Main Logo

Friday 27 May 2016

ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යය හා ඕල්කට් බුද්ධාගම

ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යය හා ඕල්කට් බුද්ධාගම

අද අප රටේ අධිපති මතවාදය ප්‍රොතෙස්තන්ත ඇංග්ලිකන් මතවාදයයි. ඊනියා උගතුන්ගේ, දේශපාලනඥයන්ගේ සිතුම් පැතුම් තීරණය වන්නේ මේ මතවාදයෙන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ මතවාද බල නොපානවා නොවෙයි. ඔවුන් ගෙවල්වල සිංහල බෞද්ධයන් ලෙස නොහැසිරෙනවත් නොවෙයි. මිනිසුන්ගේ සංස්කෘතිය පෞද්ගලිකව ගත්තත් ජනකොටසක් ලෙස ගත්තත්  සජාතීය වන්නේ නැහැ. එහෙත් එය මිශ්‍ර සංස්කෘතියක් ලෙස හඳුන්වන්න බැහැ. සංස්කෘතීන් එහෙම තමයි. සජාතීය සංස්කෘතීන් ලෝකයේ කොහේවත් නැහැ. චීනයේත් අද ඇමරිකන් සංස්කෘතියේ අංග තිබෙනවා. ඕනෑම සංස්කෘතියකට පිටින් අංග ලැබෙනවා. සමහර අංග අවශෝෂණය වෙනවා. තවත් සමහර අංග ආරෝපණ පමණයි. තවත් අංග අනුකරණය කෙරෙනවා. 


සිංහල බෞද්ධ මතවාදය මෙරට අධිපති මතවාදය නොවෙයි. සිංහල බෞද්ධ මතවාදය අධිපති මතවාදය වූවා නම් මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන්න බැහැ. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති වූනේ ඇංග්ලිකන් මතවාදය නිසයි. එහි මුල ම ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා එයට සාපේක්‍ෂ ව ගොඩනැගුණු සිංහල බෞද්ධ මතවාද යටපත්කිරීමයි. ඉංගිරිසින් 1831 දී දේශපාලන වශයෙන් දෙමළ ජාතිවාදය බෞතීස්ම කෙළේ ම ඒ සඳහායි. එහෙත් සිංහල බෞද්ධයන් එයට පෙර සිට ම, සිංහල බෞද්ධ සංස්කෘතිය යටපත් කිරීමට විරුද්ධව සටන් කළා. පෘතුගීසි කාලයේත් අපට එය දකින්නට පුළුවන්. ඇංග්ලිකන් මතවාදය අධිපති මතවාදය බවට පත්කෙරුණේ ඉංගිරිසින් විසින්. ඔවුන්ගේ දැනුම එකම දැනුම බවට ඔවුන්ගේ අධ්‍යාපනය මගින් පත්කළා. ඔවුන් පාසල් පිහිටුවූයේත්, තේ වැවුවේත්, දුම්රිය මාර්ග හා වෙනත් දේ බිහිකෙළේත් අපේ යහපතට නොව ඔවුන්ගේ ම යහපතටයි. අප ඒ පාසල්වල ඉගෙන ගත්තත්, ඒ දුම්රියවල ගමන් ගත්තත් අප ඒ කාරණය හොඳින් මතක තබාගත යුතුයි. මෙයින් කියන්නේ දරුවන් පාසල් යැවීමවත්, බටහිර දැනුම ලබාගැනීමවත්, ඒ ලබාදීමවත්, ඒ යොදා ගැනීමවත්, දුම්රියෙන් යෑමවත් නවත්වන්න නෙවෙයි.

රාජකීය විද්‍යාලය මේ පාසල්වලින් පැරණිම එකක්. එය 1835 දී ජෝසෆ් මාෂ් දේවගැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේ හිල් ස්ට්‍රීට් හි හිල් ස්ට්‍රීට් ඇකඩමි ලෙස පෞද්ගලික පාසලක් ලෙස පිහිටුවනු ලැබ 1836 දී හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් කලම්බු ඇකඩමි ලෙස මෙරට ප්‍රථම රජයේ පිරිමි පාසල බවට පත්කෙරුණා. එහි අනුග්‍රාහකවරයා වූයේ මෙරට ඉංගිරිසි ආණ්ඩුකාරයා ය. එය පිහිටුවන ලැබුයේ එංගලන්තයේ ඊට්න් විදුහල අනුකරණයෙන්. එහි අරමුණ වූයේ බිරිතානි අධිරාජ්‍යයේ පුරවැසියන් ලෙස ජීවත්වීමට සුදුසු පුද්ගලයන් බිහිකිරීමයි. 1881 දී එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ අනුමැතියෙන්  පාසල රාජකීය විදුහල ලෙස නම් කෙරුණා. 1911 දක්වා පිටකොටුවේ තිබූ පාසල 1911 දී වත්මන් කොළඹ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන භූමියට ගෙන ආවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනංශයට ඇතුල්වන තැන ඇති ඵලකයක සඳහන් වන්නේ ඒ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිලි බවයි.

