Main Logo

Sunday 22 May 2016

බටහිර චින්තනය හා ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා හා ඊනියා ගණනාථ බුද්ධාගම්

බටහිර චින්තනය හා ඕල්කට්, විද්‍යාත්මක, තම්බයියා හා ඊනියා ගණනාථ බුද්ධාගම්

ලෝකයේ ඇත්තේ එක බුදුදහමක් පමණක්්වත් එක බුද්ධාගමක් පමණක්වත් නො වේ. ඒ බව පිළිගැනීමට අකමැති උගත්තු ද වෙති. එහෙත් පළමුවැනි සංගායනාවේ සිට ම විවිධ බුදුදහම් හා බුද්ධාගම් ගැන කියැවෙයි. අපේ රටේ ඇත්තේ හීනයානයට අයත් යැයි කියන ථෙරවාදය හා ඒ ඇසුරු කරගත් බුද්ධාගම් ය. අපේ ප්‍රධාන බුද්ධාගම සිංහල බුද්ධාගම ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. සිංහල බුද්ධාගම ද වෙනස් වෙයි. ගැමුණු රජු දවස තිබූ සිංහල බුද්ධාගම අද එලෙස ම පවතින්නේ යැයි කිව නො හැකි ය. ඒ තබා දහනවවැනි සියවස අග තිබූ සිංහල බුද්ධාගම ද අද එලෙස ම නැත. මේ අනිත්‍ය නො වේ. මේ වෙනස්වීම ය. අනිත්‍යය හා වෙනස්වීම යනු දෙකකි. අනිත්‍යය, දුක්ඛ හා අනාත්ම සමග බැඳී ඇත. එහෙත් වෙනස්වීම ආත්මය සමග බැඳී ඇත. බටහිර භෞතික විද්‍යාවේ වස්තු වෙනස් වෙයි. චලනය ඒ සඳහා එක් උදාහරණයක් පමණකි. වෙනස් වුවත් එහි වස්තුවට ආත්මයක් ඇත. ජල වාෂ්ප බවට පත්වන්නේ ජලය ය. වෙනත් දෙයක් නො වේ. ඒ අනත්ත සමග එකඟ නො වේ. මේ ලිපිය අනිච්ච දුක්ඛ අනත්ත ගැන නොවන බැවින් ඒ ගැන වැඩි දුර කතා නො කරමි. 


ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඉතාලියේ බිහිවූයේ පහළොස්වැනි සියවස අග ය. එය කතෝලික චින්තනයට එරෙහි ව බිහිවූවකි. කතෝලික ආගම, මෙන් ම මාක්ස්වාදය ද කතෝලික චින්තනය සමග බැඳුනේ වෙයි. මාටින් ලූතර්, ජෝන් කැල්වින් ආදීන් සමග බිහිවූ විවිධ ක්‍රිස්තියානි ආගම් මෙන් ම  ධනවාදය හා බටහිර විද්‍යාව ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය සමග බැඳී ඇත. ග්‍රික යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ද සංයුක්තය වෙනුවට වියුක්තය ද  ලක්‍ෂණ වෙයි. ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික ක්‍ෂෙත්‍රවල ඇති කෙරෙන යටත්විජිතවාදය ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ආත්මය කරගනියි. යුරෝපීයයන් පැමිණීමට පෙර ද අප රට ආක්‍රමණවලට භාජනය වී ඇති නමුත් ඒ මෙකී ක්‍ෂෙත්‍ර තුන ම පිරිවසා නො වී ය.  මෙකී චින්තනය ලංකාවට හා පොදුවේ පෙරදිගට පැමිණියේ යටත්විජිතවාදයත් සමග ය. 

