ත්‍රිකෝටික න්‍යාය
න්‍යාය නැත්නම් නය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් ලොජික් කියන එකට. හැබැයි ඉංගිරිසි ලොජික් හා න්‍යාය කියන්නෙ දෙක ම එකක් ද කියන ප්‍රශ්නය තියෙනවා. ලොජික් කියන්නෙ තර්කය නම් නො වෙයි. සමහර වෙලාවට ලොජිකල් කියන එකට තර්කානුකූල කියල කියනවා. ඒකත් වැරදියි. ලොජිකල් කියන්නට යෙදිය යුත්තේ න්‍යායානුකූල කියන්නයි. ඒත් අද න්‍යාය කියල කියන්නෙ සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් තියරි කියන එකටයි. තියරි කියන එකට යෙදිය යුත්තේ ප්‍රවාද යන්නයි. මේ පටලැවිල්ල පැත්තකින් තියලා අපි ලොජික් යන්නට නය නැත්නම් න්‍යාය යොදාගනිමු.
අප දහසක් නයින් දැනගන්නවා කියලා කියනවා. මේ විවිධ න්‍යාය යොදා ගෙන දැනගැනීමක් කියලා කියන්න පුළුවන්. න්‍යාය කියලා අපට උගන්නලා තියෙන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය පමණයි. ඒ බටහිර දැනුම. පැරණි ග්‍රීක බුද්ධිමතුන් ළඟත් වත්මන් බටහිර බුද්ධිමතුන් ළඟත් තිබූ තිබෙන එක ම න්‍යාය මේ ඇරිස්ටෝටලීය න්‍යාය පමණයි. ඔවුන්ට දහසක් නයින් යමක් තේරුම් ගන්න බැහැ. ඔවුන් තේරුම් ගන්නේ එක නයකින් පමණයි. ඒ නයට හසු නොවන දේ ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒවාට ඔවුන් පරස්පර නැත්නම් විසංවාද කියලා කියනවා. ඔවුන් විසංවාද ප්‍රතික්‍ෂෙප කරනවා. පාසලේ දී ජ්‍යාමිතිය ඉගෙන ගන්න විට යම් උපකල්පනයක් පරස්පරයකට තුඩු දෙනව නම් උපකල්පනය වැරදි කියලා කියන්න අප පුරුදු කරනවා. යම් ප්‍රස්තුතයක් හා එහි නිෂේධයක් යන දෙක ම සත්‍ය වන්න බැහැ කියන එක අපට පාසලේ දී පිළිගන්නවා. චින්තකයන් බිහි නොකරන විශ්වවිද්‍යාලවල එය තහවුරු කරනවා.
පැරණි ග්‍රීක බුද්ධිමතුන් ද වත්මන් බටහිර බුද්ධිමතුන් ද නිගමනවලට (ඩිඩක්ෂන්ස්) පැමිණීමේ දී යොදා ගත්තේ ගන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායයි. ඒත් ඔවුන් නොදැන සිටි නොදන්නා කරුණ නම් න්‍යාය ද ලබාගන්නේ උද්ගමනයෙන් (ඉන්ඩක්ෂන්) බව. උද්ගමනයත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ සංයුක්ත උද්ගමන හා වියුක්ත උද්ගමන. වියුක්ත චින්තනයක් නැති අයට ඇත්තේ සංයුක්ත උද්ගමන පමණයි. මොන උද්ගමනය වුනත් අප කරන්නේ අපේ අත්දැකීම් මත පදනම් ව. ද්විකෝටික න්‍යාය ගොඩනැගී ඇත්තේ සරල පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් පදනම් කරගෙන.