1859 දී මෙරට ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙස කොළඹ ක්වීන්ස් කොලේජ් පටන් ගත්තා. එය කල්කටා විශ්වවිද්‍යාලයට අනුබද්ධ වූ අතර එහි කාර්යය වූයේ කොළඹ ඇකඩමියේ සිසුන් එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ඇතුල්වීම සඳහා පුහුණු කිරීමයි.  පසුව මෙරට ඉංගිරිසි උගත් ගත් අය ලංකාවට විශ්වවිද්‍යාලයක් ඉල්ලුවා. ඉංගිරිසින් එයට මුල දී කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔවුන්ට අනුව ඒ සඳහා ලංකාවේ සුදුසු අය සිටියේ නැහැ. කලකට පසුව 1921 දී ඔවුන් මාර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුනිවර්සිටි කොලීජිය හෙවත් විශ්විද්‍යාලයීය ආයතනය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිවලට සිසුන් පුහුණු කරන ආයතනයක් ලෙස කොළඹ ඇතිකළා (පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මාර්ස් ශාලාව ඇත්තේ මේ ආයතන ප්‍රධානියාගේ නමින් බව ඒ ශාලාවේ අද සිටින සමහර ශිෂ්‍යයන් නොදන්නවා විය හැකියි, අනෙක් බොහෝ ශාලා නම්කර ඇත්තේ ලංකාවට විශ්වවිද්‍යාලයක් ලබාගැනීමට කටයුතු කළ අයගේ නමින්). ඒ සඳහා යොදා ගත්තේ රාජකීය විදුහලේ ගොඩනැගිලි. තවත් කලකට පසුව 1942 දී ඔවුන් ලංකාවට විශ්වවිද්‍යාලයක් ප්‍රදානය කළා. ඒ අයිවෝර් ජෙනිංග්ස් උපකුලපති ලෙස (ඔහුගේ නමින් අද පේරාදෙණියේ ජෙනිංග්ස් ශාලාවක් තිබෙනවා). එහි පීඨ කිහිපයක් 1952 දී පේරාදෙණියට ගෙන ගියා. තව තවත් විශ්වවිද්‍යාල පසුව ඇතිවුණා.

මෙරට අධිපති මතවාදය තහවුරු කිරීමට ජෙනිංග්ස් කටයුතු කළා. ඔහු අපට යටත්විජිතගැති ව්‍යවස්ථාවක් ද සම්පාදනය කර දුන්නා. එහෙත් සිංහල බෞද්ධයන් සටන අත්හැරියේ නැහැ. අවාසනාවකට ධර්මපාලතුමාගෙන් පසු ඔවුන්ගේ නායකයන් වූයේ ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යයට ගොදුරු වූවන්. ඔවුන් බොහෝ දෙනකු ඕල්කට් බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට තමන්ගේ ම වූ මතවාදයක් නොතිබීමට ප්‍රධාන හේතුව ඊනියා ජාත්‍යන්තරවාදී  ඕල්කට් බුද්ධාගම හා ඒ අනුසාරයෙන් බිහි වූ විද්‍යාත්මක බුද්ධාගම. සිංහල බෞද්ධයන් කෙතරම් නොමග ගොස් සිටියේ ද කිවහොත් ඔවුන් තම අධ්‍යාපන ආයතන වූ විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් නැතිකර 1959 දී ඒවා විශ්වවිද්‍යාල බවට පත්කර ගත්තා. එදා මෙදාතුර අපට ගිහි හෝ පැවිදි හෝ සිංහල බෞද්ධ උගතකු බිහිකර ගන්න බැරිවුනා. පිරිවෙන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරන ලෙස කළ ඉල්ලීමේ ම ඇංග්ලිකන් දැනුම හා මතවාද දැනුමට හා සිංහල බෞද්ධ මතවාදවලට වඩා උසස් යන දීන හැඟීම තිබුණා. ඒ දීන හැඟීම ඇති වීමෙන් ම පෙනී යන්නේ ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යයයි. 

සිංහල බෞද්ධයන් තමන්ට තේරෙන ආකාරයට වුවත් දෙමළ ජාතිවාදයට විරුද්ධ වන විට ඇංග්ලිකන් මතවාදී පඬියන් කියන්නේ සිංහල බෞද්ධ ආධිපත්‍යය නිසා ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳාගන්න බැහැයි කියායි. මෙය ඉංගිරිසින්ගේ හා ඔවුන් අනුකරණය කරන පඬියන්ගේ යටිකූට්ටු කතාවක්. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් ඇති කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට. එය ඇංග්ලිකන් මතවාදී ආධිපත්‍යයෙන් කෙරුණු දෙයක්. එයට විරුද්ධව සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ක්‍රියා කරන විට, එය සිංහල බෞද්ධ ආධිපත්‍යය නිසා කෙරෙන්නක් ලෙස හැඳින්වෙනවා. 

සිංහල බෞද්ධ සංස්කෘතියට තවමත් මෙරට හිමි තැන ලැබී නැහැ. ඒ ලබා ගැනීම සඳහා කරන සටන විටින් විට ජයගන්නවා. නැවතත් පස්සට යනවා. එය පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කිරීමට සිංහල බෞද්ධ මතවාද තිබිය යුතුයි. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 27