Main Logo

Saturday 21 May 2016

සිංහල බුද්ධාගමේ විකාශය

සිංහල බුද්ධාගමේ විකාශය 

අද වෙසක් පුන් පොහෝ දිනයයි. රටට මහා විපතක් අත්කර දෙමින් ගැලූ ගංවතුරෙන් තවමත් බොහෝ දෙනා පීඩා විඳිනවා. ඇතැමුන් මිය ගොස්.  තවත් පිරිසක් ගැන තොරතුරක් නැහැ. දුකට පත් අය නිදුක්කිරීමට හැකි අයුරින් උත්සාහ ගැනීම අපේ යුතුකමක්. අප බොහෝ විට පතන්නේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා කියායි. ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ දුක නිවීමට සිංහල බෞද්ධයන් ද ඔවුන්ගේ ආභාසය ලබන අනෙක් ජනයා ද ඉදිරිපත් වන්නේ අපේ චින්තනය හා හැදියාව හෙවත් සංස්කෘතිය නිසයි. එසේ ඉදිරිපත් වීමේ දී අප ආණ්ඩුව කරන තුරු බලා ඉන්නේ නැහැ. සිංහල බෞද්ධයනට එක් මධ්‍යස්ථානයකින් පාලනය කෙරෙන වැඩ පිළිවෙළක් ද නැහැ. නීති සම්පාදනයේ දී හැරෙන්නට අනෙක් බොහෝ කටයුතුවල දී අපේ වැඩ කෙරෙන්නේ විමධ්‍යගතවයි. 


සිංහල බෞද්ධයන් සිතන්නේ සංයුක්තව යි. ඔවුන් සාමාන්‍යයෙන් කාලාම සූත්‍රය (තමන් ම තීරණ ගැනීම නොව විඤ්ඤූන් අනුව ගොස් තමන් තීරණ ගැනීම), චුල්ලහත්ථිපදොපම සූත්‍රය (ප්‍රත්‍යක්‍ෂය මිස ප්‍රවාද මගින් කෙරෙන අනුමානය ප්‍රතික්‍ෂෙප කිරීම) හා ද්වයතානුපස්සනා සූත්‍රය (පෘථග්ජනයන්ගේ ප්‍රත්‍යක්‍ෂය හා රහතන්වහන්සේලාගේ ප්‍රත්‍යක්‍ෂය දෙකක් බව සැලකීම) අනුව කටයුතු කරන බව පැහැදිලි යි. මෙයින් කියැවෙන්නේ සියළු සිංහල බෞද්ධයන් ඒ සූත්‍ර කියවා ඇති බව නො වේ. ඒ එකම සූත්‍රයක්වත් කියවා නැති සිංහල බෞද්ධයන් ලක්‍ෂ ගණනක් රටේ සිටිනවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන් ඒ සූත්‍ර කියවා ඇතැයි කියන උගත් සිංහල බෞද්ධයන්ට වඩා ඒ සූත්‍ර ගැන දන්නවා. උගත් සිංහල බෞද්ධයන්ගෙන් ද ටික දෙනකුට වඩා  සුත්තනිපාතයෙහි ද්වයතානුපස්සනා සූත්‍රය කියවා ඇතැයි සිතන්න බැහැ. 

