Main Logo

Monday 16 May 2016

සමුගනිමි

සමුගනිමි

මේ එක්තරා ආකාරයකින් සමුගැනීමකි. මේ ලිපිවලින් මෙයින් මතුවට කළ යුත්තේ කුමක් දැයි නොකියවෙනු ඇත. එයට ප්‍රධාන හේතුව මා කියන කිසිවක් මහින්ද හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවකු හෝ සතපහකට මායිම් නො කිරීම ය. ඒ කණ්ඩායමේ ඇතැමුනට අනුව මම අන්තවාදියෙක්මි. සිංහල බෞද්ධ වෙබ් අඩවියක් යැයි කියා ගැනීමට සතුටු ලංකා වෙබ් අඩවියට අනුව මම ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට කුලියට කහින්නෙක්මි.  කුලිය කුමක් දැයි වෙබ් අඩවියේ සංස්කාරක දන්නවා විය හැකි ය. මා වෙනුවෙන් කතාකරන එකම සිංහල බෞද්ධයා ධර්මසිරි සෙනෙවිරත්න මහතා ය. අනෙක් අය එකී වෙබ් අඩවියේ පළ වූ කුලියට කහින කතාව අනුමත කරනවා විය යුතු ය. 


මා අතින් පාප කර්ම කිහිපයක් සිදු වී ඇත. පළමුවෙන් ම මට සම්මත ආකාරයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු වීමට නො හැකි විය. මම එකල සිංහල බෞද්ධ චින්තනයක් මත පදනම් වූ දැනුමක් ශිෂ්‍යයනට කියා දීමට උත්සාහ කෙළෙමි. එකල ශිෂ්‍යයන්ගෙන් යම් පිරිසක් අද දේශපාලනයෙහි යෙදී සිටිති. තවත් අය දේශපාලනයට සම්බන්ධ ජනමාධ්‍යවේදීන්, විචාරකයන් ආදීන් ලෙස කටයුතු කරති. ඔවුහු කිසිවෙක් මගේ අදහස් නො පිලිගනිති. අඩුම තරමෙන් මගේ අදහස් ප්‍රකාශ කිරීමට තම ජනමාධ්‍යවල ඉඩක් නො දෙති. ඒ අතර එදා මා ජාතික චින්තනයක් උගන්වන්නේ ද, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස දිගට ම කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ ද ආදී ප්‍රශ්න නගමින් මට තර්ජනය කළ ජී එල් පිරිස් උපකුලපති අද මහින්දගේ අගසව්වෙකි. ඔහු එතැනට පැමිණීමට පෙර චන්ද්‍රිකාගේ පැකේජය වෙනුවෙන් ක්‍රියා කෙළේ ය. මා අනූවේ දශකයේ මුල ලක්මිණ පුවත්පතට දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ යුතු බව හා කළ හැකි බව කියමින් කතුවැකි ලියන විට  එයට විරුද්ධ වී මා පුවත්පතෙන් පන්නා දැමීමට කටයුතු කළ අයකු අද ඇමතියකු වන අතර තවත් කිහිප දෙනෙක් මහින්දගේ අගසව්වෝ වෙති. මහින්දට අගසව්වන් කිහිප දෙනකු ම ඇති බව අමතක නොකළ යුතු ය.  

මම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවෙමි. තවමත් එසේ කියමි. මම දැනුම ලබාගැනීමේ (නිර්මාණය කිරීමේ) අපේ ක්‍රමයක් ලෙස මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ඒ ලබාගැනීමට කටයුතු කෙළෙමි. සිංහල බෞද්ධ යැයි කියන විද්‍යාඥයන්ට ඒ ප්‍රශ්නයක් විය. ඔවුහු ඒ විද්‍යාත්මක නොවේ යැයි කීවෝ ය. එහෙත් මේ එකදු විද්‍යාඥයෙක් අද වන තුරුත් කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව නො දනියි. ඒ අතර රෝගීහු මිය යති. සිංහල බෞද්ධ විද්‍යාඥයන්ට දැනුම නිර්මාණය කළ නොහැකි ය. රෝගයට සිංහල බෙහෙත් ඇත. ඒ බව මම පෙන්වා දුන්නෙමි. විලච්චියේ ඇතැම් ගොවීහු ඒ බව දනිති. එය අනෙක් අයට ද දීමට උත්සාහ කළත් එක් අයකුගෙන් දෙදෙනෙකුගෙන් හැරෙන්නට පඬි නිලධාරීන්ගෙන් හෝ මහින්දගෙන් හෝ ජනමාධ්‍යයෙන් හෝ සහායක් නො ලැබිණි. ඔවුහු අපේ කම රැකගෙන කෞතුකාගාරවල තබති. සිංහල වෙදකමට මෙරට වැදගත්කමක් ලැබෙන්නේ වේදිකාවේ පමණකි. ඒ අතර ඇතැම්හු බටහිර විද්‍යාවට ගැලපෙන සේ බුදුදහම වෙනස් කරති. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකයේ පටන්ගැන්මක් හා අවසානයක් තිබේ යැයි ඔවුහු කියති. ඔවුන්ට අනුව ලෝකයේ ආරම්භයත් සමග හෝ ඉන් පසුව හෝ පළමු සත්ත්වයන් ඇතිවූයේ බීජ නියාමය ඇතුළු අනෙක් නියාම අනුව මිස කම්ම නියාමය අනුව විය නො හැකි ය. මොවුහු පළමු සත්ත්වයන් ඇතිවූයේ කෙසේ දැයි අපට කියාදෙත් ද? තවත් සමහරුනට බුදුන්වහන්සේ චීනයට උරුම කිරීමට අවශ්‍ය වෙයි. තම්බයියා බුදුදහම පාවාදීම ගැන ලියන විට සිංහල බුද්ධාගමට යුද්ධය අකැප නැති බව පෙන්වා දුන්නෙමි. ගැමුණු රජුගේ සිංහල බුද්ධාගමේ එළාරට විරුද්ධ ව යුද්ධයක් විය. ගැමුණු රජු ද බුද්ධාගම පාවා දී ඇතැයි තම්බයියා බෞද්ධයන් කියනු ඇත. අද පණ ඇති සතුන් මැරීමෙන් වළකමි යැයි කියන ඇතැම් සිංහල බෞද්ධයෝ සිංහල බුද්ධාගමක් ගැන කීමට දැඩි ලෙස විරුද්ධ වෙති. ඔවුන්ට අනුව මෙරට කෘමිනාශක යොදා සතුන් මැරීමේ වරදක් ඇත්දැයි නො දනිමි. ඔවුහු ප්‍රොතෙස්තන්ත බුද්ධාගම ගැන කීමට විරුද්ධත්වයක් නො දක්වති. ඒ ඊනියා බුද්ධිමතකු එය කියන නිසා විය හැකි ය.