පෘතුගීසීන් මෙරටට පැමිණි සමයේ එකී චින්තනය එතරම් වර්ධනය වී නො තිබිණි. එහෙත් ලන්දේසි හා ඉංගිරිසි ආක්‍රමණ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විවිධ තලවලට වර්ධනය වීමෙන් පසු සිදු විණි. ඕලන්දය (නෙදර්ලන්තය) හා එංගලන්තය යන රටවල් දෙක ම විරෝධතා හෙවත් ප්‍රොතෙස්තන්ත රටවල් ය. ඒ රටවල ආගම් පිළිවෙළින් රෙපරමාදු හා ඇංග්ලිකන් ක්‍රිස්තියානි ලෙස හැඳින්වෙයි. සිංහල බුද්ධාගමට වූ රෙපරමාදු බලපෑම අඩු ය. ගජමන් නෝනා පුවතින් මේ බලපෑම යම් දුරකට පිළිබිඹූ වෙයි. ඉංගිරිසින්ගේ ආර්ථික ආක්‍රමණය ඔසසේ මෙරට ඊනියා ප්‍රභූ පිරිසක් ඇති විණි. ඔවුන්ගෙන් සමරෙක් තම ආගම වෙනස් නො කළහ. එහෙත් සංස්කෘතික ව වෙනත් කරුණු සම්බන්ධයෙන් ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි වූහ. ඔවුන්ගේ බෞද්ධකම සිංහල කමෙන් වෙන් විණි. ඔවුහු ඕල්කට් බෞද්ධයන්ගේ පුරෝගාමී වූහ. ඔවුන් ඇති වූයේ ඕල්කට්තුමා මෙරටට පැමිණීමට පෙර ය. ඕල්කට්තුමාගේ පැමිණීමත් සමග ඕල්කට් බුද්ධාගම යෞවනයට පත්විය. 

ඕල්කට් බුද්ධාගමේ ප්‍රධාන ලක්‍ෂණයක් වූයේ ඊනියා ජාත්‍යන්තරවාදය ය. ඕල්කට් බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ නො වූහ. ඔවුන්ට වැදගත් වූයේ බෞද්ධකම මිස සිංහලකම නො වේ. ඕල්කට්තුමා යටත්විජිත විරෝධියෙක් නො වී ය. ඔහු විරුද්ධ වූයේ ක්‍රිස්තියානි ආගමට පමණ ය. එය ග්‍රීක යුදෙවූ  ක්‍රිස්තියානි චින්තනයෙන් ලැබුණු එකක් නොව බ්ලැවට්ස්කි මැතිණියගේ රුසියන් ඕතොඩෙක්ස් චින්තනයෙන් හා පරම විඥානාර්ථවාදයෙන් ලැබුණු එකක් විය. ඔහු අනෙක් සෑම කරුණකින් ම ග්‍රීක යුදෙවූ ක්‍රිස්තියානි චින්තනය මත පදනම් විය. ඔහු සිංහල බුද්ධාමට පරම විඥානාර්ථය මෙන් ම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ද ගෙනාවේ ය. 

එහෙත් ඒ දෙකම ගෝචර වූයේ ඉතාමත් සීමිත පිරිසකට පමණකි. පරම විඥානාර්ථය ගැන දැන් කතාකරන්නේවත් නැත. පාසල් රජයට පවරා ගැනීමෙන් පසු පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ කාර්යයන් ඉතා සීමිත වී ඇත. අද එම සමාගම මගින් පාලනය කරනු ලැබූ පාසල්වල ආනන්ද විදුහලේ පළමු විදුහල්පති වූ චාල්ස් ලෙඩ්බීටර් වැනි පරමවිඥානාර්ථවාදීන්  දකින්නට ඇතැයි නො සිතමි. එහෙත් ඕල්කට්තුමා හඳුන්වා දුන් ඇතැම් දේ අද ද දකින්නට ඇත. මේ වෙසක් පොහෝ දින ද බෞද්ධ නිවෙස්වල දක්නට ලැබෙන බෞද්ධ කොඩිය, බකට් හෙවත් එළියපෙට්ටි, ඉටිපන්දම්, ගැයෙන භක්ති ගී (කැරොල්), වෙසක් සුබපැතුම් (කාඩ්) සිංහල බුද්ධාගමට ඇතුල් වූ දේ ය. එයට අමතර ව දහම් පාසල් (ඉරිදා පාසල්) ද ප්‍රමුඛ ස්ථානයක් ගනියි. මේවා බොහොමයක් අපට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ලැබුණේ වෙයි. ඒ අද සිංහල බෞද්ධ සංස්කෘයට අවශෝෂණය කෙරී ඇත. 

