්‍ෂයක් යනු මළකුණක් පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ජීවය වූයේ ජාතිකත්වයයි. වික්ටර් අයිවන්, රාජිත, රෙජිනෝල්ඩ් කුරේලා ආනයනය කළ චන්ද්‍රිකාටවත් ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්වය නැතිකිරීමට බැරි වූවා. එංගලන්තයේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි මෛත්‍රිපාල එය ඉටු කළා. 

තවදුරටත් මේ මළකුණේ බලය ලබාගැනීමට කටයුතු කිරීම වැරුද්දක්. නව සංවිධානයක් පිහිටුවා ගැනීමට තිබුණේ අඩුම තරමින් පසුගිය අගෝස්තු මහාමැතිවරණයට කලින්. දැනුත් එයට ප්‍රමාද නැහැ. පක්‍ෂයක් හෝ කුමක් හෝ වේවා, ඒ සංවිධානය  නැතිව ඉදිරියට යෑමට බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය යනු මන්ත්‍රීවරුන් පිරිසකගේ සංසදයක් පමණයි. අර ජෙනීවා ගිය අය එයට නීත්‍යානුකූලබවක් ලබාගත් බවක් ඔබට කීවා ද? ඔබේ උපදේශකයන් මැතිවරණයට කලින් සංධානයක් පිහිටුවීම ප්‍රතික්‍ෂෙප කළා. එය සාමූහික අදහසක් ද යන්න මා දන්නේ නැහැ. එහෙත් ඒ ප්‍රතික්‍ෂෙප කළ අය අතර ඩලස්, විමල්, ජී එල් සිටිනවා. ඔවුන් එදා ඔබ සහ මෛත්‍රීපාල අතර සංහිඳියාවක් බලාපොරොත්තු වුනා. 

නව සංවිධානයක් පිහිටුවත් නැතත් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කීවොත් දුමින්ද ඔබේ හා තවත් අයගේ ටිකට් කපනවා, මෛත්‍රීපාල ඔබෙන් හා පවුලෙන් පළිගන්නවා. අද ඇතැමුන් ඊනියා අන්තර්කාලීන ආණ්ඩු ගැන කතාකරනවා. ඔවුන් සමග ඔබ සාකච්ඡා පවත්වනවා. නැවතත් සාමාන්‍ය ව්‍යවහාරය අනුව කියන්නේ නම් මේ ඩීල් දේශපාලනය වැරදියි. කළ යුත්තේ කුමක් දැයි මා කියන්නේ නැහැ. ඔබේ කන් මා දෙසට දික් වී නැහැ.  අඩුම තරමින් ඔබ මේ ලිපිය කියවාවිද යන්නත් සැකයි. ඔබ සමීපයේ සිටින සී අයි ඒ ඔත්තුකරුවකු හෝ ෆෙඩරල් නියෝජිතයකු හෝ වෙනත් එවැන්නකු හෝ මේ ලිපිය කියවා ඔබට එහි විකෘති අර්ථකථනයක් දීමට ඉඩ තිබෙනවා. ඒත් මා මේ ලිපිය මෙසේ විවෘත ලිපියක් ලෙස ඉදිරිපත් කරනවා. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් නො කරමි. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)

නලින් ද සිල්වා 

2016 මැයි 18