Main Logo

Monday 9 May 2016

සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් ද?

සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් ද?

බොහෝ සිංහල බෞද්ධ උගතුන්ට අනුව බුදුන්වහන්සේ අග්‍රතම විද්‍යාඥයාණෝ වෙති. ඔවුන්ට අනුව බුදුන්වහන්සේ ද විද්‍යාත්ම විධික්‍රමය අනුගමනය කළසේක. පර්යේෂණ කළහ. මේ සියල්ලෙහි විද්‍යාව යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ බටහිර විද්‍යාව බව පැහැදිලි ය. එහෙත් ඔවුන් එයට විරෝධය දක්වනු ඇත්තේ බටහිර විද්‍යාවක් යනුවෙන් දෙයක් නැති බවත් ඇත්තේ එකම එක විද්‍යාවක් බවත් කියමිනි. ථෙරවාද බෞද්ධයන් ඉගෙන ගන්නා, ඉගෙන කියන ඉතිපිසො ගාථාවෙහි සඳහන් විජ්ජාචරණ යන බුදුගුනයෙන් අදහස් කරන්නේ මේ එකම එක විද්‍යාව යැයි ඔවුහු අපට කියා දෙති.

බුදුන්වහන්සේ හේතුවාදියකු, යථාර්ථවාදියකු, තාර්කියකු, බුද්ධිවාදියකු ආදී වශයෙන් නම්කිරීමට ද ඇතැම් සිංහල බෞද්ධ උගත්තු ඉදිරිපත් වෙති. ඒ උන්වහන්සේගේ ධර්මය අතක්කාවචර බව, ප්‍රත්‍යක්‍ෂ කළ යුතු බව දේශනාකර තිබිය දී ය. බුදුන්වහන්සේ විවිධ ශාස්තෘන් විසින් ව්‍යාකූල කරනු ලැබ තිබූ කාලාම වැසියනට කිනම් මගක් තෝරාගත යුතු ද යන්න පැහැදිලි කිරීම සඳහා දේශනා කළ කාලාම සූත්‍රය ඊනියා විද්‍යාත්මක ක්‍රමය සනිටුහන් කරන්නේ යැයි කීමට ඔවුහු කැමති වෙති. එහෙත් කාලාම සූත්‍රයෙහි කාලාමයන්ට තමන් අනුගමනය කළ යුත්තේ කවුරුන්දැයි කියා ඇති කොටස් උපුටා නොදැක්වීමට ඔවුහු මහන්සි වෙති. මේ අයගෙන් කී දෙනකු කාලාම සූත්‍රය විචාරාත්මක ව කියවා ඇත් ද යන්නටත් වඩා කී  දෙනකු එම  සූත්‍රය කියවා ඇත් ද යන්න ප්‍රශ්නයකි.  යමක් තර්කානුකූල වූ පමණින් ද නොපිලිගත යුතු යැයි ද කාලාම සූත්‍රයෙහි සඳහන් වෙයි.  

තමන්ට ම සෑම දෙයක් ම දැනගැනීමට යැයි ඒ සූත්‍රයෙහි බුදුන්වහන්සේ කාලාමයනට නො කීහ. අනෙක් අතට බටහිර විද්‍යාඥයෝ ද සියල්ල තමන් ම දැන නොගනිති. ඔවුන් පාසල්වල, විශ්වවිද්‍යාලවල, වෙනත් ආයතනවල ඉගෙන ගන්නා දේ තමන් ම දැනගන්නා දේ නො වේ. කාල් පොපර් කුමක් කියා තිබුණ ද බටහිර විද්‍යාඥයෝ තමන් ඉගෙන ගත් දේ අසත්‍ය ද යැයි පරීක්‍ෂා කිරීමට නො පෙළඹෙති. ඔවුන්ගෙන් අති විශාල බහුතරය කරන්නේ ඉගෙන ගත් දේ උපකල්පනය කරමින් යම් ගැටළුවක් විසඳීම පමණ ය. සිංහල බෞද්ධ විද්‍යාඥයන් අසත්‍යකරණ කීයක් කර ඇත් ද?  

සිංහල බෞද්ධ විද්‍යාඥයන් කී දෙනකුට නොබෙල් තෑග්ග හිමි වී ඇත් ද? මා සත පහටවත් මායිම් නොකරන නමුත් සිංහල බෞද්ධ විද්‍යාඥයෝ ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society, London) ඉතා ඉහළින් සලකති. ඔවුන්ට නොබෙල් තෑග්ග තබා මේ සංගමයේ අධි සාමාජිකත්වයක්වත් ලබා ගැනීමට හැකි වී ඇත් ද? මට ප්‍රශ්නය බුදුන්වහන්සේ ඉහළම විද්‍යාඥයා යැයි කියන, උන්වහන්සේගේ අනුගාමික යැයි කියන, බටහිර විද්‍යාව බුදුදහමට එකඟ යැයි කියන සිංහල බෞද්ධ විද්‍යාඥයන්ට එ අධිසාමාජිකත්වය ලබාගැනීමට නොහැකි ඇයි ද යන්න ය. යුදෙවු විද්‍යාඥයෝ තම ජන අනුපාතයට නොසරිලන අන්දමට නොබෙල්ව තෑගි දිනාගනිති. සිංහල බෞද්ධ උගතුන් කියන ආකාරයට බුදුදහම බටහිර විද්‍යාවට මෙතරම් සමීප නම් හා බටහිර විද්‍යාව ක්‍රිස්තියානියෙන් කැඩී ඇත්නම් සිංහල බෞද්ධ විද්‍යාඥයන්ට එකී අධිසාමාජිකත්වයක් නොලැබෙන්නේත් ක්‍රිස්තියානි හා යුදෙවු සංස්කෘතිවල අයට ඒ අධිසාමාජිකත්ව ඉතා බහුල වශයෙන් ලැබෙන්නේත් සිංහල බෞද්ධ විද්‍යාඥයන් පට්ටපල් මෝඩයන් නිසා ද? අද වන විට බොහෝ සිංහල බෞද්ධ විද්‍යාඥයන් පහසුකම් සහිත බටහිර විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල සේවය කරන බැවින් පහසුකම් නැතැයි කියා ප්‍රශ්නයෙන් ගැලවී යාමට හැකි කමක් නැත. 

මම සිංහල බෞද්ධ වි්‍යාඥයන් පට්ටපල් මෝඩයන් යැයි නො කියමි. සිංහල බෞද්ධ විද්‍යාඥයන් ද අවසාන වශයෙන් ගත්කල ඕල්කට් බුද්ධාගමේ ප්‍රතිඵලයකි. මට බටහිර විද්‍යාඥයකු වීමේ කැමැත්තක් අවුරුදු පහළොවේ පමණ සිට තිබුණ ද, එසේ වීමට නොහැකි බව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී නොබෝ කලකින් ම  අවබෝධ විය. එයට හේතුව මා දැනගත්තේ ඉන් අවුරුදු දොළහකට පමණ පසුව ය. සිංහල බෞද්ධය චින්තනය බටහිර විද්‍යාව පදනම් වන ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් වෙනස් ය.  

මේ ලිපියෙහි විද්‍යාඥයන් යන්නට ඉංජිනේරුවන් වෛද්‍යවරුන් ආදී තාක්‍ෂණ ශිල්පීන් ද ඇතුළත් වන බව සලකන්න. 

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි ය. 

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා 

2016 මැයි 09