ඕල්කට්තුමා මගින් ඇතැම් බෞද්ධයන්ට බුදුදහම විද්‍යාත්මක කිරීම ඇතුල් විය. එය භක්ති ගී, දහම් පාසල් ආදිය මෙන් සිංහල බුද්ධාගමට ඇතුල් වී නැත. බුදුදහම විද්‍යාත්මක කිරීම ඒ ඇතැමුනට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් ලැබුණු එකක් විය. මෙහි විද්‍යාත්මක කිරීම යනුවෙන් අදහස් කරන්නේ බුදුදහම බටහිර විද්‍යාවට එකඟ බව පෙන්වීම ය. විද්‍යාත්මක බෞද්ධයෝ බුදුදහම විද්‍යාව සමග එකඟ කිරීම සඳහා පූනබ්භවය හා කර්මය ද අයින් කළහ! බටහිර විද්‍යාව යනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් ජනිත වූවකි. ඇතැමුන්ට අනුව බටහිර විද්‍යාව ධනපති ක්‍රමයේ ප්‍රතිඵලයකි. එහෙත් ගැලීලියෝ හා නිවුටන් ධනපති ක්‍රමය බිහිවීමට පෙර බිහිව මිය ගියහ. ධනපති ක්‍රමය කලින් කී පරිදි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි.

බුදුදහම බටහිර විද්‍යාව සමග එකඟ බව පෙන්වීමට තැත්කරන්නන් විද්‍යාත්මක බෞද්ධයන් ලෙස හඳුන්වමු. ඕල්කට් බෞද්ධයන් හා විද්‍යාත්මක බෞද්ධයන් යනු එක ම වර්ගයක් නො වේ. ඇතැමුන් ඒ වර්ග දෙකටම අයත් විය හැකි ය. එහෙත් විද්‍යාත්මක බෞද්ධයන් නොවන ඕල්කට් බෞද්ධයෝ ද, ඕල්කට් බෞද්ධයන් නොවන විද්‍යාත්මක බෞද්ධයෝ ද වෙති. විද්‍යාත්මක බෞද්ධයෝ බොහෝ විට යථාර්ථවාදීහු වෙති. ඔවුහු නිරීක්‍ෂකයාගෙන් තොර ලෝකයක් ඇතැයි පිළිගනිති. ඔවුන්ට ඇත්තේ ආනුභවික (එම්පිරිකල්) ලෝකයකි. බුදුන්වහන්සේ ද යථාර්ථවාදියකු යැයි ඔවුහු සිතති. බුදුන් වහන්සේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කෙළේ යැයි ඔවුහු විශ්වාස කරති. 