මෙරට ඉතිහාසය විජයගෙන් පටන්ගන්නා බව නොපිළිගැනීම ද මගේ පාපකර්මයකි. සිංහලයන් සිංහයකුගෙන් පැවත එන්නේ යැයි කීමට හේතුව කුමක් දැයි සිංහබාහු ප්‍රවාදය නම් ලිපියෙන් බොහෝ කලකට පෙර පැහැදිලි කෙළෙමි. ඒ තේරුම් නොගත්  සමහරු මා සිංහලයන් විජයගෙන් පැවතෙන්නේ යැයි විශ්වාස කරන බව කියමින් මා විවේචනය කරති. එහෙත් ඔවුන් අමතක කරන කරුණ නම් මා මූල සිංහලයන් ගැන ද කතාකරන බව ය. යක්‍ෂ නාග ආදී මූල සිංහලයන් බෞද්ධ වූයේ මිහිඳු හිමියන් වැඩම කිරීමට පෙර යැයි කී විට ඇතැම් සිංහල බෞද්ධයෝ දොස් කියති. යක්‍ෂ ජනතාව හා සිංහ වංශිකයන් අතර වූ දිග් ගැසුණු අරගලයකින් පසු සිංහයන් ජයගෙන ඇත. මූල සිංහලයන් ගැන විශ්වාස නොකරන සිංහලයෝ මෙරට ඉතිහාසය දෙමළ ජාතිවාදීන්ට ලියා දෙති. 

අශෝකගේ මෞර්ය බුද්ධාගම මෙන් ම අශෝක බුදුදහම ද ප්‍රශ්න කිරීම මගේ පංචානන්තරීය පාප කර්මය විය හැකි ය. ධර්මවාදය හා ක්‍ෂණවාදය ප්‍රශ්න නොකළ යුතු දේ ලෙස ඇතැම් සිංහල බෞද්ධයෝ සලකති. ධර්මවාදය හා ක්‍ෂණවාදය අනාත්ම හෙවත් අනත්ත සමග ගැලපෙන්නේ දැයි ඇසූ විට ඔවුහු බූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් හැසිරෙති. එහෙත් ඔවුන්ට බටහිර ජීවවිද්‍යාඥයන් අනත්ත ලෙස ද්‍රව්‍යය (මොළය) හැර කිසිවක් නැතැයි කීම පිළිගත හැකි ය. මේ එක් විද්‍යාඥයකු සිදුහත් කුමරු හඳුන්වා දී ඇත්තේ තරුණ බුදුන් ලෙස ය! විද්‍යාත්මක බෞද්ධයෝ ඔවුන් විවේචනය නො කරති.  බටහිරයන් පැමිණෙන තෙක් මෙරට අධිපති සංස්කෘතිය වූයේ විජය අශෝක සංස්කෘතිය මුල්කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය ය. අනෙක් සංස්කෘතීන් හා ඒ සමග බැඳුණු මතවාද යටකෙරිණි. දැන් මෙරට අධිපති සංස්කෘතිය ඇංග්ලිකන් සංස්කෘතිය ය. සිංහල බෞද්ධ සංස්කෘතිය ද ඇතුළු අනෙක් සංස්කෘතීන් යට කෙරී ඇත. එහෙත් යක්‍ෂ සංස්කෘතිය විජය අශෝක සංස්කෘතියට එරෙහිව වරින් වර මතු වූ ආකාරයට සිංහල බෞද්ධ සංස්කෘතිය ද විටින් විට ඇංග්ලිකන් සංස්කෘතියට විරුද්ධව ඉදිරියට පැමිණෙයි. 1956 එවැනි අවස්ථාවකි. ඒ හේතුවෙන් මෙරට අධිපති සංස්කෘතියක් නැතැයි කිව නො හැකි ය. 

අද සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඇංග්ලිකන් සංස්කෘතිය විසින් ඉන්දියාව ද යොදා ගැනෙයි. මෝදි බැලීමට මෛත්‍රිපාල ඊයේ පෙරේදා තකහනියක් ගියේ එංගලන්ත චාරිකාවෙන් පසුව ය. ඔහු ආපසු පැමිණ මහින්ද කණ්ඩායමට විරුද්ධව දැඩි පියවර ගැනීමට සැරුසයි. මෝදිගේ හා කැමරන්ගේ උපදෙස් මෛත්‍රිපාලට ලැබී ඇත. ඒකාබද්ධ විපක්‍ෂය කෙසේ එයට මුහුණ දෙන්නේ  දැයි අපි බලා සිටිමු. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 16