අපේ සරල පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම අනුව යම් ප්‍රස්තුතයක් (ප්‍රකාශයක්) සත්‍ය නම් එහි නිෂේධය අසත්‍යයයි. ප්‍රස්තුතයක නිෂේධය කිහිප ආකාරයකින් කරන්න පුළුවන්. පුටුව මෙතන තිබෙනවා කියන ප්‍රස්තුතයේ එක් නිෂේධයක් වන්නේ පුටුව මෙතන නැහැ යන්න. තවත් නිෂේධයක් වන්නේ පුටුව එතැන යන්න. මෙතන මේසයක් තියෙනවා යන්න තවත් නිෂේධයක්. මෙතන මුකුත් නැහැ කියන එකත් නිෂේධයක්. මේ සියල්ලෙන් ම කියන්නේ එකක් ම නො වෙයි. කොහොමටත් පුටුව මෙතන තියෙනවා කියන එක සත්‍ය නම් නිෂේධ අසත්‍යයයි. මෙහි දී අප මග හැර යන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ සත්‍ය කුමක් ද යන්නයි. තිබෙනවා, පවතිනවා යන්නත් අප මග හැර යන සංකල්ප. පුටුව මෙතන හරි එතන හරි පවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ කුමක් ද? පවතිනවා කියන සංකල්පය ම ආත්මවාදීීයි. අපි ඒ කරුණු ගැන පසුව කතා කරමු.
ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ඉතාමත් සරලයි. ග්‍රීක බුද්ධිමතුන් ද්විකෝටික න්‍යාය යොදාගත්තත් සාමාන්‍ය ජනයා එසේ නොකරන්න ඇති. ඔවුන් බුද්ධිමතුන්ට අනුව ඊනියා පරස්පරවල ජීවත්වන්න ඇති. බුද්ධිමතුනුත් ශාස්ත්‍රීය ජීවිතයේ දී නොව එදිනෙදා ජීවිතයේ දී ඊනියා පරස්පරවල ජීවත්වන්න ඇති.
අප මෙහි දී අවධාරණය කරන්නේ ත්‍රිකෝටික න්‍යායයි. ඒ අතර චතුස්කෝටික න්‍යායක් ද තියෙනවා. එය බෞද්ධ න්‍යායක් නොවෙයි. බුදුන් වහන්සේට කලින් චතුස්කෝටික න්‍යාය තිබුණා. ජෛනයන්ට වෙන ම න්‍යායක් තිබුණා. බෞද්ධයන්ට තමන්ගේ ම වූ න්‍යායක් තිබුණේ නැහැ. නිවන චතුස්කෝටිකයෙන් ද විනිර්මුක්තයි. බෞද්ධයන්ට තමන්ගේ ම වූ න්‍යායක් අවශ්‍ය නැහැ. බෞද්ධයන් අවධාරණය කරන්නේ ප්‍රත්‍යක්‍ෂයයි.
ත්‍රිකෝටික න්‍යාය මම යන සංකල්පය වැරදි බව වටහාගත් අයගේ න්‍යායක් ද නො වෙයි. කතෝලිකයන් සක්කායදිට්ඨි නැති අය නො වෙයි. ඒත් ඔවුන්ගේ චින්තනය ත්‍රිකෝටික න්‍යාය මත පදනම් වූවක්. ත්‍රිකෝටික න්‍යායට අනුව යම් ප්‍රස්තුතයක් සත්‍ය නම් එහි නිෂේධය, වෙනත් වචනවලින් කියනවා නම් නොම ප්‍රස්තුතය අසත්‍ය වන්න පුළුවන්. නොම ප්‍රස්තුතය සත්‍ය නම් ප්‍රස්තුතය අසත්‍ය වන්න පුළුවන්. මේ අවස්ථා දෙක, එහෙමත් නැත්නම් අන්ත දෙක, කෝටික දෙක, ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට ද එකඟයි. ත්‍රිකෝටික න්‍යායට අනුව ප්‍රස්තුතය මෙන් ම නොම ප්‍රස්තුතය ද සත්‍ය විය හැකියි. ත්‍රිකෝටික න්‍යාය ද්විකෝටික න්‍යායෙන් වෙනස් වන්නේ මේ තුන්වැනි අවස්ථාව නැත්නම් කෝටිකය නිසයි.