විද්‍යාත්මක බෞද්ධයන්ට කාලාම සූත්‍රය බයිබලයක් වෙයි. එසේ කීම ගැන විද්‍යාත්මක බෞද්ධයන් සතුටු නොවන බව මම දනිමි. එහෙත් කාලාම සූත්‍රයෙහි ඇති විද්‍යාත්මක ක්‍රමයක් නැත. තමන් යමක් කරන්නේ නම්, එය යහපත් බව මෙන් ම විඤ්ඤූන් ඒ අනුගමනය කරන්නේ ද ආදී තවත් කරුණු, තමන් විසින් ම දැනගත යුතු බව විවිධ ශාස්තෘන් විසින් වික්‍ෂිප්ත කරනු ලැබූ කාලාමයනට  බුදුන්වහන්සේ දේශනා කළහ. තමන් විසින් දැනගත යුතු යැයි කාලාම සූත්‍රයෙහි කියා තිබූ නිසා බුදුදහම ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරන්්නේ යැයි කිව නො හැකි ය. තමන් විසින්ම දැනගත යුතු යැයි කී දේ අතර විඤ්ඤූන්  යමක් අනුගමනය කරන්නේ ද යන්න ද විය. කාල් පොපර් කුමක් කියා තිබුණ ද එක්තරා අයුරකින් නම් විද්‍යාඥයෝ කාලාම සූත්‍රය අනුගමනය කරති. ඔවුහු විඤ්ඤූන් විසින් පිළිගෙන ඇති ප්‍රවාද මත පදනම් වී ප්‍රශ්න විසඳීමට උත්සාහ කරති!

කාලාම සූත්‍රයෙහි යමක් තර්කානුකූල වූ නිසා ම පමණක් පිළිගත යුතු නැතැයි ද බුදුන්වහන්සේ වදාළහ. විද්‍යාත්මක බෞද්ධයෝ ඒ බව අමතක කරති. බුදුන්වහන්සේ බටහිර විද්‍යාවේ ක්‍රමය ප්‍රතික්‍ෂෙප කර ඇති බවට හොඳම උදාහරණය චුල්ලහත්ථිපදොපම සූත්‍රය ය. එහි ප්‍රවාද ප්‍රතික්‍ෂෙප කෙරෙන අතර අනුමානය ඥානවිභාගයක් ලෙස නො පිළිගැනයි. ඇතා දැක ම ඇතා ඇති බව නිගමනය කළ යුතු බව එම සූත්‍රයෙහි කියැවෙයි. එහි ඇත්තේ බටහිර ආනුභවික කතාවක් නො වේ. එහි කියැවෙන්නේ අනුමානය ප්‍රතික්‍ෂෙප කෙරෙන බවත් ප්‍රත්‍යක්‍ෂය ම පමණක් පිළිගත යුතු බවත් ය. (සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් ද යන ලිපිය කියවන්න)

මේ අතර තම්බයියා බෞද්ධයෝ ද වෙති (ස්ටැන්ලි තම්බයියා යනු පසුගිය කාලයේ බුදුදහම පාවාදීම යන කෘතිය මගින් යුද්ධ කිරීමෙන් බෞද්ධයන් බුදුදහම පාවා දී ඇතැයි කියු හාවඩ් විශ්වවිද්‍යාලයේ සේවය කර මියගිය දෙමළ ක්‍රිස්තියානි මහාචාර්යවරයෙකි. තම්බයියා බෞද්ධයෝ ඔහු නමින් නම් කෙරෙති). ඔවුහු තමන්ට අවශ්‍ය බුදුදහම බුද්ධාගම ලෙස නම්කරති. ඉංගිරිසියෙන් බුදුදහම සහ බුද්ධාගම වෙන් කිරීමට සුදුසු වචන නැත. එහි කෝකටත් ඇත්තේ බුඩිසම් ය. බුද්ධ ධම්ම යනු එහාටත් නැති මෙහාටත් නැති ප්‍රකාශයකි. තම්බයියා බෞද්ධයන් ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් බිහි වී ඇත. ඔවුන්ට ඇත්තේ රේඛීය චින්තනයකි. එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි අංගයකි. බුදුදහමෙහි පණ ඇති සතුන් මැරීමෙන් වැළකීමට කියා ඇත. එසේ නම් යුද්ධ කිරීම බුදුදහම පාවාදීමකි. ඒ අනුව ගැමුණු රජු ද බුදුදහම පාවාදුන්නෙකි. සිංහල බෞද්ධයෝ වතුර කෝපයක සිටින කුහුඹුූවාද ඉවත් කරති. එහෙත් සිංහල ජාතියට අනතුරක් සිදුවන විට නවගුණ වැළ අතට නො ගනිති.  මේ කිසිම තම්බයියා බෞද්ධයකු කෘමිනාශක යොදා සතුන් ඝාතනය කිරීමට විරුද්ධවනු මා අසා නැත. 

