මිනිස්සු හා ඇමතිහොරු
සුළිසුළඟ ඇවිත් ගියා. බංගලිදේශයේ දී ඒකේ ජවය හීන වෙිවි. ඒ බංගලිදේශයටත් හානියක් කිරීමෙන් පස්සෙ. අපේ රටේ ගංවතුර හෙමින් බහිනවා. ඒ වුනත් තවත් වහීවි කියලා කියනවා. මේ වගේ විපතක් සිද්ද වුනේ අවුරුදු විසිහතකින් පස්සෙ කියලා කියනවා. ඒ ඒ දවස්වල තිබුණු ආණ්ඩු මොනවද කියලා කියන්න ඉක්මන් වෙන්නෙ නැහැ. ඒත් අපේ පරණ කතාවක් තියෙනවා රජුන් ධාර්මික වුනොත් දෙවියන් සුදුසු කාලයට වස්සනව කියලා. නුසුදුසු කාලෙට වහින්නෙ මොක ද කියල කවුරු හරි පෙන්නලා දෙනව නම් හොඳයි. ඒ විද්‍යාත්මක නූනට කමක් නැහැ.
ගංවතුරත් එක්ක වෙච්ච විපත් ගැන කණගාටුවෙන අතර ඒකෙන් අපේ මනුස්සකම මතුවුනා කියන එකත් කියන්න ඕන. වෙන කිසිම රටක දකින්න නැති මනුස්සකමක් අපේ මේ රටේ දකින්න පුළුවන්. මේ මනුස්සකම සුනාමිය වෙලාවෙත් අප දැක්ක. අප බටහිර රටවලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ මනුස්සකම හින්ද මිසක් තිරිකුණාමල වරායේ තිබෙන වටිනකමක් හින්ද නෙවෙයි. බටහිරයන්ට අපේ මනුස්සකම ප්‍රශ්නයක් වෙලා අවුරුදු සිය ගණනක්. ඔවුන් ඒක ප්‍රයෝජනයටත් ගන්නවා. දෙමළ ප්‍රශ්නයක් කියල එකක් ඇති කෙළොත් අපේ මේ මනුස්සකම හින්ද. මනුස්සකම තියෙනකම් අප වට්ටන්නත් බැහැ.
මේ මනුස්සකම ලැබෙන්නෙ වෙන කොහෙන්වත් නොවෙයි සිංහල බෞද්ධකමෙන්. ඔවු අර උගතුන් යැයි කියාගන්නා අයටත් ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන සිංහල බෞද්ධකමෙන්. මේ වෙසක් දිනවල ම මනුස්සකම මතුවුනු එකත් ලොකු දෙයක්. ඒකෙන්
බොහෝ දෙනෙකු පින් රැස්කරගත්ත. පින් රැස්කරගන්න පුළුවන් ද කියලා ඇතැම් බෞද්ධ පංඩිතයන් අහනවා. තුන්වැනි සංගායනාවෙදි එහෙම කරන්න පුළුවන් කියපු අය ව පිළිගත්ත නැහැ කියලත් කියනවා. බුද්ධඝෝෂ හාමුදුරුවො උන්වහන්සේගෙ අටුවාවලින් ඒක බුද්ධාගමට එකතු කරා කියලා පංඩිතයන් කියනවා. සූරා පානය කරන පංඩිතයන් පින් ගැන මොනව කිවුවත් බුද්ධඝෝෂ හාමුදුරුවන් මූල සිංහලයන් අනුව ගොස් පින් රැස් කිරීම හා පින් දීම අටුවාවෙ ලියා තැබීම ගැන අප උන්වහන්සේට පින් දිය යුතුයි. කොහොමටත් අප දන්නෙ දාන සීල භාවනා එක් පැත්තකින් සීල සමාධි ප්‍රඥා අනෙක් පැත්තෙන්. දන් දීල සිල් රැකල භාවනා කරලා (මොඩ් මෙඩිටේෂන් නෙවෙයි) සමාධියට පත්වෙලා තමයි අපට ප්‍රඥාව ලබාගන්න පුළුවන්. ඒක පන්සිල් කඩමින් ආචාර්ය උපාධි ගන්නව වගේ නෙවෙයි. ආචාර්ය උපාධිය ගන්න ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. මෙහෙම කිවුව ම පඬියන් කියන්නෙ මගේ ආචාර්ය උපාධිය ගන්න නම් ප්‍රඥාවක් අවශ්‍ය වෙන්න නැතිව ඇති කියලයි.