මෙතන පුටුව තිබෙනවා යන්න මෙන් ම එතන පුටුූව තිබෙනවා යන්න ද ත්‍රිකෝටික න්‍යාය අනුව සත්‍ය වන්න පුළුවන්. මෙය අපේ සරල පංචෙන්ද්‍රිය අත්දැකීම් සමග එකඟ වන්නේ නැහැ. ඇරිස්ටෝටලීය න්‍යාය ගොඩ නැගී ඇත්තේ සාමාන්‍ය සරල අත්දැකීම් සාධාරණීයකරණයෙන්, එනම් පොදු බවට පත්කර ගැනීමෙන්. පුටුව එතැනත් මෙතැනත් තිබෙන බව සරල පංචෙන්ද්‍රිය අත්දැකීම් සමග එකඟ වන්නේ නැහැ. එහෙත් වෙනත් ආකාරයකින් අත්දැකීම් ලබාගන්නා විට එවැනි දේත් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. අද දවසේ ක්වොන්ටම් භෞතිකය අනුව ඉලෙක්ට්‍රෝනයක් එතැනත් මෙතැනත් තිබෙන්න පුළුවන්. ආධ්‍යාත්මික ව එය දකින්නත් පුළුවන් කියලා මට හිතෙනවා. බටහිර බුද්ධිමතුන්ට ක්වොන්ටම් භෞතිකය තේරෙන්නේ නැහැ.
සිංහලයන් බොහෝ වෙලාවට ත්‍රිකෝටිකය අනුව හිතනවා. අප ද්විකෝටිකයට අනුව ඊනියා පරස්පරවල ජීවත් වෙනවා. අප දෙවියන් බුදුන් අදහනවා. දෙවියන් අදහන්නේ නිවන් අවබෝධය සඳහා නො වෙයි. ද්විකෝටිකයේ හිරවී සිටින පඬියන්ට මේවා තේරෙන්නේ නැහැ. ඒත් ඔවුනුත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතවල ඊනියා පරස්පරවල ඉන්නවා. අප ලෝකය පරිමිත යැයි ද අපරිමිත යැයි ද කියා ගන්නවා. කේ එන් ජයතිලක ත්‍රිකෝටිකය බටහිරයන්ට තේරුම් කර දෙන්න බැරුව එය ද්විකෝටිකයට ඌනනය කරන්න අසාර්ථක උත්සාහයක් දැරුවා. වල්පොල රාහුල හිමි ද ඇතුළුව බෞද්ධ උගතුන් බුදුදහම බටහිරයන්ට තේරෙන පරිදි අර්ථකථනය කර මහා හානියක් සිදු කළා.
කතෝලිකයන් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ මෙන් ම දෙවියන් වහන්සේගේ පුතා යැයි කියන විට යොදා ගන්නේ ත්‍රිකෝටික න්‍යායයි. එය ද්විකෝටිකයට නම් එකඟ වන්නේ නැහැ. එහෙත් අප එයට විරුද්ධ විය යුතු නැහැ. බටහිර බුද්ධිමතුන් අනුව යමින් අප ද්විකෝටිකයේ සිරවිය යුතු නැහැ. ග්‍රීක බුද්ධිමතුන්ගෙන් කැඩී වෙන්වීම ගැන අප කතෝලිකයන්ට ස්තුතිවන්ත විය යුතුයි. අද අපට බටහිර යුදෙවු ක්‍රිස්තියානියේ බුද්ධිමතුන්ගෙන් කැඩී වෙන්වීම අවශ්‍යයයි. යුදෙවු ක්‍රිස්තියාන සංස්කෘතිිය යනු කතෝලික සංස්කෘතිය නොවන බවත් අප වටහා ගත යුතුයි.
මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 12