ගණනාථ බෞදධයන් යනුවෙන් නම් බෞද්ධයන් පිරිසක් නැත (ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සේවය කර දැන් ආපසු ලංකාවට ගොස් සිටින මහාචාර්යවරයෙකි. ඔහු ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ගැන සඳහන් කෙළේ ය. තම්බයියා ගණනාථ ආදීහු බටහිර ඇසකින් බටහිරට අවශ්‍ය අන්දමට සිංහල බුද්ධාගමට පහර දෙති. විද්‍යාත්මක බෞද්ධයෝ බටහිරට අවශ්‍ය ආකාරයට බුදුදහම විකෘත කරති). එයට හේතුව මෙරට ප්‍රොතෙස්තන්ත හෙවත් විරෝධතා බුද්ධාගමක් නැති වීම ය. ප්‍රොතෙස්තන්ත ආගම පෞද්ගලිකත්වය මූලික කරගත් එකකි. එහි තමන්ට පූජකයකු මගින් නොයා දෙවියන් වහන්සේ සමග එක්විය හැකි ය. එහි පෞද්ගලිකත්වය අවසානයේ දී වියුක්ත වෙයි. සිංහල බෞද්ධයන් කිසි දිනෙක භික්‍ෂූන් වහන්සේ මගින් නිවන් දැකීමට උත්සාහ කර නැත. එය තම පෞද්ගලික කාර්යයකි. එහෙත් එය වියුක්ත වූවක් නොව ප්‍රත්‍යක්‍ෂයකි. නිවන පසක් කෙරෙන්නකි. නිවන සම්බන්ධයෙන් හැර අනෙක් කරුණුවල දී සිංහල බෞද්ධයෝ් සාමූහික ව ක්‍රියා කරති. එය නැති කිරීමට මෑතක දී එකතු කෙරුණු භාවනාවට (පෙර තිබූ භාවනාව නොව) ද නොහැකි වී ඇත. භාවනාව වත්මන් බටහිරයන්ට පෞද්ගලික කටයුත්තක් වුව ද සිංහල බෞද්ධයනට සාමූහික කටයුත්තකි. 

සිංහල බෞද්ධයන් යටත්විජිත විරෝධීන් වූයේ ප්‍රෙතෙසස්තන්ත බලපෑමකින් නො වේ. කැප්පෙටිපොළ නිළමෙට බල පෑ ප්‍රෙතෙස්තන්තයක් නැත. ඕල්කට්තුමා යටත්විජිත විරෝධියෙක් නො වීය. සිංහල බුද්ධාගමෙහි බෞද්ධ පොතපත ලියූ විද්‍යාචක්‍රවර්ති හා ගුරුළුගෝමි වැනි ගිහියෝ බටහිර බලපෑමකින් ඇති නො වූහ. ඔවුන් ගිහියන් ලෙස පොත් ලියුවේ ප්‍රොතෙස්තන්ත ආගමක අභාසයෙන් නො වේ. මෙරට පැරණි ගිහි අධ්‍යාපනය ගැන දැනගැනීමට කැමති අයකුට අපවත් වී වදාළ පූජ්‍ය බද්දේගම විමලවංශ අනු නාහිමියන් ලියා ඇති පොත පත කියවිය හැකි ය. 

ගංවතුරෙන් විපතට පත් අය ගැන කණගාටු වන අතර ම අද ජනරජ දිනය බව ද මතක් කරමි.



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 



නලින් ද සිල්වා 

2016 මැයි 22