සිංහල බුද්ධාගමේ විකාශයෙහි ප්‍රධාන අවස්ථා හතරක් දකින්න පුළුවන්. සිංහල බුද්ධාගම එකම ආකාරයකින් තිබෙන්නේ නැහැ. එය වෙනස් වෙනවා. ඒත් ඒ අනිත්‍ය ලෙස සිතන්න එපා. වෙනස හා අනිත්‍ය යනු දෙකක්. සිංහල බුද්ධාගම මුලින්ම මූල සිංහලයන්ගේ (හෙළයන්ගේ) බුද්ධාගම ලෙස ගැනීමට පුළුවන්. මෙරටට විජය පැමිණීමට පෙර බුදුන්වහන්සේ වැඩම කර ඇති බව පැහැදිලියි. ඇතැමුන්ට අනුව බුදුන්වහන්සේ වැඩ සිට ඇත්තේ මෙරටයි. අප එය පණ්ඩිතමානී ව එක පෑන් පහරකින් පැත්තකට දැමිය යුතු නැහැ. ඒ ගැන සොයා බැලිය යුතුයි. ඒ කුමක් වුවත් බුදුදහම මුල සිංහල සංස්කෘතියත් සමග එකතු වී ඇති බව පැහැදිලියි. මෙරට බ්‍රාහ්මණයන් සිටි බව පණ්ඩුකාභය රජුගේ ගුරු පණ්ඩුල බ්‍රාහ්මණයාගේ කතාවෙන් හා දේවානම්පිය තිස්ස රජු අශෝක රජුට යැවූ දූත පිරිසේ බ්‍රාහ්මණයකු  සිටීමෙනුත් කියැවෙනවා. මූල සිංහලයන් තම මුල් වත් පිළිවෙත් ඇදහිළි ආදිය මුළුමනින් ම වෙනස් කර නැහැ.

ඒ බව පැහැදිලිව පෙනෙන්නේ මිහිඳු හිමියන් මෙරටට වැඩම කර සිංහල බුද්ධාගමේ විකාශයෙහි දෙවැනි අවස්ථාව සනිටුහන් කිරීමෙන් පසුවයි. මිහිඳු හිමියන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අනුරාධපුරයෙහි රෝපණය කිරීමට කටයුතු කෙළේ මූල සිංහලයන්ගේ වෘක්‍ෂ වන්දනාවට වෙනත් මානයක් එකතුකිරීමට බව පැහැදිලියි. අනුරාධපුරයෙහි ශී්‍ර මහා බෝධීන්වහන්සේ සිංහල බෞද්ධයනට බුදුරජාණන් වහන්සේ මතක් කිරීමක් පමණක් නොවන බව පැහැදිලියි. මිහිඳු හිමියන් මෙරටට තුන්වැනි සංගායනාවේ බුදුදහම ගෙන ආ අතර ඒ සමග අශෝක සංස්කෘතිය ද මෙරටට පැමිණ තිබෙන බව දේවානම්පිය තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයෙන් පිළිබිඹු වෙනවා. මිහිඳු හිමියන් තුන්වැනි සංගායනාවේ බුදුදහම හෙළ බසට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබෙනවා.     

සිංහල බුද්ධාගමේ විකාශයෙහි තුන්වැනි ප්‍රධාන අවස්ථාව නිරුපණය වන්නේ බුද්ධඝෝෂ හිමියන්ගෙන්.  කාලිංග බෝධි ජාතක පාළියෙහි නැති ආනන්ද බෝධි කතාවක් එකතුකිරීම, අමනුස්සයන් ගැන සඳහන් කිරීම, පින් දීම ආදිය උන්වහන්සේ විසින් එකතු කළා යැයි ඇතැමුන් කියනවා. බුද්ධඝෝෂ හිමියන් කරන්නට ඇත්තේ කුමක් දැයි පැහැදිලි නැහැ. ඇතැමුන්ගේ කතාවල පසුබිමේ ඇත්තේ මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙහි බුද්ධාගමක් තිබූ බව නොපිළිගැනීමයි. මේ අය කෙතරම් එයින් නොමග ගොස් තිබේ ද යන්න දීඝ නිකායේ අමනුස්සයන් ගැන කියන ආඨානාටිය හා මහාසමය සූත්‍ර බුදුන්වහන්සේගේ ධර්මය නොවේ යැයි කීමට පෙළඹීමෙන් පෙනී යනවා. ආඨානාටිය ගැන මෙරට යක්‍ෂ ජනතාවගේ පොත්පත්වල කියැවෙන්නේ වෙනත් කතාවක්. 