ඉංගිරිසින්ට සිංහල බෞද්ධකම එදත් අදත් ප්‍රශ්නයක්. ඉංගිරිසින් සිංහල බුද්ධාගමේ හාමුදුරුවන් හැඳුන්නුවෙ කහකඩ හමුදාව කියලයි. කහකඩ හමුදාව තියෙනකන් සිංහල බෞද්ධයන් යටත් කරන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඔවුන්ගෙ සේවකයන් හාමුදුරුවන් නැතිව සිංහල බෞද්ධයන් නිවන් දක්වන ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ගැන කිවුවෙ ඒක හින්දත් වෙන්න ඇති. සිංහල බුද්ධාගමෙන් හාමුදුරුවන් නැතිකරන්න බැහැ. සිංහල බෞද්ධයන්ගෙ මනුස්සකම හාමුදුරුවන් එක්ක අවියෝජනීය ව බැඳිලා. පංඩිතයන් හිතන් ඉන්නව ඇති හාමුදුරුවන් නැති සිංහල බෞද්ධයන්ව කනත්තට දක්කන්න.
ගංවතුරෙන් විපතට පත්වුණු අසරණයන්ට සරණ වුනේ ඔවුන්ගේ ම මිනිසුන්. පිටරටින් ආධාර එන කන් හරි ආණ්ඩුවෙන් සියල්ල කෙරෙන කන් හරි මිනිසුන් බලා හිටියෙ නැහැ. හමුදාවන් ද ඔවුන්ට හවුල් වුනා. ඒ හරියට ම අවුරුදු හතකට ඉහත තමන්ගෙ දක්සකම්වලින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ බව සමරන්න ආණ්ඩුව ඉදිරිපත් නොවෙන අවස්ථාවක හා තමන්ට අගෞරව කරමින් රාමනාදන්ලාගේ මුණුබුරු විග්නේස්වරන්ට හා ශිවාජිලිංගම්ට ඊනියා ජනසංහාරයක් සමරන්න ආණ්ඩුව ඉඩ දී ඇති විටෙක.
සිංහල බෞද්ධ චින්තනයේ මධ්‍යගත නොවීමත් අප නැවතත් දැක්ක. දියුණු යැයි කියන බටහිර රටවල මේ වගේ විපත්තියකට මුහුණ දෙන්න මධ්‍යගත පරිපාලනයට සෑහෙන කාලයක් ගතවෙනවා. බටහිරයන්ගෙන් අපට ලැබුණු පරිපාලනය මගින් මේ දේ කරන්න ගියා නම් තවමත් සැලසුම් කරමින් ඉන්න තිබුණා. අප මේ විපතෙදි මිනිසුන් දුටුව පරිදි ම ඇමතිහොරුත් දැක්ක. එක් ඇමතියකු කැමරා පිරිවරාගෙන කෙහෙල් ගෙඩි බෙදනවා ජනතාවට පෙන්නවා. ඒ කෙහෙල්ගෙඩි ඇඹුල් ද කෝලිකුට්ටු ද වෙනත් වර්ගයක් ද කියල දැනගන්න විධියක් තිබුණෙ නැහැ. කොහොමටත් ඇමතිහොරු බිහිවෙලා තියෙන්නෙ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙන් මිසක් දසරාජ ධර්ම සම්ප්‍රදායෙන් නො වෙයි.
මේ අතර නිළියන් ද ගංවතුර බලන්න විනෝද ගමන් ගිහින් තිබුණ. ඔවුනුත් අර ඇමතිහොරුන්, ගෙවල්වලට පැනල අසරණයන්ගෙ දේපල කොල්ල කෑ හොරුන් වගේ ම හෙර පිරිසක්. මේ කවුරුත් කරන්නෙ මනුස්සකමට පිටුපාල තමන්ගෙ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගන්න එක. කොහොමටත් මොවුන්් වැඩි පිරිසක් නැති එක අපට සැනසීමක්.
සිංහල බෞද්ධයන්ගෙ මනුස්සකම අනෙක් ජනවර්ගත් අරගෙන. වතුකරයේ දෙමළ ජනයා දෙරණට ආධාර එවා තිබුණා. අපට වුවමනා මේ මනුස්සකම බෙදාගැනීම මිස ඊනියා සංහිඳියාවක් නොවන බව අනෙක් අයට කියන්න සිංහල බෞද්ධයන්ට හැකි විය යුතුයි. අපේ හාමුදුරුවන් කඳුකරයේ දෙමළ ජනයාටත් යාපන අර්ධද්වීපයේ ඊනියා අඩුකුල දෙමළ ජනයාටත් අමාරවෙන් හරි දහම් දෙසන්නේ නම් මේ පණිවුඩය ඉක්මණින් ම ගෙන යන්න පුළුවන්.
මේ අවස්ථාවේ දී දෙරණ නාලිකාව ගැන යමක් නොකීවොත් අඩුපාඩුවක්. දෙරණ කළ ඉල්ලීමට මනුස්සකම දත් මිනිසුන් ඉතා ඉහළින් ප්‍රතිචාර දැක්වුවා. බත් පැකට්ටු ලක්‍ෂ පහක් එකතු කිරීම ගැන පමණක් වුවත් දෙරණත් නරඹන්නනුත් අගය කළ යුතුයි. දෙරණ චින්තනය ගැන අදහස්වලට ඉඩ නොදුන්නත් කෙළේ අපේ කම ඉස්මතු කිරීමක්.
මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.
මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
නලින් ද සිල්වා
2016 මැයි 23