Main Logo

Saturday 7 January 2017

දෙමුහුන් අධිකරණය

දෙමුහුන් අධිකරණය

ඊනියා සංහිඳියා කාර්ය සාධක බලකාය නමින් අගමැති විසින් පත් කෙරුණු කමිටුවක් තම වාර්තාව ප්‍රසිද්ධ කරලා. ඒ කමිටුව පත් කෙරුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ උපදෙස් මතයි. මේ මානව හිමිකම් මණ්ඩලය අප සඳහන් කරන බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි  ව්‍යුහයේ තවත් අවයවයක් ලෙසත් බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. කාර්ය සාධක බලකාය නිදර්දේශ කර ඇත්තේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙසටයි. එය මානුෂීය හමුදා මෙහෙයුම්වලට පමණක් සීමා නොවිය යුතු බවත් ප්‍රකාශ වෙනවා.

මේ කාර්ය සාධක බලකායේ බහුතරය සිංහල විරේධී දෙමළ ජාතිවාදීන්ගෙන් හෝ මාක්ස්වාදීන්ගෙන් හෝ සමන්විත වෙනවා. කොල්වින් ආර් ද සිල්වාගේ දියණිය වූ ද සරත් මුත්තෙට්ටුවගමගේ භාර්යාව වූ ද මනෝරි මුත්තෙට්ටුවගම එහි සභාපතිණියයි. සිංහල විරෝධී රනිල්ට දැන් පුස් කෑ මාක්ස්වාදීන් නැතිව ම බැහැ. එම ඊනියා බලකායේ ලේකම් සුනේත්‍රා්‍ර බණ්ඩාරනායක හොඳින් දන්නා පාකියසෝති සරවනමුත්තු නම් දෙමළ ජාතිවාදී පුද්ගලයා. ඔහුගේ සීයාගේ නමින් වනාතමුල්ලේ දෙමළ සංගමයේ සරවනමුත්තු ක්‍රිඩා පිටිය නම් කර තිබෙනවා. සීයලා එක් කලෙක ඉංගිරිසින් යටතේ ලංකාවේ ප්‍රධානීන්.එකල ක්‍රිකට් ක්‍රීඩාවේ මූලස්ථානය වූයේත් දෙමළ සංගමයයි. ඉංගිරිසින් විසින් 1833 දී බෞතීස්ම කෙරුණු දෙමළ ජාතිවාදී දේශපාලනයට 1931න් පසු ඇති ප්‍රධාන ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන්ට කොළඹ තිබූ නායකත්වය සර්වජන ඡන්දයත් සමග ක්‍රමයෙන් අහිමිවීමයි. 

කාර්ය සාධක බලකායේ නිර්දේශ අඩංගු වාර්තාව ගැන අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් ප්‍රසාදය පළ කර තිබෙනවා. දී කිරට බළල්ලුත් සාක්කි කීවාලු! මානව හිමිකම් කොමසාරිස්ටත් අවශ්‍ය දෙමුහුන් අධිකරණයක් ලවා ඊනියා පරීක්‍ෂණයක් පවත්වා රාජපක්‍ෂවරුන් හා රණවිරුවන් වැරදිකරුවන් කර දඬුවම් පැමිණවීමයි. මේ ඊනියා බලකාය රජයේ නිල ආයතනයක් නො වෙයි. අගමැති පත් කළත් එයට නිල බලයක් නැහැ. එයට නිර්දේශ කිරීම්වලින් එහාට යන්න බැහැ. එසේ තිබිය දී මානව හිමිකම් කොමසාරිස් ඊනියා බලකායේ නිර්දේශ ගැන ප්‍රසාදය පළ කරන්නේ කෙසේ ද? මේ දෙමුහුන් අධිකරණයට කොමසාරිස් සහාය පළ කරලා!

මේ නිවට ආණ්ඩුව රාජ්‍ය විරෝධී බව අප කලක සිට ම කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන එය නොපිළිපදින ආණ්ඩුවක් රාජ්‍ය විරෝධීයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකාවේ අධිකරණයට විදේශිකයන් පත් කරන්න බැහැ. රනිල් හිතනවා ඇති මහා බැංකුවට විදේශීක අර්ජූන් මහේන්ද්‍රන් පත් කර බැංකු කොල්ලයකින් ද පසු නිරුපද්‍රිත ව සිටින ආකාරයට අධිකරණයට විදේශිකයන් පත් කර ගැලවෙන්න. අද මෙරට අගවිනිසුරු දෙමළ ජනවර්ගයට අයත් වූවෙක්. අද අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඔහු යටතේයි. එවන් අවස්ථාවක දෙමළ ජාතිවාදී ටී එන් ඒ මන්ත්‍රී සුමන්තිරන් පවසන්නේ ලංකාවේ අධිකරණය ගැන විශ්වාසයක් තැබිය නො හැකි බවයි. ඔහු එයින් පවසන්නේ අගවිනිසුරු තමාට විශ්වාස නැති බවයි. දෙමළ ජනවාර්ගිකයන්ගෙන් ද සමන්විත අධිකරණයක් ගැන දෙමළ ජාතිවාදීන් විශ්වාස කරන්නේ නැහැ. සුමන්තිරන් තව දුරටත් නීතිඥයකු ලෙස ක්‍රියා කරන්නේ කෙසේ ද? සුමන්තිරන්ට අවශ්‍ය වී තිබුණේ රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් වූ බුද්ධි අංශ නිලධාරීන්ට මරණීය දඬුවම දීමටයි. එය ඉටු නොවූ විට ඔහු අධිකරණ තීන්දුවට අභියෝග කරමින් නඩු තීන්දුව පිළිගත්තේ නැහැ.

දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය රණවිරුවන්ට කෙසේ නමුත් දඬුවම් දීමටයි. ඒ රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කිරීමේ ඊනියා වරදටයි. රණවිරුවන් වෙනුවෙන් පිළිම ඉදිකරනවාට දෙමළ ජාතිවාදීන් විරුද්ධයි. ඔවුන්ට තමිල්නාඩුවේ, එනම් ඔවුන්ගේ නිජභූමියේ, රාමචන්ද්‍රන්ගේ හා ජයලලිතාගේ පිළිම ඉදිකිරීමට අවශ්‍යයි. දෙමළ ජාතිවාදීන් මෙරටට බැඳීමක් ගෞරවයක් නැති බවත් ඔවන්ගේ බැඳීම තමිල්නාඩුවට බවත් මේ සියල්ලෙන් පැහැදිලි වෙනවා. රටේ අධිකරණයට ගෞරවයක් නැති දෙමළ ජාතිවාදීන් ඔවුන්ගේ අනුග්‍රාහකයන් වූ බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේත් අවශ්‍යතාව පරිදි දෙමුහුන් අධිකරණයක් ඉල්ලන්නේ රාජපක්‍ෂලා හා රණවිරුවන් දංගෙඩියට යැවීමටයි.

මෛත්‍රිපාල කියනවා තමන් දෙමුහුන් අධිකරණයට විරුද්ධ බව. එහෙත් ජනාධිපති එයට විරුද්ධ ද කියන එක ප්‍රශ්නයක්. මෛත්‍රිපාල ජනාධිපති වුනේ රට ජාතිය පාවා දී ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහයේ අවශ්‍යතාවට රනිල්ට හා චන්ද්‍රිකාට යටත් වී. යමපාලන ගිවිසුම අනුවයි ඔහු ජනාධිපති වුනේ. මෛත්‍රිපාලට අද රටේ සිංහල බෞද්ධ බහුතරය අතර කිසිම විශ්වාසයක් නැහැ. ඔහු අද චරිත කිහිපයක්. ඒ චරිත අනුව ඔහු එක් එක් දේ කියනවා. ඒ කියමන් පරස්පරයි.

මෛත්‍රිපාලට රාජපක්‍ෂලා සමග පෞද්ගලික වෛරයක් තිබෙනවා. එහෙත් රට ජාතිය සමග සංසන්දනය කිරීමේ දී පෞද්ගලික ප්‍රශ්න යට විය යුතුයි. මෛත්‍රිපාල රනිල් සමග යමපාලන ගිවිසුම අත්සන් කෙළේ අවුරුදු දෙකකටයි. දැන් ඒ අවුරුදු දෙක ගෙවී අවසන්. රනිල් කිසි දිනෙක ජනාධිපතිට රටට ජාතියට ආගමට පක්‍ෂපාති වීමට ඉඩ දෙන්නේ නැහැ. ඔහුට  අර සුපිරි ව්‍යුහයේ අනුබලය හා ආධාරය තිබෙනවා. මෛත්‍රිපාලට දේශප්‍රේමයක් ඇත්නම්, ඔහු සිංහලයෙක් නම් මේ අසමජ්ජාති යමපාලන ගිවිසුමේ තවදුරටත් ඉන්න ඕන නැහැ. ඔහුට දැන් රනිල් හා ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය සමග නොව රට ජාතිය ආගම සමග ගිවිසුමකට යන්න පුළුවන්. එවැනි ගිවිසුමක් මගින් රනිල් ඉවත් කර මහින්ද හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත් කළ හැකියි. එසේ කිරීමට කතානායක අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය යටතේ ඒ කළ හැකියි. දෙමුහුන් අධිකරණය ප්‍රතික්‍ෂෙප කළ හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර එය ඒකාබද්ධ විපක්‍ෂයට පැවරීමෙන්.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 ජනවාරි 07