මූල හෙළයන්ගේ ඇදහිළි සිංහල බුද්ධාගමේ තවමත් තිබෙනවා. ඒවා හුදෙක් හින්දු ආගමකින් පැමිණි ඒවා නො වේ. බුද්ධඝෝෂ හිමියන් පස්වැනි සියවසේ මෙහි වැඩම කරන විට හින්දු ආගමක් තිබුණේ නැහැ. හින්දු ආගම ඇතිවුණේ හයවැනි සියවසේ. පූජා විධි ඇදහිළි ආදී බොහොමයක් මූල හෙළයන්ගෙන් ලැබුණු දේ. මුල හෙළයන් නොමැතිව ඉතිහාසය ලිවීමට ගොස් උගතුන් අමාරුවේ වැටෙනවා. බුද්ධඝෝෂ හිමියන් වැඩම කරන විට මෙරට සිංහල බුද්ධාගමේ තිබූ පූජා විධි ඇදහිළි ග්‍රන්ථාරූඪ කිරීමක් උන්වහන්සේ අතින් සිදුවී තිබෙන බව කියන්න පුළුවන්. එය එක්තරා ආකාරයකින් මහාවිහාරය යටත්වීමක්. එය උන්වහන්සේගේ ම පමණක් වැඩක් නොවන බව පැහැදිලියි. මහාවිහාරික භික්‍ෂූන් වහන්සේත් තෙළිඟු කතාකරන ආන්ද්‍ර ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේත් එක්ව සංවිධානාත්මක ව කර ඇති වැඩක් (විජය රජු තෙළිඟු බවත් කියනවා). නාගර්ජුනපාදයන්ගේ බුද්ධිවාදී බුදුදහමට පහර වැදෙන්නේත් ආන්ද්‍ර ප්‍රදේශයෙන් ථෙරවාදය නැතිවන්නේත්, මහාවංශය ලියැවෙන්නේත්, සොළී ආක්‍රමණවලට අප රට ගොදුරු වන්නේත් මේ කාලයේ.  බුද්ධඝෝෂ හිමියන් අටුවා ලිවීමෙන් පසු සිංහල පොත් විනාශ කළේ ඇයි ද යන්න පැහැදිලි නැහැ. බුද්ධිවාදී බුදුදහමකට පැවතීමට නොහැකි බවත් පූජා විධි ඇතුළත් බුද්ධාගමක් පමණක් පැවතිය හැකි බවත් සිංහල-තෙළිඟු භික්‍ෂූන් වහන්සේ තේරුම් ගෙන වෙනත් බුද්ධාගම් පදනම් වූ පොත් විනාශ කළ බවක් මෙයින් කියැවෙන්නේ ද? කෙසේ වෙතත් මේ ඉතිහාසය අප ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. 

සිංහල බුද්ධාගමේ විකාශයේ හතරවැනි අවස්ථාව ඉංගිරිසින්ගේ පැමිණීමෙන් පසුව සිදු වුනා. ඕල්කට්තුමා මේ හතරවැනි අවස්ථාවට දායක වුනා. එහි ප්‍රතිඵල සිංහල බුද්ධාගමට අමතරව ඕල්කට් බුද්ධාගමේ, විද්‍යාත්මක බුද්ධාගමේ හා තම්බයියා බුද්ධාගමේ දැකිය හැකි යි. අප තේරුම් ගත යුත්තක් නම් සිංහලකම නැති ඕල්කට් බුද්ධාගමකට හෝ පූජා විධි හා පුනබ්භවයක් නැති විද්‍යාත්මක බුද්ධාගමකට හෝ පාණාතිපාතයට බුද්ධිවාදී අර්ථකථන දෙන තම්බයියා බුද්ධාගමකට හෝ පැවැත්මක් නැති බව යි. සිංහල බුද්ධාගම පවතින්නේ පූජා විධි, පුනබ්භවය කර්මය වැනි ඊනියා විද්‍යාත්මක නොවන දේ ගැන කාලාම සූත්‍රයට අනුව විශ්වාස කරන, වියුක්ත ප්‍රවාද ගොතන්නේ නැතිව චුල්ලහත්ථිපදොපම සූත්‍රය අනුව ප්‍රත්‍යක්‍ෂයෙන් ම තේරුම් ගන්නා, රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂය අපේ ප්‍රත්‍යක්‍ෂය නොවන බව ද්වයතානුපස්සනා සූත්‍රයට අනුව විශ්වාස කරන නූගත්ය කියන සිංහල බෞද්ධයන් අතර බව කියන්න වෙනවා.  

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 මැයි 21